ලොහාන් රත්වත්තේ රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වෙයි

වැවිලි කර්මාන්ත සහ මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ සිය රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වූ බවට අතිවිශේෂ ගැසට් නිවේදනයක් මගින් දැනුම් දී තිබෙනවා.

පසුගිය 29 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි ඔහු සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බවයි ජනාධිපති ලේකම් ඊ.එම්.එස්.බී.ඒකනායක විසින් නිකුත් කර ඇති මෙම අතිවිශේෂ ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ.

ඔන්ලයින් පනතින් අගතියට පත්වුනොත් සජබ නීති සහාය

දේශිය හා ජාත්‍යන්තර විරෝධය මැද ආණ්ඩුව විසින් ගෙන එන ලද මාර්ගගත සුරක්ෂිතභාවය

පිළිබඳව කෙටුම්පත හරහා අගතියට පත්වන පාර්ශව හට නීති සහාය ලබා දීමට සමගි ජන බලවේගය සුදානම් බව විපක්ෂ නායකවරයා ප්‍රකාශ කර තිබේ.

සත්‍යවාදී තොරතුරු රටට හෙළි කිරිමට බිය නොවන ලෙසත් එසේ සත්‍යවාදී තොරතුරු රටට හෙළි කිරිම තුළින් අසහනයට පත් වන රාජ්‍ය මිලේච්ඡත්වය රාජ්‍ය හිරිහැරවලට අත්අඩංගුවට ගැනීම්වලට ලක්වන සියලුම ජනතාව වෙනුවෙන් නොමිලේ නීති සහාය ලබා දෙන බවයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසන්නේ.

මාර්ගගත සුරක්ෂිතභාවය යනුවෙන් ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය නැති කිරීම නිසා සමාජ මාධ්‍ය හරහා රටට තොරතුරු හෙළි කිරිමට මිනිසුන් බය වී ඇති බව විපක්ෂ නායකවරයා, පෙබරවාරි 2 වැනිදා කේවල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ 80 වැනි අදියර යටතේ කඹුරුපිටිය මහා විද්‍යාලයට රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දීමට එක්වෙමින් පැවසීය.

ඇත්ත කතා කරන්න, චරිත ඝාතනය නොකර නිදහසේ සත්‍ය හෙළිදරව් කරන්න ජනතාවට අයිතිය ඇති බව පවසන සජිත් ප්‍රේමදාස මෙය හිට්ලර්ගේ හෝ මුසොලනීගේ හෝ ස්ටාර්ලින්ගේ රට නොවන බවත් ඇත්තේ ප්‍රජාතන්ත්‍රවාදී වැඩපිළිවෙළක් බව අවධාරණය කළේය.

රට විනාශ කළ පුද්ගලයන්ගෙන් බලය ලබා ගෙන හිට්ලර්ලා, මුසෝලනීලා වෙන්න උත්සාහ දරන්නේ නම් තව මාස 7, 8කින් ජනතාව රටේ වෙනසක් සිදු කරනු ඇති බවට විශ්වාස කරන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස එම වෙනස පොදුජන වරම තුළින් සිදුවන බව තවදුරටත් කියා සිටියේය.

පාර්ලිමේන්තු නව සැසි වාරය පෙබරවාරි 07 වැනිදා ජනපතිගේ ප්‍රධානත්වයෙන්

09 වන පාර්ලිමේන්තුවේ 5 වන සැසිවාරය පෙබරවාරි 07 වැනිදා උදෑසන 10.30 ට ජනපතිගේ ප්‍රධානත්වයෙන් උත්සවාකාරයෙන් ආරම්භ වන බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

මෙහිදී රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ කල් තැබීමේ විවාදය පෙබරවාරි 08 වනදා සහ 09 වනදා උදෑසන 9.30 සිට පස්වරු 5.30 දක්වා පැවැත්වීමට කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් අද පැවති විශේෂ පක්ෂ නායක රැස්වීමකදී තීරණය කර තිබෙනවා.

ශෂීන්ද්‍ර රාජපක්ෂට රාජ්‍ය අමාත්‍ය ධූරයක්

වාරිමාර්ග හා ජල සම්පත් කළමණාකරන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ශෂීන්ද්‍ර රාජපක්ෂ දිවුරුම්දී තිබෙනවා.

ඒ අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරියේ ඔහු මීට සුළු මොහොතකට පෙර දිවුරුම් දුන් බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

සමගි ජන බලවේගයේ විරෝධතාවට තවත් අධිකරණ නියෝගයක්

සමගි ජන බලවේගයේ විරෝධතා රැළියට එරෙහිව තවත් නියෝගයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව එම විරෝධතාවට සහභාගී වන පිරිස මුදල් අමාත්‍යාංශයට සහ ජනාධිපති ලේකම් කර්යලයට ඇතුළුවීම වළක්වාලමින් කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයෙන් වාරණ නියොගයක් නිකුත් ඇති බවයි සඳහන් වන්නේ.

සමගි ජන බලවේගය අද (30) දින දහවල් 1.30 ට කොළඹදී විරෝධතා පා ගමනක් සහ රැළියක් පැවැත්වීමට නියමිතව තිබෙනවා.

පුත්තලමේ ජනතාව දේශපාලනයට එන ලෙස ඉල්ලීමක් කරනවා නම් ඒ ගැන සලකා බලන්න වෙනවා – සනත් නිශාන්තගේ බිරිඳ

තම ස්වාමි පුරුෂයාගෙන් හිස් වූ දේශපාලන නායකත්වය භාරගන්නැයි පුත්තලමේ ජනතාව මෙන්ම පක්ෂයෙන්ද ඉල්ලීමක් කරන්නේ නම්, ඉදිරියේදී තමාට ඒ පිළිබඳව සලකා බැලීමට සිදුවන බව අභාවප්‍රාප්ත අමාත්‍ය සනත් නිශාන්තගේ බිරිඳ පවසනවා.

රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තගේ ආරක්ෂක නිලධාරී පොලිස් සැරයන් අනුරාධ ජයකොඩිගේ නිවසට පැමිණ, එම පවුලේ ඥාතීන්ට ශෝකය පළ කළ අවස්ථාවේදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් ඇය මේ බව සඳහන් කළා.

තමා තම ස්වාමියාගේ පුද්ගලික ලේකම් වශයෙන් කටයුතු කළද දේශපාලනයට පැමිණීමට කිසි දිනෙක බලාපොරොත්තුවක් නොතිබූ බවත්, දැනටත් එවැනි බලාපොරොත්තුවක් නොමැති බවයි ඇය සඳහන් කළේ.

පාර්ලිමේන්තුව අද මධ්‍යම රාත්‍රියේ සිට වාර අවසාන කෙරේ

අද (26) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි පාර්ලිමේන්තුව වාර අවසාන කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව පාර්ලිමේන්තුවේ මීළඟ සැසි වාරය පෙබරවාරි 7 වැනිදා පෙරවරු 10.30ට ආරම්භ වන බවයි ජනාධිපතිවරයා සිය ගැසට් නිවේදනය මඟින් වැඩිදුරටත් දක්වා තිබෙන්නේ.

අදාළ ගැසට් නිවේදනය පහතින්.

65b393110de31pdf_page_0

මැතිවරණයකට සූදානම් වනවා නම් රට ගොඩනැඟිය හැක්කේ කෙසේද යන්න සැලැස්මක් සියලු දේශපාලන පක්ෂවලට තිබිය යුතුයි – ජනපති

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ගිවිසුම ඉදිරියට ක්‍රියාත්මක කරන්නේ කෙසේද යන්න පිළිබඳව එහි කළමණාකාර අධ්‍යක්ෂවරිය සමඟ සාකච්ඡාවකට එක්වන ලෙස පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂ නායකයන්ට ජනාධිපති රනිල් වික්‍රමසිංහ ආරාධනා කරනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන ගිවිසුමෙන් ශ්‍රී ලංකාව ඉවත් වුවහොත් රටේ ආර්ථිකය පිළිබඳ නැවත විශ්වාසයක් තැබිය නොහැකි බව පෙන්වා දුන් ජනාධිපතිවරයා සියලු දෙනා එක්ව පොදු එකඟතාවයකින් රට ජයග්‍රහණය කරා මෙහෙයවිය යුතු බවයි සඳහන් කළේ.

පොරොන්දු දේශපාලනයෙන් සිදු වූයේ රටේ ආර්ථිකය විනාශ වීම බවත්,  මැතිවරණයකට සූදානම් වනවා නම් රට ගොඩනැගිය හැක්කේ කෙසේද යන්න පිළිබඳ සැලැස්මක් සියලු දේශපාලන පක්ෂ වෙත තිබිය යුතු බවයි රේගු මූලස්ථානයේ දී අද (26) පෙරවරුවේ පැවති ජාත්‍යන්තර රේගු දින සැමරුම් උත්සවය අමතමින් ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.

65b3792b473depdf_page_2 65b3792b31b91pdf_page_1 65b37929f3ee9pdf_page_0

දණ්ඩ නීති සංග්‍රහය සඳහා සංශෝධන ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය

ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී දණ්ඩ නීති සංග්‍රහය සඳහා සංශෝධනයන් ඉදිරිපත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබෙනවා.

දණ්ඩ නීති සංග්‍රහයේ සඳහන් ව්‍යස්ථාපිත ස්ත්‍රී දුෂණය පිළිබඳ නීති සංශෝධනය කිරීම සඳහාත්, ස්ත්‍රී දුෂණය සම්බන්ධ නීතියේ පවතින අඩුපාඩු නිවැරදි කිරීම සඳහා සහ පිරිමි ළමයින් දුෂණය කිරීම සාපරාධී ක්‍රියාවක් බවට පත්කිරීම සඳහාත් දණ්ඩ නීති සංග්‍රහය සඳහා සංශෝධන හඳුන්වා දීමට 2021.01.18 සහ 2021.06.28 යන දිනවල පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීම්වලදී අනුමැතිය ලබාදී ඇති බව අදාළ නිවේදනයේ සඳහන්.

එම පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, ඉන් අනතුරුව අනුමැතිය පිණිස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත්, අධිකරණ අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබෙනවා.

සනත් නිශාන්තගෙන් හිස් වූ මන්ත්‍රී ධූරය විමල්ගේ පක්ෂයේ ජගත් ප්‍රියංකරට

රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තගෙන් පුරප්පාඩු වන පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සඳහා මනාප අනුපිළිවෙල අනුව ජගත් ප්‍රියංකර සුදුසුකම් ලබා තිබෙනවා.

2020 වර්ෂයේ පැවති පාර්ලිමේන්තු මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පුත්තලම දිස්ත්‍රික්කයෙන් ඔහු මනාප 40,527ක් ලබාගෙන තිබුණා.

ජගත් ප්‍රියංකර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තරඟ වැදුනේ විමල් වීරවංශගේ නායකත්වයෙන් යුතු ජාතික නිදහස් පෙරමුණ නියෝජනය කරමින්.