සංචාරකයෙක්ට සෙරෙප්පුවෙන් දමා ගැසූ තරුණයා බන්ධනාගාරයට

පසුගියදා දුම්රියකින් ගමන් කරමින් සිටි සංචාරක කාන්තාවකට සෙරප්පුවකින් පහර දීමේ සිදුවීමට සම්බන්ධ බවට චෝදනා ලැබ අත්අඩංගුවට ගත් 28 හැවිරිදි සැකකරු බණ්ඩාරවෙල මහේස්ත්‍රාත්වරයා වෙත ඊයේ (24) දිනයේ ඉදිරිපත් කර තිබෙනවා.

ඒ අනුව අදාළ සැකකරු ලබන මස 08 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙනවා.

තණකොළ කෘෂිකාර්මික බෝගයක් ලෙස නම් කෙරේ

මෙරට සත්ත්ව ආහාර සඳහා අවශ්‍ය තණකොළ වගා කිරීම ව්‍යාපාරික මට්ටමෙන් හෝ පුද්ගලිකව හෝ ප්‍රමාණවත් අයුරින් සිදු නොවන නිසා සත්ත්ව ආහාර සඳහා අවශ්‍ය තණකොළ ප්‍රමාණවත් පරිදි නොලැබීම මෙරට සත්ත්ව නිෂ්පාදන කර්මාන්ත ප්‍රවර්ධනය සඳහා ඉහළ බලපෑමක් එල්ලව ඇති බව සත්ත්ව නිෂ්පාදන කර්මාන්තකරුවන් විසින් අවධාරණය කර තිබෙනවා.

ගොවීන් අලෙවිය සඳහා තණකොළ වගා කරන්නේ නම් ඒවා ඉහළ මිලකට මිල දී ගැනීමට හැකියාව ඇති බවත්, එසේත් නැත්නම් රජය විසින් තෘණ වගාව සඳහා අවශ්‍ය ඉඩම් ලබා දෙන්නේ නම් තම මුදල් ආයෝජනය කර තණකොළ වගා කිරීමට හැකියාවක් ඇති බවත් ඔවුන් පෙන්වා දී තිබෙනවා.

එම නිසා ශ්‍රී ලංකාවේ තණකොළ වගාව කෘෂිකාර්මික බෝගයක් ලෙස වගා කිරීම සඳහා එය කෘෂි බෝගයක් ලෙස නම් කරන ලෙස සත්ව නිෂ්පාදන කර්මාන්තකරුවන් විසින් ඉල්ලීමක් කර ඇති අතර ඒ අනුව මෙම කාරණය සැළකිල්ලට ගනිමින් මෙන්ම දැනට අපේ රටේ සත්ත්ව නිෂ්පාදන කර්මාන්තය ප්‍රවර්ධනයට ගෙන යන වැඩපිළිවෙළ අනුව තණකොළ කෘෂිකාර්මික බෝගයක් ලෙස නම් කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රයේ ඇතිවූ සිදුවීම සම්බන්ධයෙන් පරික්ෂණයක් ඇරඹේ

අධ්‍යාපන අමාත්‍යාංශයේ ඊයේ (23) බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් පැමිණීමත් සමග ඇති වූ කලබලකාරී වාතාවරණය තුළ සිව්වන මහලේ රැස් වී සිටි ගුරුමාරු මණ්ඩල වෘත්තීය සමිති නියෝජිතයන් දෙදෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබුණා.

අදාළ සිද්ධිය පිළිබඳ ව අමාත්‍යාංශ මට්ටමින් කඩිනමින් පරික්ෂණයක් සිදුකර අභ්‍යන්තර ආරක්ෂක ලේකම් වෙත වාර්තාවක් යවා ඒ අනුව ඉදිරි පියවර ගැනීමට තීරණය කර ඇති බව වාර්තා වනවා.

ඒ අද (24) අධ්‍යාපන අමාත්‍යාංශයේ දී අධ්‍යාපන අමාත්‍යවරයා හා අධ්‍යාපන ලේකම්වරයා විසින් වෘත්තීය සමිති නායකයන් මුණ ගැසී සාකච්ඡාවක් පවත්වන ලද අවස්ථාවේ දීය.

ඒ අනුව මාර්තු මස පළමු වෙනි දින වනවිට අමාත්‍යාංශ මට්ටමින් පරීක්ෂණයක් පැවැත්වීමට නියමිතයි.

වසන්ත මුදලිගේ ඇතුළු පිරිස අධිකරණයට ඉදිරිපත් කරයි

ඊයේ (23) දිනයේ අධ්‍යාපන අමාත්‍යංශය පරිශ්‍රයට ඇතුළු වී විරෝධතාවයේ නිරතව සිටියදී අත්අඩංගුවට ගත් වසන්ත මුදලිගේ ඇතුළු පිරිස අද (24) කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබෙනවා.

ඊයේ දිනයේ දී අධ්‍යාපන අමාත්‍යංශ පරිශ්‍රයේ දී පොලීසිය විසින් ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා 48 දෙනෙක් සහ ශිෂ්‍යයන් 14 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබුණා.

නිදහස් උත්සවය අභිමානවත්ව පැවැත්වූවේ රටේ නීතිය හා සාමය ස්ථාවර වී ඇති බව ලෝකයට පණිවිඩයක් ගෙන යාමට – ජනපති

වසර පුරාම ශ්‍රී ලංකාව සංචාරකයන්ගේ ගමනාන්තයක් බවට පත් කරමින් සංචාරක ක්ෂේත්‍රය ප්‍රවර්ධනයට පියවර ගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

වසරකට සංචාරකයින් ලක්ෂ 20 කට වඩා වැඩි ප්‍රමාණයක් ලංකාවට ගෙන්වා ගැනීමේ වැඩපිළිවෙළක් සකස් කිරීම සහ දිනකට ඩොලර් 500ක් වියදම් කළ හැකි සංචාරකයන් ගෙන්වා ගැනීම අපේක්ෂාව බවත් එම සැලසුම් ක්‍රියාවට නැංවිම සඳහා කමිටුවක් පත් කර ඇති අතර, එම කමිටු වාර්තාව ලැබීමත් සමග එය කඩිනමින් ක්‍රියාත්මක කරන බවයි ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ.

එමෙන්ම ශ්‍රී ලංකාව පිළිබඳ වඩා හොඳ ප්‍රචාරණයක් ලෝකයට ගෙන යා යුතු බවද, මෙවර නිදහස් උත්සවය අභිමානවත්ව පැවැත්වුවේ ද රටේ නීතිය සහ සාමය ස්ථාවර වී ඇති බවට වූ පණිවිඩය ලෝකයට ගෙන යාමට බවද ජනාධිපතිවරයා වැඩිදුරටත් පෙන්වා දෙනවා.

d22e6b5ecf3e6c04ea1b9b9c89534a01

ශෂී වීරවංශගෙන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත වෛද්‍ය වාර්තාවක්

අවිධිමත් විදෙස් ගමන් බලපත්‍රයක් ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් හිටපු අමාත්‍ය විමල් වීරවංශගේ බිරිඳ වන ශෂී වීරවංශට එරෙහිව පනවා තිබු නඩුව අද (24) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරියේ කැඳවනු ලැබුවා.

එහිදී ශෂී වීවරංශ වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අධිකරණය වෙත වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත් කරමින් පවසා සිටියේ ඇයට ඇති වී තිබෙන අසනීප තත්ත්වයක් හේතුවෙන් දින 03ක විවේකයක් අවශ්‍ය බවත්, ඒ හේතුවෙන් ඇයට අධිකරණයට පෙනී සිටීමට නොහැකි බවයි.

කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා විසින් නඩු විභාග කිරීම ලබන 28 වනදා දක්වා කල් දැමීමට තීරණය කළා.

ඖෂධ හිඟයට අදාළ පෙත්සම විමර්ශනය කිරීමට මානව හිමිකම් කොමිසම තීරණය කරයි

වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය විසින් රටේ පවතින ඖෂධ හිඟය සහ ඖෂධ මිල ඉහළ යාම නිසා ජනතාවගේ මානව අයිතිවාසිකම් කඩවීමක් සිදුව ඇති බවට මානව හිමිකම් කොමිසමේ ගොනුකළ පෙත්සම විමර්ශනය කිරීමට එම කොමිසම තීරණය කර ඇති බව වාර්තා වනවා.

අදාළ පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස සෞඛ්‍ය ලේකම්වරයා, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සහ ඖෂධ නියාමන අධිකාරිය නම් කොට ඇති අතර ඊට අදාළව නොතීසි නිකුත් කර ඇති බවත් වැඩිදුරටත් වාර්තා වනවා.

අධිකරණ ක්‍රියාවලිය පිළිබඳ අවධානය යොමුකර අපේ මංගල රැළිය කල් දැම්මා – එස්.එම්. චන්ද්‍රසේන

2023 පළාත් පාලන මැතිවරණය‍ වෙනුවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අනුරාධපුරයේ සල්ගාදු පිටියේ දී පැවැත්වීමට තිබූ මංගල ජන රැළිය කල් දැමීමට තීරණය කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. චන්ද්‍රසේන පවසනවා.

ඔහු පවසා සිටියේ මැතිවරණය පිළිබඳව නඩු තීන්දුව පිළිබඳව සලකා බලා පක්ෂයේ නායකයන් එක්ව අද (24) දිනයේ පැවැත්වීමට තිබූ රැළිය මාර්තු මාසයේ මැද දිනයක් දක්වා කල් දැමීමට තීරණය කළ බවයි.

එම රැළියේ දී පොදුජන පෙරමුණට “රැස්වීමක් තියන්න බැහැ, ගමට යන්න බැහැ, පක්ෂය වැටිලා” යන ප්‍රකාශයන් කරන අයට දැවැන්ත රැළියක් පවත්වා පිළිතුරු ලබාදෙන බවද මන්ත්‍රීවරයා පවසා සිටියා.

අධ්‍යාපන අමාත්‍යංශයේ විරෝධතාවය අතරතුර ගුරු මාරු මණ්ඩලයේ නියෝජිතයන් දෙදෙනෙකුත් අත්අඩංගුවට

බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලාගේ විරෝධතාවය අතරතුර ජාතික පාසල් ගුරු මාරු මණ්ඩලයේ නියෝජිතයන් දෙදෙනෙකු ද අත්අඩංගුවට ගෙන ඇති බව ලංකා ගුරු සංගමය පවසනවා. ඒ අනුව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් සඳහන් කළේ, මේ වන විට ඔවුන් පොලිස් ඇප මත නිදහස් කිරීමට කටයුතු කර ඇති බවයි. මේ අතර අත්අඩංගුවට ගත් භික්ෂූන් වහන්සේ ඇතුළු පිරිසක් මිරිහාන පොලීසියට රැගෙන ගොස් ඇති අතර අත්අඩංගුවට පත් ගුරුවරුන් දෙදෙනා ඇතුළු සෙසු පිරිස මේ වනවිට තලංගම පොලීසිය භාරයේ පසු වන බවයි නීතිඥ නුවන් බෝපගේ සඳහන් කළේ.

වසන්ත මුදලිගේ පොලිස් අත්අඩංගුවට

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අධ්‍යාපන අමාත්‍යාංශය තුළදී භික්ෂු බලමණ්ඩලය සංවිධානය කළ විරෝධතාවයක් අතරතුරදී ඔහු සහ තවත් භික්ෂුන් වහන්සේලා කිහිප නමක් මෙලෙස පොලිස් භාරයට ගෙන ඇති බවයි සඳහන් වන්නේ.

හෝමාගම බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය යළිත් සියලු සිසුන්ට විවෘත කරන ලෙස බල කරමින් ඔවුන් මෙම විරෝධතාවේ නිරත වූ බවයි සඳහන් වන්නේ.