ශෙහාන් සේමසිංහ වැඩබලන මුදල් ඇමති ලෙස පත් කෙරේ

වැඩබලන මුදල් අමාත්‍යවරයා ලෙස මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පත්කර තිබෙනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ තුන්වන චාල්ස් රජුගේ රාජාභිෂේකයට සහභාගි වීම සඳහා එංගලන්තය බලා පිටත්ව යාම හේතුවෙන් මෙම පත් කිරීම සිදුකර ඇති බවයි සඳහන් වන්නේ.

ඒ අනුව ජනාධිපතිවරයාගේ එංගලන්ත සංචාරය නිමාකර දිවයිනට පැමිණෙන තෙක් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ වැඩබලන මුදල් අමාත්‍යවරයා ලෙස කටයුතු කිරීමට නියමිතයි.

අලි සබ්රි ඉන්දීය මුදල් අමාත්‍යවරිය හමුවෙයි

විදේශ අමාත්‍ය අලි සබ්රි කොරියාවේ සෝල් නුවරදී ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් හමුවී තිබෙනවා.

ආසියානු සංවර්ධන බැංකුවේ 56 වැනි වාර්ෂික රැස්වීමට සමගාමීව මෙම හමුව සිදුව ඇති බවයි සඳහන් වන්නේ.

එහිදී දෙරටේ ජනතාවගේ අභිවෘද්ධිය සඳහා ද්විපාර්ශ්වික සබඳතා සහ ආර්ථික හවුල්කාරිත්වය තවදුරටත් ශක්තිමත් කිරීම පිළිබඳව සාකච්ඡා කර ඇති බව සඳහන්.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද රැස්වෙයි

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද (03) රැස්වීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව දැනට පත්කර නොමැති කොමිෂන් සභා සඳහා සාමාජිකයින් පත් කිරීම මෙම සතිය තුළ අවසන් කිරීමට බලාපොරොත්තු වන බවයි කථානායක මහින්ද යාපා අබේවර්ධන සඳහන් කළේ.

රාජ්‍ය සේවා කොමිසම, ප්‍රසම්පාදන කොමිසම සහ විගණන සේවා කොමිසම සඳහා සාමාජිකයන් පත් කිරීම අවසන් කර ඇති බවයි සඳහන් වන්නේ.

ජාතික පොලිස් කොමිසම, මානව හිමිකම් කොමිසම, අල්ලස් හෝ දූෂණ චෝදනා කොමිසම, මුදල් කොමිසම, අධිකරණ සේවා කොමිසම, හා සීමා නීර්ණ කොමිසම සඳහා තවදුරටත් සාමාජිකයන් පත් කිරීමට නියමිත බවත් කෙසේ නමුත් මැතිවරණ කොමිසම සඳහා සාමාජිකයන් පත් කිරීම ගැන අවසන් තීරණයක් ගෙන නොමැති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

ස.ජ.බ.යට එරෙහිව ඩයනාගේ පෙත්සමක් විභාගයට ගැනීමට දින නියම වෙයි

සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහිමි කිරීමට සමගි ජන බලවේගය ගෙන තිබෙන තීරණය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ විසින් ඉදිරිපත් කළ පෙත්සමක් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය දින නියම කර තිබෙනවා.

අදාළ පෙත්සම ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී අදාළ පෙත්සම ජුනි මස 8 වනදා විභාගයට ගැනීමට දින නියම කර ඇති බවයි සඳහන් වන්නේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විසිවන සංශෝධනයට සහාය පළකළේ යැයි චෝදනා කරමින් වගඋත්තරකරුවන් තමන්ව මන්ත්‍රි ධූරයෙන් නෙරපීමට කටයුතු කරමින් ඇති බවත්, එම තීරණයට එළඹීමට පෙර වගඋත්තරකරුවන් කිසිදු සාධාරණ විනය පරීක්ෂණයක් ලබාදීමට කටයුතු නොකළ බවත් ඇය පෙන්වා දෙනවා.

ඒ අනුව සිය මන්ත්‍රී ධුරය අහිමි කිරීමට වගඋත්තරකරුවන් ගෙන තිබෙන තීරණය නීතියට පටහැනි යැයි තීන්දු කොට, එය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් සිය පෙත්සමෙන් රාජ්‍ය අමාත්‍යවරිය වැඩිදුරටත් ඉල්ලා තිබෙනවා.

මැතිවරණයට ඉදිරිපත් වූ රාජ්‍ය සේවකයින් යළි සේවයේ පිහිටුවීමට අදාළ නිර්දේශ ලබාදෙයි

පළාත් පාලන මැතිවරණය සඳහා ඉදිරිපත් වී සිටින රාජ්‍ය සේවකයින් යළි සේවයේ පිහිටුවීමට අදාළ නිර්දේශ ලබාදී ඇති බව රාජ්‍ය පරිපාලන සහ ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර පවසනවා.

ඒ අනුව ඡන්දයට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයින්ට සිය ඡන්ද කොට්ඨාසයෙන් බාහිර වෙනත් ප්‍රදේශයක තාවකාලිකව රාජකාරි කටයුතු ආරම්භ කිරීමට අවස්ථාව ලබාදී ඇති බවයි වාර්තා වන්නේ.

ඔවුන්ට අදාළ වැටුප් සහ දීමනා ගෙවීමටද නිර්දේශ ලබාදී ඇති බව රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර වැඩිදුරටත් සඳහන් කළා.

සමගි ජන බලවේගයේ මැයි දින රැලිය ගුණසිංහපුර දී ඇරඹෙයි

සමගි ජනබලවේගයේ මැයි පෙලපාලිය මෙවර මාලිගාවත්ත පී.ඩී සිරිසේන ක්‍රීඩාංගණයෙන් ආරම්භ වූ අතර ගුණසිංහපුර ඒ.ඊ ගුණසිංහ ක්‍රීඩාංගණයේ දී මැයි දින රැළිය මේ වන විට පැවැත්වෙනවා.

සමගි ජනබලවේගයේ මෙවර මැයි දිනය “වැඩබිමෙන් ඇරඹෙන මව්බිමේ අරගලය” ලෙස නම් කොට තිබෙනවා.

ජනතා විමුක්ති පෙරමුණේ රතු මැයි රැලිය ඇරඹේ

මෙවර ජනතා විමුක්ති පෙරමුණේ “රතු මැයි රැලිය” විහාර මහාදේවී උද්‍යානය ඉදිරිපිට දී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ඊට සමගාමීව පවත්වනු ලබන මැයි දින පෙළපාලියද මීට සුළු මොහොතකට පෙර කොළඹ කොළඹ BRC පිටිය අසලින් ආරම්භ වුණා.

නව දූෂණ විරෝධී පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට

නව දූෂණ විරෝධී පනත් කෙටුම්පත මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙනවා.

අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ විසින් අදාළ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා.

IMF ගිවිසුම ගැ​න පාර්ලිමේන්තු විවාදය අද දෙවන දිනටත්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇතිකරගත් එකඟතා ගිවිසුම සම්බන්ධයෙන් වන පාර්ලිමේන්තු විවාදය අද (27) දෙවන දිනටත් පැවැත්වෙනවා.

ඒ අනුව එම විවාදය ඊයේ (26) ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් පාර්ලිමේන්තුවේදී ආරම්භ කළා.

මේ සම්බන්ධයෙන් වන ඡන්ද විමසීම හෙට (28) පැවැත්වීමට නියමිතව තිබෙනවා.

සමගි ජන බලවේගයෙන් විනය කමිටුවක්

පක්ෂය තුළ සිටිමින් පක්ෂය විවේචනය කරන පිරිස් සඳහා පියවර ගැනීමට විනය කමිටුවක් පත් කිරීමට සමගි ජන බලවේගය තීරණය කර තිබෙනවා.

ඒ අනුව ඊයේ (24) පැවති එම පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී මෙම තීරණය ගත් බවයි එම පක්ෂයේ මන්ත්‍රීවරුන් සඳහන් කළේ.

සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් සඳහන් කළේ, පක්ෂය තුළ සිට වෙනත් පක්ෂ සඳහා සහයෝගය දක්වා ප්‍රකාශ නිකුත් කරන අයෙක් සිටීනම් ඔහුට එරෙහිව විනය පියවර ගැනීමට තීරණය කළ බවයි.