විපක්‍ෂයෙන් එනවා කියු 25 නාවොත් වෙනම අපේක්‍ෂකයෙක් දානවා..- පොහොට්ටුව ජනපතිට නැවත දන්වයි..

සමගි ජන බලවේගයෙන් සහාය ලබාදෙන බව පැවසූ මන්ත්‍රීවරුන් 25 දෙනා ජූලි මස 15 වැනි දිනට පෙර එක් කර ගන්නා ලෙස  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති වික්‍රමසිංහ මහතාට දෙවන වරටත් දැනුම් දී තිබේ.

එසේ විපක්ෂ මන්ත්‍රීවරු 25දෙනා සම්බන්ධ කර ගැනීමට නොහැකි වුවොත් පොදු ජන පෙරමුණෙන් වෙනම ජනාධිපති අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන බවද පසුගිය සතියේ පැති සාකච්ඡාවකදී අවධාරණය කර ඇත.
මේ අතර පොදු ජන පෙරමුණෙන් ජනාධිපති අපේක්ෂකත්වය බලාපොරොත්තුවෙන් සිටින කිහිප දෙනෙකු සමග එම පෙරමුණ පසුගිය සතියේදී සාකච්ඡා ආරම්භ කර තිබේ.තවද පොහොට්ටුවේ බිම්මට්ටමින් පොදුජන පෙරමුණේ අපේක්ෂකයකු ඉදිරිපත් කරන ලෙසට දැඩි බලපෑම් එල්ල වී ඇත.

නායකත්වය සහ පක්ෂයේ වැඩපිළිවෙළ විවේචනය කළ ෆොන්සේකාට එරෙහිව විනය පියවර ගැනීමට තීරණයක්

සමගි ජන බලවේගයේ නායකත්වය සහ පක්ෂය විවේචනය කිරීම සම්බන්ධයෙන් එම පක්ෂයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පිළිබඳව ඉදිරියේදී සුදුසු විනය ක්‍රියාමාර්ග ගැනීමට එම පක්ෂය තීරණය කර තිබෙනවා.

ඒ අනුව අදාළ ප්‍රකාශය සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ ව්‍යවස්ථාවට අනුව පක්ෂයේ කළමනාකාරීත්වය සහ කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස් වී ඉදිරි දින කිහිපය තුළ තීරණයක් ගැනීමට නියමිත බවයි එම පක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක සඳහන් කළේ.

පසුගියදා පාර්ලිමේන්තුවේදී තමන්ට ප්‍රකාශයක් සිදු කිරීමට සමගි ජන බලවේගය වෙලාවක් වෙන් කර නොදීම හේතුවෙන්, පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා ආණ්ඩු පක්ෂයෙන් වෙලාවක් ලබා ගනිමින්, පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් සමගි ජන බලවේගයේ නායකත්වය සහ පක්ෂයේ වැඩපිළිවෙළ සම්බන්ධයෙන් විවේචනාත්මකව අදහස් පළ කළා.

මේ වසරේ අනිවාර්යයෙන්ම ජනාධිපතිවරණය පැවැත්විය යුතුයි – මැ.කො.

මේ වසරේ අනිවාර්යයෙන්ම ජනාධිපතිවරණය පැවැත්විය යුතු බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක පවසනවා.

2019 වසරේ ජනාධිපතිවරණය පැවැත්වීමෙන් අනතුරුව මෙම වසරට වසර 5ක් සම්පූර්ණ වන බවයි වැඩසටහනක් අමතමින් ඔහු සඳහන් කළේ.

ඒ අනුව නිශ්චිත වශයෙන්ම අදාළ කාලසීමාව තුළ ජනාධිපතිවරණය පැවැත්විය යුතු බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ.

ජාතික ජන බලවේගයේ පළාත් පාලන අයතන සදහා නාමයෝජනා භාර දුන් නුවරඑළිය මහ නගර සභා මන්ත්‍රීධූර අපේක්ෂකයෙක් එජාපයෙන් කොට්ඨාශ සංවිධායක ධූරයක් බාරගනී.

ආර්.එෆ්.එම්.සුහෙල් – නුවරඑළිය
ජාතික ජන බලවේගයේ පළාත් පාලන අයතන සදහා නාමයෝජනා භාර දුන් නුවරඑළිය මහ නගර සභා මන්ත්‍රීධූර අපේක්ෂකයෙක් එජාපයෙන් කොට්ඨාශ සංවිධායක ධූරයක් බාරගනී.
පසුගිය මාස කිහිපයට ප්‍රථම පළාත් පාලන ආයතන සඳහා නාම යෝජනා භාර ගැනීමේදී අනුර කුමාර දිසානායක මහ්තා ප්‍රමුක ජාතික ජන බලවේගය පක්ෂය නියෝජනය කරමින් නුවරඑළිය මහ නගර සභාව සඳහා නාම යෝජනා භාර දුන් තුෂාර රාජපක්ෂ මහතා (18) දින එක්සත් ජාතික පක්ෂය නුවරඑළිය කොට්ඨාස සංවිධායකවරයා වශයෙන් පත්වීම් භාරගෙන ඇත .
තනතුරට අදාළ පත්වීම එක්සත් ජාතික පක්ෂ නායක හා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් තුෂාර රාජපක්ෂ මහතාට ලබාදෙන අයුරු ඡායාරූපය දිසවේ.

ජන අරගල සන්ධානය නමින් නව දේශපාලන ව්‍යාපාරයක්

ජන අරගල සන්ධානය නමින් නව දේශපාලන ව්‍යාපාරයක් අද (19) ආරම්භ කර තිබෙනවා.

පසුගිය සමයේ අරගලයට සම්බන්ධ වූ සමාජ ක්‍රියාකාරීන්, ශිෂ්‍ය ක්‍රියාකාරීන්, මාධ්‍යවේදීන් සහ දේශපාලන පක්ෂ එක්ව මෙම දේශපාලන ව්‍යාපාරය පිහිටුවා ඇති බවයි වාර්තා වන්නේ.

“වෙනසක තාරුණ්‍යය” ජාතික සංවිධායක ළහිරු වීරසේකර, අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලයේ හිටපු කැඳවුම්කරු වසන්ත මුදලිගේ, නීතිඥ නුවන් බෝපගේ, තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ තරිඳු උඩුවරගෙදර ඇතුළු පුද්ගලයන් සහ පක්ෂ කණ්ඩායම් ගණනාවක් මෙයට ඇතුළත්.

ඔක්තෝබර් 5 වනදා ජනාධිපතිවරණය පවත්වනවා – හරීන් ප්‍රනාන්දු

එළැඹෙන ඔක්තෝබර් 5 වනදා ජනාධිපතිවරණය පවත්වන බව අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පවසනවා.

එම ජනාධිපතිවරණයෙන් රනිල් වික්‍රමසිංහ ජයග්‍රහණය කරන බවයි අද (14) මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

අගමැති ධුරය බාරගන්න මට කිසිම ආරාධනාවක් ලැබු​නේ නෑ, ඒක සම්පූර්ණ බොරු කතාවක් – අනු​ර

අරගලය සමයේ අග්‍රාමාත්‍ය ධුරය බාරගැනීමට තමාට කිසිඳු ආරාධනයක් කිසිඳු ලෙසකින් නොලැබුනු බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පවසනවා.

එය ගොතන ලද අසත්‍ය කතාවක් බවද, ඒ අවස්ථාවේදී ගෝඨාභය රාජපක්ෂ, මහින්ද රාජපක්ෂ ඇතුළු රාජපක්ෂ පවුල ඔවුන් සතුව තිබූ බලය තමන් අතට ලබා දේයැයි කියා සිතන්නටවත් හැකිදැයි ඔහු පෙන්වා දෙනවා.

එපමණක් නොව, තමා කොන්දේසි සහිතව අග්‍රාමාත්‍ය ධුරය බාරගැනීමට සූදානම් බව 2022 මැයි 13 ලිඛිතව දැනුම්දුන් නමුත්, එම ලිපියට අඩු තරමේ පිළිතුරක් හෝ නොලැබුනු බවද ඔහු සඳහන් කළා.

මෙම බොරුව මනූෂ නානායක්කාර සහ නාමල් රාජපක්ෂ යන මන්ත්‍රීවරුන් දිගින් දිගටම පැවසුවද, එය සම්පූර්ණ අසත්‍ය කතාවක් බවයි ඊයේ (06) තුලාව වැඩසටහනට එක්වෙමින් ඔහු අවධාරණය කළේ.

Courtesy: ITN තුලාව

ආර්ථික කමිටු විවාදය පළමුවත් නායකත්ව විවාදය දෙවනුවත් පැවැත්වීම පූර්ව කොන්දේසියක් – සමගි ජන බලවේගය

අනුර කුමාර දිසානායක සහ සජිත් ප්‍රේමදාස අතර අද (06) දිනයට යෝජිත ස්වාධීන රුපවාහිනී සේවය විකාශන පහසුකම් සපයා ඇති විවාදය සම්බන්ධයෙන් සමඟි ජන බලවේගය විසින් ස්වාධීන රුපවාහිනී සේවයට පිළිතුරු ලිපියක් යොමුකර තිබෙනවා.

ඒ අනුව නායකයින් අතර විවාදයට පෙර දෙපාර්ශවයේ ආර්ථික කමිටු අතර විවාදය පැවැත්විය යුතු බවට පූර්ව කොන්දේසියක් පැවති බවද, එය නොසලකා හරිමින් ජාතික ජන බලවේගය නායකත්වයන් අතර විවාදයට පමණක් එකඟ වී ඇති බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර එම ලිපියේ සඳහන් කර ඇත්තේ.

තමන් ඉදිරිපත් කළ කිසිඳු යෝජනාවකට යහපත් ප්‍රතිචාරයක් නොදක්වා නායකත්ව විවාදය සඳහා දිනයකට ජාතික ජන බලවේගය එකඟවූ බවද, ඔවුන් එකඟ වූ දිනය පදනම් කරගනිමින් ස්වාධීන රුපවාහිනී සේවයද විවාදය පැවැත්වීමට සූදානම් බවට සිදුකළ ප්‍රකාශය විධිමත් සැලසුම් සහගත ක්‍රමවේදයක් අනුගමනය නොකොට සිදුකළ ප්‍රකාශයක් බවද එමඟින් පෙන්වාදී තිබෙනවා.

මෙම විවාදය පැවැත්වීමේදී සමඟි ජන බලවේගය ලෙස අපේක්ෂා කළේ සියලුම විද්‍යුත් නාලිකා, මුද්‍රිත නාලිකා ඇතුළු සියල්ලන් එකඟවන පොදු ස්ථානයක පැවැත්වීම බවයි අදාළ ලිපිය මඟින් වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ.

අදාළ ලිපිය පහතින්.

6661a243496a2pdf_page_1 6661a2430590cpdf_page_0

විවාදයට අනුරගෙන් ප්‍රතිචාර, සජිත් තවමත් නිහඬයි – ITN

ජනාධිපතිවරණ අපේක්ෂකයින් අතර අද (06) පැවැත්වීමට නියමිත විවාදය සඳහා සහභාගී වීමට සූදානම් බව දන්වා ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක ප්‍රතිචාර දක්වා ඇති බව ස්වාධීන රූපවාහිනී සේවය පවසනවා.

කෙසේ නමුත් විවාදය සඳහා සිදුකළ ඇරයුමට සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස තවමත් ප්‍රතිචාර දක්වා නොමැති බවයි ස්වාධීන රූපවාහිනී දිවා ප්‍රවෘත්ති විකාශය වාර්තා කළේ.

අදාළ විවාදය අද රාත්‍රී 10 ට ස්වාධීන රූපවාහිනී HD මැදිරියේ පැවැත්වීමට සූදානම් බව එම සේවය අපේක්ෂකයින් දෙදෙනාටම ලිඛිතව දැනුම්දුන් බව ඔවුන් මීට පෙර වාර්තා කළා.

පාර්ලිමේන්තුව ලබන 4 වැනිදා සිට 7 වැනිදා දක්වා රැස්වෙයි

පාර්ලිමේන්තුව ලබන 4 වැනිදා සිට 7 වැනිදා දක්වා රැස්වීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව පසුගියදා (28) කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී මෙය තීරණය කර ඇති බවයි සඳහන් වෙන්නේ.

‍ශ්‍රී ලංකා විදුලිබල පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදය ජූනි 6 වනදා පැවැත්වීමට තීරණය කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.