ජනාධිපතිවරයා කතාවක් නොපැවැත්වූ පළමු නිදහස් සැමරුම් උළෙල ⁣මෙයයි – වසන්ත මුදලිගේ

ජනාධිපතිවරයා විසින් ජනතාව අමතා කතාවක් නොපැවැත්වූ පළමු නිදහස් සැමරුම ලෙස අද දින පාලකයන් සැමරූ ඊනියා නිදහස් සැමරුම ඉතිහාස ගතවන බව අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ පවසනවා.

රට බංකොළොත් වී ඇති පසුබිමක, ජනාධිපතිවරයාට ජනතාව අමතා කීමට කිසිවක් ඉතිරි වී නොමැති බවද, ජනතාව පැමිණීම වළක්වාළමින් අධිකරණ නියෝග ලබා ගෙන, ජන සහභාගිත්වයෙන් තොරව පාලකයන් විසින් තනිව මෙය සැමරූවේ එබැවින් බව ද ඔහු පෙන්වා දෙනවා.

“නිදහස වෙනුවෙන් අඛණ්ඩ අරගලය” නමින් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය විසින් අද සංවිධානය කර තිබූ උද්ඝෝෂණය අමතමින් ඔහු මේ බව සඳහන් කළා.

වසන්ත මුදලිගේ සහ සිරිධම්ම හිමියන්ට අධිකරණයෙන් නියෝගයක්

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍යබල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහ අන්තර් විශ්වවිද්‍යාල භික්ෂුබල මණ්ඩලයේ කැඳවුම්කරු පූජ්‍ය ගල්වැව සිරිධම්ම හිමියන් නුගේගොඩ මහෙස්ත්‍රාත් අධිකරණය නියෝගයක් නිකුත් කර තිබෙනවා.

මහජන පීඩාවක් ඇතිවන ආකාරයෙන් මාර්ග අවහිර වන ලෙස උද්ඝෝෂණ හා පෙළපාලි පැවැත්වීම තහනම් කරමින් අදාළ නියෝගය නිකුත් කර ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

සිරකරුවන් 622 දෙනෙකු නිදහස් කෙරේ

75 වන ජාතික නිදහස් දිනය නිමිති කොටගෙන අද (04) දිනයේ සිරකරුවන් 622 දෙනෙකු ජනාධිපති සමාව ලබාදී නිදහස් කර තිබෙනවා.

මත්ද්‍රව්‍ය චෝදනා ලැබ පුනරුත්ථාපනය වූ සහ යහපත් කල්ක්‍රියාවන් සහිත සිරකරුවන් පිරිසක් මෙලෙස නිදහස් කොට ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

පාලකයන් අද සමරන්නේ අවසාන ඊනියා නිදහස් උත්සවය – නීතිඥ ශානිකා

මේ රටේ ජනතාව තමන්ගේ සැබෑ නිදහස වෙනුවෙන් නව නිදහස් අරගලයක් ආරම්භ කර ඇති බව අලුත් පියාපත් සංවිධානයේ මෙහෙයුම් කමිටු සාමාජික නීතිඥ ශානිකා සිල්වා පවසනවා.

නිදහස් උත්සවය සැමරීම නොකර සිටියහොත්, ශ්‍රී ලංකාව නිදහස සැමරීමටවත් මුදල් නොමැති ජාතියක් ලෙස ලෝකය සිතාවියැයි පසුගියදා ජනාධිපතිවරයා පැවසුවද, මේ වන විට ජනතාව කුසගින්න සහ රෝහල්වල බෙහෙත් නොමැති කමින් මිය යමින් ඇති පසුබිමක මේ සමරන්නේ ඊනියා නිදහසක් නොවේදැයි ඇය ප්‍රශ්න කර සිටිනවා.

ලෝකය ඉදිරියේ අප හිඟන රටක් බවට පත්වී ඇති මොහොතක, ජනතාවට නිදහස දිනාගැනීම සඳහා පාලකයන් සමඟ සටන් කිරීමට සිදු වී ඇති බවද, එම නව නිදහස් අරගලයේ ප්‍රතිඵල මාර්තු 09 වෙනිදා දැකබලා ගත හැකි වනු බවද ඇය පෙන්වා දෙනවා.

පාලකයන් අද සමරන්නේ අවසාන ඊනියා නිදහස් උත්සවය බවද, මාර්තු 09 න් පසුව ජනතාව සමරනු ඇත්තේ නව නිදහස් අරගලයක ප්‍රතිඵලයක් ලෙස ජනතාව සටන් කර ලබාගත් සැබෑ නිදහසක් බවද ඇය අවධාරණය කරනවා.

75 වන ජාතික නිදහස් දිනය සමරන මේ අවස්ථාව අපට අභියෝගාත්මක කාලයක් – ජනපති

පසුගිය වසර 75 පුරා අප විසින් දිනාගන්නා ලද දෙයට වඩා අහිමි කරගන්නා ලද දේ බොහෝ බවත්, එලෙස අහිමි වූ දේ ළඟා කර ගැනීම සඳහා ලෝක ආර්ථිකයේ සැලකිය යුතු තරම් විශාල පංගුවක් අත්පත් කර ගැනීමට අවශ්‍ය උපාය මාර්ග සැලසුම් කිරීම මේ වසරේ අභිප්‍රාය බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

ආර්ථිකමය වශයෙන් අභියෝගාත්මක මේ කාල වකවානුවේ දී වඩාත් ඉවසුම් සහගතව සහ අධිෂ්ඨානශීලීව ක්‍රියා කරමින් මෙම නව ප්‍රතිසංස්කරණ වැඩ පිළිවෙළට දායක වන ලෙස සියලු ශ්‍රී ලාංකිකයන්ගෙන් තමා ඉල්ලා සිටින බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් පවසන්නේ.

මේ බව සඳහන් කරමින් ජනාධිපතිවරයා නිකුත් කළ ජාතික නිදහස් දින සැමරුම් පණිවිඩය පහතින්.

56b06e37071b1927536c813ea5935022

75 වන ජාතික නිදහස් දිනය අදයි

133 වසරක් බ්‍රිතාන්‍ය රාජ්‍යට යටත් විජිතයක්ව පැවති ශ්‍රි ලංකාවට 1948 වසරේ පෙබරවාරි 04 වනදා නිදහස ලැබී අදට වසර 75 ක් සපිරෙනවා. ඒ වෙනුවෙන් අද දිනයේ “නමෝ නමෝ මාතා – සියවසකට පියවරක්” තේමාව යටතේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ජාතික නිදහස් දින සැමරුම ගාලු මුවදොර පිටියේ දී පැවැත්වීමට නියමිතයි.

විදුලිය කප්පාදු නොකරන බවට ලංවිම දුන් ප්‍රතිඥාව ඉල්ලා අස්කරගනී

විදුලි කප්පාදුවට එරෙහිව පැවති පෙත්සම සලකා බලනතුරු විදුලි කප්පාදුව සිදුනොකරන බවට ලංකා විදුලි බලමණ්ඩලය විසින් ඊයේ (02) දිනයේ ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ප්‍රතිඥාවක් ලබාදී තිබුණා.

මානව හිමිකම් කොමිෂම විසින් ගොනු කළ අදාළ පෙත්සම අද (03) ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ සලකා බැලූ අතර, කොමිෂමේ ඉල්ලීම අධිකරණය විසින් ප්‍රතික්ෂේප කර සිටියා.

ඒ අනුව ඊයේ දිනයේ දී ලබාදුන් ප්‍රතිඥාව, අද දිනයේ ඉල්ලා අස්කරගන්නා බව විදුලිබල මණ්ඩලය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අධිකරණයට දැනුම් දී තිබෙනවා.

උසස් පෙළ සමයේ විදුලි කප්පාදුව වළක්වන ලෙස කළ ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි

අ.පො.ස. උසස් පෙළ විභාගය පැවැත්වෙන දිනවල විදුලි කප්පාදුව සිදු කිරීම වළක්වාලමින් ලංකා විදුලිබල මණ්ඩලය වෙත අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා මානව හිමිකම් කොමිෂන් සභාව ශ්‍රේෂ්ඨාධිකරණය වෙත පෙත්සමක් ගොනුකර තිබුණා.

කෙසේ නමුත් අදාළ පෙත්සම අද (03) ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ විභාගයට ගැනුණු අතර එහිදී මානව හිමිකම් කොමිසමේ ඉල්ලීම ප්‍රතික්ෂේප වී තිබෙනවා.

 

මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සාමාජිකයන් දෙදෙනෙකු ඉල්ලා අස්වෙයි

මහජන උපයෝගීතා කොමිසමේ සාමාජිකයන් ලෙස කටයුතු කළ මොහාන් සමරනායක සහ බී.කේ.යූ.ඒ. වික්‍රමසිංහ යන අය ඉල්ලා අස්වී ඇති බවට වාර්තා වනවා.

ඒ අනුව ඔවුන්‍ගේ ඉල්ලා අස්වීමේ ලිපි මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත භාරදී ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයාගේ අත්තනෝමතික ක්‍රියාකලාපය , ඒකමතිකව තීන්දු නොගැනීම වැනි කාරනා හේතුවෙන් තමා සමාජිකත්වයෙන් ඉල්ලා අස්වන බව මහජන උපයෝගිතා කොමිසමේ සාමාජික මොහාන් සමරනායක සිය ඉල්ලා අස්වීමේ ලිපිය මඟින් වැඩිදුරටත් දැනුම් දී තිබෙනවා.

33435918bcb27bf9bb7a54e85f5f64db

b7a696911923053e413f7b093a3e19aa

නිදහස් දින සැමරුමට බාධා වන ලෙස විරෝධතා පැවැත්වීමට එරෙහිව අධිකරණයෙන් නියෝගයක්

හෙට (04) දිනයේ පැවැත්වීමට නියමිත 75 වන ජාතික නිදහස් දින සැමරුමට එරෙහිව කොළඹ දී පැවැත්වීමට නියමිත විරෝධතා සම්බන්ධයෙන් අධිකරණය විසින් නියෝගයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව හෙට දිනයේ දී කිසිදු ආකාරයකින් ජාතික නිදහස් සැමරුමට බාධා වන අයුරින් විරෝධතා නොපැවැත්විය යුතු බවත්, නිදහස් දින සැමරුම් උත්සවය පැවැත්වෙන ඒ අවට ප්‍රදේශයට විරෝධතාවයක් පැවැත්වීම සඳහා ඇතුළු වීමත් වළක්වාලමින් අධිකරණය විසින් මෙම නියෝගය කර තිබෙනවා.

කොටුව පොලීසිය කළ ඉල්ලීමකට අනුව කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් මෙම නියෝගය ලබාදී තිබෙනවා.