කළුතර ප්‍රාදේශීය සභාවේ ඡන්ද විමසීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක්

කළුතර ප්‍රාදේශීය සභාව සඳහා පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා. එම ප්‍රාදේශීය සභාවට සඳහා ඉදිරිපත් කළ නාම යෝජනා පත්‍රයක් ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව නව ලංකා නිදහස් පක්ෂය ගොනුකර ඇති පෙත්සම අද කැඳවූ අවස්ථාවේදී මෙම නියෝග ලබාදී ඇති බවයි සඳහන් වන්නේ. පෙත්සම් විභාගය මැයි මස 12 වනදා පැවැත්වීමටද ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර ඇති බවයි සඳහන් වන්නේ.

පක්ෂ ලේකම්වරුන් සමඟ සාකච්ඡාවක් පැවැත්වීමට මැතිවරණ කොමිසම තීරණය කරයි

2023 පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා තරග කරන පිළිගත් දේශපාලන පක්ෂවල ලේකම්වරුන් සමඟ සාකච්ඡාවක් මාර්තු 23 වනදා පැවැත්වෙන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

ඒ අනුව අද (16) මැතිවරණ කොමිෂන් සභාව රැස්වූ අවස්ථාවේදී මෙම තීරණය ගෙන ඇති බවයි මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කරන්නේ.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්,

9225dd66f2a05d694458ff8326e7d13b

මැතිවරණ කොමිසම අද රැස්වෙයි

මැතිවරණ කොමිසම අද (16) පෙරවරුවේ රැස්වීමට නියමිතව තිබෙනවා.

පළාත් පාලන මැතිවරණ පැවැත්වීමට අවශ්‍ය මුදල් ප්‍රතිපාදන නිදහස් නොකිරීම හමුවේ ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව මෙහිදී අවධානය යොමු කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

පළාත් පාලන මැතිවරණ පැවැත්වීමට අවශ්‍ය මුදල් ප්‍රතිපාදන මෙතෙක් නිදහස් කරන ලෙස ඉල්ලා මැතිවරණ කොමිසම විසින් මුදල් අමාත්‍යංශ ලේකම්වරයාට දැනුම්දී තිබූ අතර මුදල් අමාත්‍ය ලේකම්වරයා විසින් එම ලිපිය මුදල් අමාත්‍ය ජනාධිපති රනිල් වික්‍රමසිහ වෙත යොමු කර ඇති බවයි වාර්තා වන්නේ.

වර්ජනවලින් වත්මන් ආණ්ඩුව වට්ටන්න බැහැ – එස්.එම්. චන්ද්‍රසේන

වර්ජනවලින් වත්මන් ආණ්ඩුව වැට්ටවීමට නොහැකි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම් චන්ද්‍රසේන පවසනවා.

ඒ අනුව අද (15) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ, අරගලයෙන් සිදු කිරීමට නොහැකි වූ දෙය වර්ජනය හරහා සිදු කිරීමට උත්සාහ කරන බවයි.

වර්ජකයන් විසින් මේ අවස්ථාවේ සිදු කරන්නේ හෙන ගසන අපරාධයක් බවත් ජනතාව විසින් වර්ජකයන්ට ඒ සඳහා පාඩමක් උගන්වනු ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

මාවනැල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති​ව ධූරයෙන් ඉවත් කරයි

මාවනැල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති නොයෙල් ස්ටීවන් සභාපති ධූරයෙන් හා සභික ධුරයෙන් ඉවත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව සබරගමුව පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව විසින් අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇති බවයි සඳහන් වන්නේ.

1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනතේ 185(1) වගන්තියේ සඳහන් වරදවලට අදාළව නොයෙල් ස්ටීවන් මහතා වෙත ඉදිරිපත්වී තිබූ චෝදනා සියල්ලටම වරදකරු බවට තීරණය වී ඇති බැවින් ආණ්ඩුකාරවරයා විසින් එම තීරණය ගෙන ඇති බවයි අදාළ ගැසට් නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

අදාළ ගැසට් නිවේදනය පහතින්.

298e4375e9b5fe4ca63ed38c3f8f1228

මෛත්‍රීගේ පෙත්සම විභාගයට ගැනීමට අභියාචනාධිකරණය තීරණය කරයි

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් ඉදිරිපත් කළ රීට් පෙත්සම පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාගයට ගැනීමට අභියාචනාධිකරණය අද (14) තීරණය කර තිබෙනවා.

මෛත්‍රිපාල සිරිසේන ඉදිරිපත් කළ රීට් පෙත්සම විභාග කොට අවසන් තීන්දුවක් ප්‍රකාශයට පත් කරන තුරු ඔහුට එරෙහිව කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේ පවතින පුද්ගලික පැමිණිල්ල කැඳවීමකින් තොරව බහා තබන ලෙසද අභියාචනාධිකරණය විසින් කොටුව මහෙස්ත්‍රාත්වරයාට නියෝග කර ඇති බවයි සඳහන් වන්නේ.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් තමන්ට එරෙහිව ගොනුකර තිබෙන පෞද්ගලික පැමිණිල්ලක් බල රහිත කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් මෙම රීට් පෙත්සම ඉදිරිපත් කර තිබෙනවා.

විමල් අත්අඩංගුවට ගන්නා ලෙස වරෙන්තුවක්

පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ අධිකරණය හමුවේ පෙනී නොසිටීම සම්බන්ධයෙන් එම මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා වරෙන්තුවක් නිකුත් කර තිබෙනවා.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරයා මෙරට සංචාරයක නිරත වන අතරතුර විමල් වීරවංශ, ජයන්ත සමරවීර, වීරකුමාර දිසානායක, රොජර් සෙනෙවිරත්න, මොහොමඩ් මුසම්මිල්, පියසිරි විජේනායක යන මහත්වරුන් ඇතුළු 7 දෙනෙකු උද්ඝෝෂණයේ නිරත වූ බවට චෝදනා එල්ලවී තිබෙනවා.

ඒ අනුව මෙම නඩුව අද කැඳවූ අවස්ථාවේ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ අධිකරණය හමුවේ පෙනී නොසිටිම සළකා බලා කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා විසින් ඔහු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස වරෙන්තුවක් නිකුත් කළ අතර නඩුව යළි ජුනි 19 වනදා කැඳවීමට නියෝග කළා.

මැතිවරණ කොමිසම කළ ඉල්ලීම මුදල් අමාත්‍යවරයා වෙත යොමු කෙරේ

පළාත් පාලන ඡන්ද විමසීම සඳහා අවශ්‍ය මුදල් ප්‍රතිපාදන ලබාදෙන ලෙස මැතිවරණ කොමිසම කළ ඉල්ලීම මුදල් අමාත්‍යවරයා වෙත යොමුකර ඇති බව මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා ලිපියක් මගින් එම කොමිසම දැනුවත් කර තිබෙනවා.

ඒ අනුව මැතිවරණ කොමිසම විසින් පසුගියදා මුදල් අමාත්‍යංශ ලේකම්වරයාට යොමු කරන ලද ලිපියට පිළිතුරු ලිපියක් යොමු කරමින් මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා මෙම ලිපිය යොමුකර ඇති බවයි සඳහන් වන්නේ.

විශ්‍රාම වැටුප් ලබන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නාම ලේඛණයක් නිකුත් වේ

පාර්ලිමේන්තුවට තේරී පත්වී මේ වන විට විශ්‍රාම ගොස් විශ්‍රාම වැටුප් ලබන මන්ත්‍රීවරුන් 266කගේ නම් සහිත ලේඛනයක් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.

ඒ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නීතිඥ මධුර විතානගේ සහ කරුණාදාස කොඩිත්තුවක්කු යන මන්ත්‍රීවරුන් විසින් පාර්ලිමේන්තු මහ ලේකම්වරය‍ාගෙන් කළ ඉල්ලීමකට අනුවයි.

මෙලෙස විශ්‍රාම වැටුප් ලබන විශ්‍රාමික මන්ත්‍රීවරුන් අතර නිරූපමා රාජපක්ෂ, සාගල රත්නායක, උපේක්ෂා ස්වර්ණමාලි සහ රන්ජන් රාමනායක වැනි මන්ත්‍රීවරුන්ගේ නම් ඇතුළත්ව ති‍බෙන අතර වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ද මෙම ලැයිස්තුවේ සිටීම විශේෂත්වයක්.

අදාළ ලේඛණයේ Link එක පහතින්,
http://bit.ly/3J8kMJs

මැතිවරණයට අදාළව රාජ්‍ය ආයතන සමඟ මැතිවරණ කොමිසම ඇතිකරගත් එකඟතා දැනුම්දෙයි

පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව රජයේ මුද්‍රණාලය, පොලීසිය සහ විදුලි බල හා බලශක්ති අමාත්‍යංශය සමඟ ඇතිකරගත් එකඟතාවයන් මැතිවරණ කොමිසම නිවේදනය කර තිබෙනවා.

ඒ අනුව රජයේ මුද්‍රණාලයෙන් තැපැල් ඡන්ද පත්‍රකා දින 5 ක් තුළ ද අනෙකුත් ඡන්ද පත්‍රිකා දින 20 ත් 25 ත් ඇතුළත ද මුද්‍රණය කර ලබා දීමට හැකි බව මුද්‍රණාලයාධිපතිනිය මැතිවරණ කොමිසමට දැනුම් දී ඇති අතර, මුදල් අමාත්‍යංශ ලේකම්වරයා මගින් අදාළ මුදල් ලබා ගන්නා ලෙස දැනුම් දී තිබෙනවා.

මුද්‍රණාලයාධිපතිනිය කරන ලද ඉල්ලීම අනුව පොලිස් ආරක්ෂාව සම්බන්ධයෙන් අවශ්‍ය නිලධාරීන් සංඛ්‍යාව සහ අවශ්‍ය දින පිළිබඳ තොරතුරු පොලිස්පතිවරයා වෙත යොමු කරන ලෙස හා ඒ අනුව අවශ්‍ය ආරක්ෂාව ලබාදිය හැකි බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති (මැතිවරණ) විසින් දන්වා තිබෙනවා.

කොමිෂන් සභාවේ ඉල්ලීම පරිදි ඡන්ද විමසීමට අදාළ ඉන්ධන ලබාදීමේ තීරණය විදුලි බල හා බලශක්ති අමාත්‍යංශ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් හා ඛණිජ තෙල් සංස්ථා නිලධාරීන් විසින් ඉදිරි දින කිහිපය තුළදී ලබා දීමට ද එකඟතාව පළ කර තිබෙනවා.

අදාළ නිවේදනය පහතින්.

6466c0f4f8c7d8dec57472fe949b4745