කළු විරෝධතා සතියේ ඉදිරි පියවර පිළිබඳ සාකච්ඡාවක​ට වෘත්තීය සමිති අද හමුවෙයි

වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුවේ නියෝජිතයින්ගේ විශේෂ හමුවක් අද (30) පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව නියෝජනය කරන විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය සඳහන් කළේ, මෙම හමුව සඳහා වෘත්තීය සමිති 30ක පමණ නියෝජිතයින් පිරිසක් සහභාගි වීමට නියමිත බවයි.

රුපියල් ලක්ෂය ඉක්මවන මාසික ආදායම් මත 6% සිට 36% දක්වා බදු අයකරන ආණ්ඩුවේ ප්‍රතිපත්තිය වහා හකුලා ගන්නැයි බලකරමින් පසුගිය සතියේ ක්‍රියාත්මක කළ කළු විරෝධතා සතියේ ඉදිරි පියවර පිළිබඳව මෙහිදී සාකච්ඡා කිරීමට නියමිතයි.

බදු සංශෝධනවලට එරෙහිව අ​ද කොළ​ඹ වරායේ වැඩ පැයක් නවතී

රජය විසින් හඳුන්වා දුන් බදු සංශෝධනවලට විරෝධය පළ කරමින් කොළඹ වරායේ සියළු සේවකයින් අද පැයක කාලයක් සිය සේවාවලින් ඉවත්ව උද්ඝෝෂණයක නිරතවන බව ශ්‍රී ලංකා වරාය අධිකාරියේ වෘත්තීය සමිති පවසනවා.

මෙම ක්‍රියාමාර්ගයට රජය දක්වන ප්‍රතිචාර අනුව සිය ඉදිරි සැලසුම් ක්‍රියාත්මක කරන බවයි පොදුජන ප්‍රගතිශීලී සේවක සංගමයේ ප්‍රධාන ලේකම් ශ්‍යාමල් සුමනරත්න සඳහන් කළේ.

ඒ අනුව අද දිනයේ දහවල් 12.00 සිට 1.00 දක්වා වරායේ කිසිදු කටයුත්තක් සිදු නොවන බවත් අද පැවැත්වෙන විරෝධතාව ඉදිරියේදී සමස්ත වරාය වැඩවර්ජනයක් දක්වා යාමට ඉඩ තිබෙන බවද ඔහු සඳහන් කළා.

ATM කාඩ්පත්වලින් වංචනිකව මුදල් ලබාගත් පුද්ගලයෙක් කුරුණෑගලදී අත්අඩංගුවට

පුද්ගලයින් රවටා ඔවුන්ගේ ATM කාඩ්පත්වල රහස් අංකය ලබාගෙන මුදල් ලබාගත් සැකකරුවෙකු ඊයේ (29) කුරුණෑගල දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු විසින් කුරුණෑගල නගරයේ පිහිටි බැංකුවල ATM යන්ත්‍ර අසල රැඳී සිටිමින් මුදල් තැන්පත් කිරීමට පැමිණෙන පුද්ගලයන් රවටා ATM කාඩ්පතෙහි රහස් අංකය ලබාගෙන ඇති බවයි සඳහන් වන්නේ.

පසුව ඔහු ATM කාඩ්පත වෙනත් කාඩ්පතක් සමග මාරු කර එම සොරකම සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 22 හැවිරිදි කොටිකාපල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර ඔහු අද (30) කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

කේ.බී. හේරත් අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ නාට්‍යවේදී කේ.බී. හේරත් අද දහවල් අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මියයන විට ඔහු 82 වන වියේ පසු වුනා.

සුදු කරල් වේදිකා නාට්‍ය හරහා වේදිකාවට පැමිණි ඔහු මයාදේවී, ජගන් මා වේදිකා නිර්මාණවලට දායක වූ අතර ජාතික රූපවාහිනිය නිෂ්පාදනය කළ “ඉන්ගම්මාරුව” , ගජමන් නෝනා ආදී ටෙලි නිර්මාණ රැසක තිර රචකයා ලෙසද කටයුතු කර තිබෙනවා.

තර්ජනාත්මක දුරකථන ඇමතුම් පැමිණ ඇත්තේ විදෙස් රටක සිට – පොලිස් මාධ්‍ය ප්‍රකාශක

මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයින්ට දුරකථන ඔස්සේ තර්ජන සිදුකර ඇත්තේ, විදෙස් රටක සිට බවට අනාවරණය වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව පවසනවා.

අදාළ දුරකථන ඇමතුම් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බවද, ඒ අනුව එම දුරකථන ඇමතුම් එකම දුරකථන අංකයකින් සිදුවන බවද, එම දුරකථන අංකය ගාල්ල ප්‍රදේශයේ යම් ලිපිනයක් සහිත දුරකථන අංකයක් වන නමුත් එම පුද්ගලයා දැනට ලංකාවේ නොමැති බවට අනාවරණයවී ඇති බවද ඔහු සඳහන් කළා.

විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව, ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය, අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව යන අයතනවල සහාය ලබාගෙන ඉදිරි විමර්ශන කටයුතු ක්‍රියාත්මක කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

ජනක රත්නායක PUSL සභාපති ධුරයෙන් ඉවත් කිරීමට චෝදනා පත්‍රය සකස් කර අවසන් – කංචන

මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක එම ධූරයෙන් ඉවත් කිරීමට අදාළ චෝදනා පත්‍රය මේ වන විට සකස් කර අවසන් බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

පාර්ලිමේන්තුව ආරම්භ වන 8 වනදායින් පසු පාර්ලිමේන්තුව රැස්වන පළමු දිනයේ ඊට අදාළ කරුණු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.

නියෝග පිළිගන්නේ නැත්නම් ලංවිම නීතිය ඉදිරියට ගේනවා – ජනක රත්නායක

මානව හිමිකම් ‍කොමිෂන් සභාවේ දී ලංකා විදුලිබල මණ්ඩලයට තර්ජනයන් එල්ල වූ බවට වන චෝදනා මහජන උපයෝගීතා කොමිෂමේ සභාපති ජනක රත්නායක විසින් ප්‍රතික්ෂේප කර සිටියා.

සභාපතිවරයා පවසා සිටියේ උසස් පෙළ දරුවන්ගේ සියලු පහසුකම් රජය විසින් දැරිය යුතු බවත්, ඇමතිවරයාගේ අත්තනෝමතික ක්‍රියාකාලාපය නිසා මෙම තත්ත්වය ඇතිව තිබෙන බවයි.

සඳුදා දිනය වන විට මෙම ගැටලුව යථා තත්ත්වයට ගත යුතු බව පෙන්වා දෙන සභාපතිවරයා අවධාරණය කර සිටියේ ලංකා විදුලිබල මණ්ඩලයට ලබාදී ඇති නියෝග පිළිනොපඳින්නේ නම් විදුලිබල මණ්ඩලය නීතිය ඉදිරියට ගෙන ඒමට අනිවාර්යෙන්ම කටයුතු කරන බවයි.

සිංහල, දෙමළ හා ඉංග්‍රීසි මාධ්‍ය ගුරු පුරප්පාඩු සඳහා තරග විභාගයට අයදුම්පත් කැඳවීම ඇරඹේ

රාජ්‍ය සේවයේ නියුතු උපාධිධාරීන් ගුරු සේවයට බඳවා ගැනීමේ තරග විභාගය සඳහා අයැදුම්පත් කැඳවීම ආරම්භ කර තිබෙනවා. ඒ සඳහා applications.doenets.lk/exams වෙබ් අඩවිය වෙත පිවිස විභාගය සඳහා අයැදුම්පත් යොමු කළ යුතු බවයි අධ්‍යාපන අමාත්‍යංශය පවසා සිටියේ. මේ සඳහා 2023 පෙබරවාරි 10 වනදා දක්වා කාලය ලබාදී තිබෙනවා.

83b3ce1ed7e32becf8cbe01190af1b75

විදුලිබල මණ්ඩලයට හා අමාත්‍යංශයට එරෙහිව මානව හිමිකම් කොමිසම නඩු මග​ට

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ විධානය ක්‍රියාත්මක කිරීම පැහැර හැරීම සහ ඊට අගෞරව වන පරිදි අපහාස කිරීමේ වරදට විදුලිබල මණ්ඩලයට හා අමාත්‍යංශයට එරෙහිව නඩු පැවරීමට එම කොමිසම තීරණය කර තිබෙනවා.

ඒ අනුව ඊට අදාළ සහතික ශ්‍රේෂ්ඨාධිකරණය වෙත අද (27) දින යොමු කළ බවයි ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව සඳහන් කරන්නේ.

විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් එම්. පී. ඩී. යූ. මාපා පතිරණ, ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති එම්. එස්. ඉලංගකෝන් සහ නීතිපතිවරයා මෙහි වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇති බවයි මානව හිමිකම් කොමිෂන් සභාව සඳහන් කරන්නේ.

මානව හිමිකම් කොමිෂන් සභාවේදී ඇතිවූ සිදුවීම ගැන නීති උපදෙස් විමසනවා – කංචන විජේසේකර

උසස් පෙළ විභාග සමයේ අඛණ්ඩව විදුලිය සැපයීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේදී ඇතිවූ සිදුවීම සම්බන්ධයෙන් සිය නිලධාරීන් මේ වනවිටත් නීති උපදෙස් විමසා ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

මානව හිමිකම් කොමිසම සමග පැවැති සාකච්ඡාවට සහභාගී වූ නිලධාරීන් එහිදී සිදුවූ සිද්ධිය සම්බන්ධයෙන් ලිඛිතව කරුණු ඉදිරිපත් කර ඇති බවයි Twitter පණිවිඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා සඳහන් කර තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් තමා ඊයේ ජනාධිපතිවරයාව දැනුවත් කළ බවත් ඉදිරියේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව දැනුවත් කිරීමට පියවර ගන්නා බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ.

උසස් පෙළ විභාග සමයේ අඛණ්ඩව විදුලිය සැපයීම සඳහා පැවති සාකච්ඡාවේදී ඉන්ධන ලබාදීමට අදාළව තම නිලධාරීන්ගේ මතයට ගරු නොකර ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම අත්සන් ලබාගෙන ඇති බවයි විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම්වරයා සඳහන් කරන්නේ.

f5a2ea6ae9a4f6977cda37ad69baa031

10653c0537f4fbccd40ecda18bd97110