වසන්ත මුදලිගේ ඇප මත මුදා හැරේ

අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ට ඇප හිමිවීමත් සමඟ ඔහුව ඇප මත මුදා හැරීමට කටයුතු කර තිබෙනවා.

ඒ, ඔහු අද (01) කොටුව මහෙස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේ ඔහුට එරෙහිව පවතින තවත් නඩු 03කට අදාළව ඇප නියම වීමත් සමඟයි.

ඊයේ (31) ත්‍රස්ත පනත යටතේ ඇති චෝදනා සම්බන්ධයෙන් ඔහුව නිදොස් කොට නිදහස් කළ අතර අද ඇප හිමිවූ නඩු 03ට අදාලව ඔහුව නැවත බන්ධනාගාරගත කිරීමට කටයුතු කර තිබුණා.

වසන්ත මුදලිගේට නඩු තුනකට ඇප

අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේට එරෙහිව කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ පැවති නඩු තුනකට ඇප ලබාදීමට නියෝග කර තිබෙනවා.

ත්‍රස්ත පනත යටතේ ඇති චෝදනා සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ඊයේ (31) නිදහස් කළා.

කෙසේ නමුත් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ පැවති නඩු තුනක් හේතුවෙන් ඔහු අද (01) දිනය දක්වා නැවත රක්ෂිත බන්ධනාගාරගත කර තිබූ අතර මෝසමක් මාර්ගයෙන් එම නඩු අද දිනයේ කැඳවා එම නඩු තුන සඳහා මෙලෙස ඇප නියම කර ඇති බවයි සඳහන් වන්නේ.

නිදහස් සැමරුමට කාදිනල් හිමියන් ඇතුළු කතෝලික සභාව සහභාගී නොවීමට තීරණය කරයි

රට තුළ ආර්ථික අර්බුදයක් පවතින අවස්ථාවක විශාල මුදලක් වැය කරමින් සිදුකරන නිදහස් සැමරුමට කාදිනල් හිමියන් ඇතුළු කතෝලික සභාව සහභාගී නොවන බව සිරිල් ගාමිණී පියතුමන් පවසනවා. ඒ අනුව අද (01) කොළඹදී මාධ්‍ය හමුවක් කැඳවමින් සිරිල් ගාමිණී පියතුමන් සඳහන් කළේ, ආර්ථික අර්බුදයත් සමඟ ඇති වූ ගැටලු රැසකින් ජනතාව පීඩා විඳින අවස්ථාවක රුපියල් මිලියන 200 කට අධික මුදලක් වැය කරමින් අභිමානවත් ලෙස සැමරීමට ඇති නිදහස කුමක්ද යන්න සම්බන්ධයෙන් ගැටලුවක් පවතින බවයි. මෙවැනි අර්බුදකාරී තත්ත්වයක මෙවැනි විශාල මුදලක් වැයකර පුහු නිදහස් දින උත්සවයක් පැවැත්වීම ජනතාවට එරෙහිව සිදුකරන මහා අපරාධයක් බවට අවධාරණය කරන බවයි සිරිල් ගාමිණී පියතුමන් සඳහන් කළේ.

විශ්‍රාම ගැනීමේ වයස වසර 02 කින් දීර්ඝ කිරීමට එරෙහි​ව ප්‍රංශ ජනතාව විරෝධතා දක්වයි

විශ්‍රාම ගැනීමේ වයස් සීමාව වසර දෙකකින් දීර්ඝ කිරීමට ප්‍රංශ රජය විසින් ගෙනා යෝජනාවට එරෙහිව එරට ජනතාව විරෝධතා දියත් කර තිබෙනවා.

ඒ අනුව මේ වන විට වයස අවුරුදු 62 න් විශ්‍රාම ගැනීමේ වයස් සීමාව තවත් වසර දෙකකින් දීර්ඝ කිරීමටයි ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් සැලසුම් කර තිබුණේ.

මෙම විරෝධතා හේතුවෙන් පාසල්, පොදු ප්‍රවාහනය සහ තෙල් පිරිපහදුවලට බාධා එල්ල වී තිබෙන අතර මේ සඳහා ප්‍රධාන වෘත්තීය සමිති අටක් සහභාගී වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

විදේශ ගමන් බලපත්‍ර සකස් කර දෙන බවට පවසා මුදල් වංචා කළ දෙදෙනෙක් අත්අඩංගුවට

විදේශ ගමන් බලපත්‍ර සකස් කර දෙන බවට පවසා මුදල් වංචා කළ සැකකරුවන් දෙදෙනෙක් තලංගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එක්දින සේවය යටතේ විදේශ ගමන් බලපත්‍ර සකස් කර දෙන බවට පවසා ජාතික හැඳුනුම්පත් හා ලිපිද්‍රව්‍ය ලබාගෙන මෙම මුදල් වංචාව සිදුකර ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

මේ පිළිබඳව තලංගම පොලීසියට ලද පැමිණිලි 3 ක් මත විමර්ශන ආරම්භ කර ඇති අතර ඒ අනුව ඊයේ (31) තලංගම පොලිස් ස්ථානය මගින් සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරුවන් සන්තකයේ තිබී ජාතික හැඳුනුම්පතක්, රු 15,000ක් සහ විදේශ ගමන් බලපත්‍ර සකස් කරන ව්‍යාජ ටෝකන් පත් 9 ක් සොයාගෙන ඇති අතර අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 47 හා 65 යන වයස්වල පසුවන මාලඹේ සහ කොළඹ 9 ප්‍රදේශයේ පදිංචිකරුවන් වනවා.

නීතිවිරෝධී ජංගම දුරකථන ආනයනය වැළැක්වීමට කඩිනම් ක්‍රියාමාර්ග

නීතිවිරෝධී ආකාරයෙන් සිදු කෙරෙන ජංගම දුරකථන ආනයනය වැළැක්වීම සඳහා කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

එම ආනයනයන් හේතුවෙන් රටට විශාල බදු ආදායමක් අහිමි වන බවයි ජංගම දුරකථන ආනයනකරුවන් සමග අද (31) මුදල් අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවකදී රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.

නීත්‍යානුකූලව ආනයනය කෙරෙන සියලුම දුරකථනවල IMEI අංක විදුලි සංදේශ නියාමන කොමිසමේ ලියාපදිංචි කෙරෙන අතර දුරකථන අස්ථානගතවීම් හෝ නීතිවිරෝධී ක්‍රියාවන්වලදී එම දුරකථනය හඳුනා ගනු ලබන්නේ මෙම අංකය භාවිතයෙන් බවයි සඳහන් වන්නේ.

එහෙත් නීතිවිරෝධී ලෙස ආනයනය කෙරෙන දුරකථන එවැනි ලියාපදිංචි කිරීමක් සිදු නොකරන බව එහිදී අනාවරණය වී ඇති අතර මීට අමතරව නීත්‍යානුකූලව ආනයනය කරන සියලු ජංගම දුරකථන සෞඛ්‍ය ආරක්ෂිත බවට තහවුරු කිරීමක් සිදු කෙරුණ ද නීතිවිරෝධී ආනයනයන්වලදී එවන්නක් ද සිදු නොවන බවද අනාවරණය වී තිබෙනවා.

ලබන සඳුදා වනවිට මේ සම්බන්ධයෙන් වාර්තාවක් ලබා දෙන ලෙසත් නීතිවිරෝධී ආනයනයන් වැළැක්වීමට කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා ලෙස ද අමාත්‍යවරයා වෙළෙඳ හා ආයෝජන ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුවට උපදෙස් ලබාදී තිබෙනවා.

සාමාන්‍ය පෙළ විභාගයේ අයදුම්පත්‍ භාර ගැනීම අද සිට

2022 සාමාන්‍ය පෙළ විභාගය සඳහා වන අයදුම්පත් අද (01) සිට එළඹෙන 28 වනදා දක්වා Online ක්‍රමවේදය ඔස්සේ පමණක් නිකුත් කිරීම් සහ භාර ගැනීම් සිදු කෙරෙන බව විභාග කොමසාරිස් ජනරාල්වරයා පවසනවා. කිසිදු හේතුවක් මත එම කාලය දීර්ඝ නොකරන බවයි නිවේදනයක් නිකුත් කරමින් විභාග කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළේ.

861ba98f80900e4d26f127a32a6a72ad

මෛත්‍රීගෙ සමාව අපි පිළිගන්නේ නෑ – කතෝලික සභාව

පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් කතෝලික ප්‍රජාවගෙන් සමාව අයැදීම කතෝලික සභාව පිළිනොගන්නා බව ජූඩ් ක්‍රිෂාන්ත පියතුමා පවසනවා.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සමස්ත කතෝලික ජනතාවගෙන් තමන් සමාව අයැද සිටින බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අද (31) ප්‍රකාශයක් සිදුකරමින් සඳහන් කළා.

වසන්ත මුදලිගේ නිදහස් කෙරේ

ත්‍රස්ත පනත යටතේ ඇති චෝදනා සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ නිදහස් කිරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙනවා.

නියෝගය ප්‍රකාශයට පත් කරමින් ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා සඳහන් කළේ සැකකරුට එරෙහිව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ වැරදි කිසිවක් අනාවරණය නොවන බවයි.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මෛත්‍රී සමාව ඉල්ලයි

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සමස්ත කතෝලික ජනතාවගෙන් තමන් සමාව අයැද සිටින බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.

ඒ අනුව තමාගේ පාලන කාලය තුළ මෙවැනි සිදුවීමක් සිදුවීම සම්බන්ධයෙන් කණගාටු වන බව සහ තමා කිසිඳු දෙයක් නොදැන සිටි අවස්ථාවක මෙම ප්‍රහාරය එල්ල වූ බවයි හිටපු ජනාධිපතිවරයා සඳහන් කරන්නේ.

නඩු තීන්දුවේ සඳහන් කර ඇත්තේ, තමා වරදක් කර ඇති බවට නොවන බවත් ජනාධිපතිවරයා විසින් පත් කරන ලද නිලධාරීන් යම් බරපතළ වැරැද්දක් කළහොත් ඒ සඳහා ජනාධිපතිවරයාද වගකිව යුතු බව යැයිද හිටපු ජනාධිපතිවරයා සඳහන් කළා.