ආපනශාලාවලින් අසතුටුදායක තත්ත්වයක තියෙන්නේ 18% ක් පමණයි – PHI සංගමය

මෙරට ආපනශාලා අතරින් අසතුටුදායක තත්ත්වයක ඇත්තේ 18% ක පමණ ප්‍රමාණයක් බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමය පවසනවා.

එසේම 27% ක් සාමාන්‍ය තත්ත්වයේත්, 55%ක් ඉතා හොඳ තත්ත්වයේත් ඇති බවයි එම සංගමයේ සභාපති උපුල් රෝහණ සඳහන් කළේ.

මනුෂ්‍ය පරිභෝජනයට නොසුදුසු තත්ත්වයේ ආහාර නිෂ්පාදනය කරන 18% වූ හෝටල් සහ ආපනශාලා සංවර්ධනය කිරීම සඳහා අවශ්‍ය කටයුතු සිදුකරන බවයි ඔහු සඳහන් කළේ.

බස් රථයක් ප්‍රපාතයකට පෙරළී දෙදෙනෙකුට දිවි අහිමිවෙයි

නෝර්ටන්බ්‍රිජ් ප්‍රදේශයේදී බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් දෙදෙනෙකු මියගොස් තවත් 26 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා.

ශ්‍රී පාද වන්දනාවේ ගොස් ආපසු පැමිණෙමින් තිබූ බස් රථය නොටන්බ්‍රිජ් පොලිස් වසමේදී අඩි 100ක පමණ ප්‍රපාතයකට පෙරළීමෙන් මෙම අනතුර සිදුවූ බවයි පොලීසිය සඳහන් කළේ.

බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයන්ට දැනුම්දීමක්

බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය නැවත විවෘත කරන අවස්ථාවේ අධ්‍යයන කටයුතු සඳහා ඇතුළත් වීමේදී ශිෂ්‍යයා, භාරකරු හෝ භාරකාර හිමිනම සමග පැමිණීම අනිවාර්යය බව එම විශ්වවිද්‍යාලයේ උප කුලපති මහාචාර්ය නෙළුවේ සුමනවංශ හිමියන් පවසනවා.

පසුගිය වසරේ දෙසැම්බර් 19 වනදා සිට විශ්වවිද්‍යාලය වසා දැමීමට තීරණය කළ අතර පසුව යළිත් මෙම මස 27 වනදා විශ්වවිද්‍යාලය නැවත විවෘත කිරීමට පාලනාධිකාරිය සැලසුම් කර ඇති බවයි සඳහන් වන්නේ.

ඒ අනුව පළමු වසර සිසුන් පමණක් පළමුවෙන් විශ්වවිද්‍යාලයට අතුළත් කර ගනු ලබන බව බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ උප කුලපති මහාචාර්ය නෙළුවේ සුමනවංශ හිමි වැඩිදුරටත් සඳහන් කළා.

විදුලි බිල වැඩි කිරීමට එරෙහිව ප්‍රදේශ රැසක විරෝධතා

විදුලි බිල වැඩි කිරීමට එරෙහිව ප්‍රදේශ කිහිපයක විරෝධතා පැවැත් වුණා.

ඒ අනුව නුගේගොඩ, පොළොන්නරුව, බලපිටිය, හඟුරන්කෙත සහ ගාල්ල ප්‍රදේශවල මෙම විරෝධතා සංවිධානය කර තිබුණා.

එහිද ජනතාව සඳහන් කළේ, විදුලි බිල වැඩිවීම දරාගත නොහැකි බවත් ඒ සඳහා සාධාරණ විසඳුමක් ලබාදීමට කටයුතු කරන ලෙසයි.

විදුලි බිලට එරෙහිව 22 දැවැන්ත විරෝධතාවක් පැවැත්වීමට සැලසුම්

විදුලි ගාස්තුව ඉහළ දැමීමට එරෙහිව හා තවත් ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් ලබන 22 වනදා දැවැන්ත විරෝධතාවක් පවත්වන බව ලංකා විදුලි බල මණ්ඩයේ ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය පවසනවා.

ඒ අනුව කොළඹ කොටුව දුම්රිය ස්ථානය අසලදී එම විරෝධතාව ආරම්භ කරන බවයි එහි කැඳවුම්කරු රංජන් ජයලාල් සඳහන් කළේ.

පාර්ලිමේන්තුවේ මැති ඇමතිවරුන්ගෙන් බහුතරයක් විදුලි බිල නොගෙවන බවත් ඒවා විසන්ධි කිරීමක්ද අදාළ ආයතනවලින් සිදු නොවන බවත් විදුලිය විසන්ධි කරන්නේ සාමාන්‍ය ජනතාවගේ බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

වී සඳහා රුපියල් 140 ත් 150 ත් අතර මිලක් ලබාදිය යුතුයි – ගොවීන්

නිෂ්පාදන වියදම්වල වැඩිවීම හේතුවෙන් වී කිලෝවක් සඳහා රුපියල් 140ත් 150ත් අතර මිලක් ලබාදෙන ලෙස ගොවීන් රජයෙන් ඉල්ලා සිටිනවා.

එම මිලට වී නොගතහොත් වී අලෙවියෙන් වළකින බවයි ගොවීන් සඳහන් කරන්නේ.

රජය ලබාදෙන මිල ප්‍රමාණවත් නොවන බව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ගොවීන් වැඩිදුරටත් සඳහන් කළා.

මැතිවරණ ක්‍රියාවලියට බාධා කිරීමේ සියලු උත්සාහයන් පරාජය කළ යුතුයි – නීතිඥ සංගමය

සියලුම රාජ්‍ය බලධාරීන් මැතිවරණ කොමිෂන් සභාව සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට බැඳී සිටින බවත් එය ප්‍රතික්ෂේප කිරීම හෝ අපොහොසත් වීම දඬුවම් ලැබිය හැකි අපරාධයක් බවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන්ව පවතින බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීම සඳහා නිසි කොන්දේසි නිර්මාණය කිරීම සහතික කිරීමට ජනාධිපතිවරයාටද බලය පවරා ඇති බවද නීතීඥ සංගමය අවධාරණය කරනවා.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ප්‍රකාශිත සහ පිළිගෙන ඇති මූලික අයිතිවාසිකම් රජයේ සියලුම ආයතන විසින් ගරු කරනු ලැබිය යුතු, සුරක්ෂිත කළ යුතු අතර, ඒවා සීමා කිරීම හෝ ප්‍රතික්ෂේප කිරීම නොකළ යුතු බවත්, මැතිවරණ ක්‍රියාවලියට බාධා කිරීමේ සියලු උත්සාහයන් පරාජය කළ යුතු බවත් එම නිවේදනය හරහා නීතිඥ සංගමය වැඩිදුරටත් පවසා සිටිනවා.

CEYPETCO ඉන්ධවලින් ලාභ ලබන ආකාරය ගැන වාර්තාවක් නිකුත් වෙයි

ශ්‍රී ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව විසින් පෙට්‍රල් 92 ලීටරයකින් රු.16.21ක ලාභයක් ද, ඔටෝ ඩීසල් ලීටරයකින් රු. 3.25ක ලාභයක් ද උපයා ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

එමෙන්ම පෙට්‍රල් 95 ලීටරයකින් උපයා ඇති ලාභය රු.109.44ක් වන අතර සුපර් ඩීසල් ලීටරයකින් උපයා ඇති ලාභය රු.11.64ක් වනවා.

කෙසේ වෙතත් භූමිතෙල් ලීටරයකින් තවමත් රු. 21.49ක පාඩුවකින් සංස්ථාවට අත්වන බවත් අමාත්‍යවරයා පෙන්වා දෙනවා.

මේ සම්බන්ධව වන වාර්තාව පහතින්,

01

මිලියන 1.45ක පිරිසකට රු.60 ට පැවති මාසික විදුලි ගාස්තුව දැන් රු.753 ක් දක්වා වැඩි වෙලා – රොහාන් සෙනෙවිරත්න

මාසිකව විදුලි ඒකක 0 සිට 30 දක්වා භාවිත කරන මිලියන 1.45ක් පාරිභෝගික ජනතාවට පසුගිය අගෝස්තු මාසයට පෙර මාසික සාමාන්‍ය විදුලි ගාස්තුව පැවතියේ රුපියල් 60කට බව ලංකා විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී රොහාන් සෙනෙවිරත්න පවසනවා.

පසුගිය වසරේ අගෝස්තු මිල සංශෝධනයෙන් අනතුරුව ඔවුන්ගේ මාසික සාමාන්‍ය විදුලි ගාස්තුව රු.214ක් දක්වා වැඩි වූ බවද, මෙවර ගාස්තු සංශෝධනය හරහා එය රු.753ක් දක්වා වැඩි වූ බවද සාමාන්‍යාධිකාරීවරයා පෙන්වා දෙනවා.

28 වනදායින් පසුව සා.පෙළ විභාග අයදුම් පත්‍ර කැඳවීම අවසන්

පෙබරවාරි 28 වනදා මධ්‍යම රාත්‍රීයෙන් පසුව අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය සඳහා අයදුම් පත්‍ර කැඳවීම අවසන් බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර පවසනවා. මේ වන විට Online ක්‍රමවේදය ඔස්සේ විභාගය සඳහා අයදුම් පත්‍ර භාර ගැනීම සිදුවෙමින් පවතින බවයි ජනරාල්වරයා පවසන්නේ. 28 වනදායින් පසුව කිසිදු හේතුවක් මත විභාග අයදුම් පත්‍ර කැඳවීමේ කාලසීමාව දීර්ඝ නොකරන බවත් කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් පවසා සිටියා.