කිඹුලාවල Street Food අලෙවිසැල් ඉවත් කිරීම ගැන අද සාකච්ඡාවක්

තලවතුගොඩ – කිඹුලාවල ප්‍රදේශයේ වීදි ආහාර අලෙවිසැල් ඉවත්කිරීම සම්බන්ධයෙන් අද (21) සාකච්ඡාවක් පැවැත්වෙන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසනවා.

කිඹුලාවල ප්‍රදේශයේ වීදි ආහාර අලෙවිසැල් ඉවත් කිරීමට තීරණයක් ගෙන නොමැති බවත් ඒ සඳහා නිසි ක්‍රමවේදයක් සකස් කිරීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා සඳහන් කළා.

විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා යොමු කළ පැනයකට පිළිතුරු ලබා දෙමින් ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

හෙට ජාතික විරෝධතා දිනයක්

හෙට (22) ජාතික විරෝධතා දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ පවසනවා.

රජයේ අසාධාරණ බදු ප්‍රතිපත්තියට එරෙහිව මෙම විරෝධතා දිනය වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව විසින් ප්‍රකාශයට පත් කර ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව අද විශේෂ සාකච්ඡාවක

වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව අද (21) රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන කාර්යාලයට රැස්වීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව රජයේ අසාධාරණ බදු ප්‍රතිපත්තියට එරෙහිව ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා මෙම හමුව කැඳවා ඇති බවයි සඳහන් වන්නේ.

ඉදිරි සතිය තුළ ගන්නා ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් තීරණ රැසක් අද ගැනීමට නියමිත බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ වැඩිදුරටත් සඳහන් කළේ.

සුනඛ පැටවුන් යටකළ සිදුවීමට අදාලව කාන්තාවක් අත්අඩංගුවට

කුඩා සුනඛ පැටවුන් දෙදෙනෙකු යටකර පළායන මෝටර් රථයක CCTV දර්ශන පෙළක් පසුගිය දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී තිබුණා.

ඒ අනුව සත්ත්ව සංවිධාන කිහිපයක් එක්ව සිදුකළ පැමිණිල්ලකට අනුව මතුරට පොලීසිය විසින් අදාළ මෝටර් රථය පැදවූ කාන්තාව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකාර කාන්තාව වලපනේ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂයක ශරීර ඇප මත මුදාහැර ඇති අතර සැකකාර කාන්තාව අධිකරණයේදී තමන් සිදුකළ වරද පිළිගෙන තිබෙනවා.

නඩුව යළි ජුනි මස 01 වනදා කැඳවීමට නියමිතව තිබෙනවා.

නව ආර්ථික කොමිසමක් පිහිටුවීමට අවධානය

නව ආර්ථික කොමිසමක් පිහිටුවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

ඒ අනුව දේශීය සහ විදේශීය ආයෝජකයින්ට ආයෝජන අවස්ථාවන් සඳහා කඩිනම් අනුමැතිය ලබාදීම මෙම නව ආර්ථික කොමිසම පිහිටුවීමේ අරමුණ බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

හන්තාන ජාතික කුරුළු උයන විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.

මහනුවර නගරය පූර්ණ සංවර්ධිත නගරයක් බවට පත් කිරීමට විශේෂ සැලැස්මක්

ඓතිහාසික මහනුවර නගරය පූර්ණ සංවර්ධිත නගරයක් බවට පත් කිරීම සඳහා විශේෂ සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට අදාළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිවී තිබෙනවා.

ඒ අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අදාළ යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

ස.ජ.බ. විරෝධතාවට ජල සහ කඳුළු ගෑස් ප්‍රහාර

සමගි ජන බලවේගයේ විරෝධතාවට පොලීසිය විසින් ජල සහ කඳුළු ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම කල් දැමීමට ආණ්ඩුව ගන්නා උත්සාහයට එරෙහිව සමගි ජන බලවේගය මෙම විරෝධතාව සංවිධානය කර තිබුණා.

ස.ජ.බ. විරෝධතාව ඇරඹේ

සමගි ජන බලවේගයේ විරෝධතා ව්‍යාපාරයක් හේතුවෙන් පිටකොටුව ඕල්කට් මාවත සම්පූර්ණයෙන්ම වසා දමා ඇති බව පොලීසිය පවසනවා.

වාහන තදබදය මගහරවා ගැනීම සඳහා විකල්ප මාර්ග භාවිත කරන ලෙසයි පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම කල් දැමීමට ආණ්ඩුව ගන්නා උත්සාහයට එරෙහිව සමගි ජන බලවේගය මෙම විරෝධතාව ආරම්භ කර තිබෙනවා.

විරෝධතාවයේ නිරත වූ කැලණිය සරසවියේ සිසුන් 6 ක් අත්අඩංගුවට

නුවර – කොළඹ මාර්ගය අවහිර කරමින් විරෝධතාවයක නිරත වූ කැලණිය විශ්වවිද්‍යාලයේ සිසුන් 6 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අනුව අත්අඩංගුවට ගත් පිරිසට භික්ෂූන් වහන්සේ සිව්නමක් ඇතුළත් බවයි පොලීසිය සඳහන් කළේ.

අත්අඩංගුවට ගෙන සිටින මහා ශිෂ්‍ය සංගමයේ සභාපති හා ශිෂ්‍ය ක්‍රියාකාරී දිල්ෂාන් හර්ෂණ නිදහස් කරන ලෙස ඉල්ලා මෙම විරෝධතාවය පවත්වා තිබෙනවා.

2022 වසරේ තෙවන පාසල් වාරයේ තෙවන අදියර අද ඇර⁣ඹෙයි

2022 වසරේ තෙවන පාසල් වාරයේ තෙවන අදියර අද (20) ආරම්භ වනවා.

අදින් ආරම්භ වන තෙවන අදියර මාර්තු 24 දක්වා ක්‍රියාත්මක වන බවයි අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළේ.

ඒ අනුව 2023 වසරේ පළමු පාසල් වාරය මාර්තු 27 ආරම්භ වීමට නියමිත බවයි සඳහන් වන්නේ.