විදුලි සේවකයින් අද ලෙඩ නිවාඩු දැමීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක

විදුලි සේවකයින් අද (27) ලෙඩ නිවාඩු දැමීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වන බව වාර්තා වෙනවා.

ලංකා විදුලිබල මණ්ඩල පොදු සේවක සංගමයේ සභාපති මාලක වික්‍රමසිංහ සඳහන් කළේ, අසාධාරණ බදු ප්‍රතිපත්තිය, විදුලි බිල වැඩි කිරීම ඇතුළු කරුණුවලට එරෙහිව මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක කරන බවයි.

ඒ අනුව අද දිනයේ ලංකාව පුරා විදුලි සේවකයන් කොළඹට පැමිණ විරෝධතාවයක් පැවැත්වීමට සැලසුම් කර ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

කොහුවල මංසන්ධියේ රථ වාහන ගමනාගමනය සීමා කිරීම සම්බන්ධයෙන් දැනුම්දීමක්

කොහුවල මංසන්ධියේ ඉදිවන ගුවන් පාලමෙහි ඉදිකිරීම් කටයුතු පෙබරවාරි 22 වන දින සිට ආරම්භ කර මැයි මස 31 වනදා දක්වා සිදුකිරීම නියමිත බව මාර්ග සංවර්ධන අධිකාරීය මගින් දැනුම් දී ඇති බව පොලීසිය පවසනවා.

ඒ අනුව එම ඉදිකිරීම් කාලය තුළ කොහුවල හන්දිය හරහා ගමන් කිරීමට මගී බස්රථ හා සැහැල්ලු වාහන සඳහා හැකියාව ඇති නමුත් ගුවන් පාලමේ ඉදිකිරිම් සිදුවන බැවින් අධික මාර්ග තදබදය හේතුවෙන් සිදුවන අපහසුතාවය අවම කර ගැනීම සඳහා හැකිතාක් විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලීසිය රියදුරන්ගෙන් හා මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

මාර්ග සංවර්ධන අධිකාරිය විසින් මහජනතාව දැනුවත් කිරීම සඳහා විකල්ප මාර්ග සඳහන් දැනුවත් කිරීමේ පුවරු විලියම් මංසන්ධිය – ගාලු පාර, නුගේගොඩ මංසන්ධිය, කිරුළපන මංසන්ධිය, බොරලැස්ගමුව මංසන්ධිය, පැපිලියාන මංසන්ධි⁣ය, පාමංකඩ මංසන්ධිය හා අධිවේගී මාර්ගය-කහතුඩුව පිවිසුම යන ස්ථානයන් හි සවිකර ඇති බවයි පොලීසිය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්,

7a9ab9b1f2a8347ffa54b37345a0113e

ජාතික ජන බලවේගයේ විරෝධතාවයට ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක්

ජාතික ජන බලවේගයේ විරෝධතාවයට මීට සුළු වේලාවකට පෙර පොලීසියෙන් ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

මැතිවරණය කල් දැමීමට එරෙහිවයි ජාතික ජන බලවේගය විසින් මෙම විරෝධතාව සංවිධානය කර තිබුනේ.

ජාතික ජන බලවේගයේ විරෝධතාව ඇරඹේ

මැතිවරණය කල් දැමීමට එරෙහිව ජාතික ජන බලවේගය විසින් සංවිධානය කරන මහජන විරෝධතාව මේ වන විට ආරම්භ කර තිබෙනවා.

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක සහ එම පක්ෂයේ නායකයින් රැසකගේ ප්‍රධානත්වයෙන් කොළඹ නෙළුම් පොකුණ පරිශ්‍රය අසලින් මෙම විරෝධතාව ආරම්භවී ඇති බවයි වාර්තා වන්නේ.

මාළිගාකන්ද අධිකරණයෙන් ද අනුර දිසානායක ඇතුළු 26කට තහනම් නියෝගයක්

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක ඇතුළු පිරිසකට කොළඹ ප්‍රධාන රෝහල් චතුරශ්‍ර පරිශ්‍රයේ උද්ඝෝෂණ සහ පෙළපාලි පැවැත්වීම වළක්වමින්, මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය නියෝගයක් නිකුත් කර තිබෙනවා.

මරදාන පොලිස් ස්ථානයෙන් සිදුකළ ඉල්ලීමක් අනුව මෙම නියෝගය නිකුත් කර ඇති බවයි සඳහන් වන්නේ.

විරෝධතා හේතුවෙන් රෝගීන් සහ එම ප්‍රදේශ භාවිතා කරන ජනතාව පීඩාවට පත්විය හැකි යැයි මරදාන පොලිස් ස්ථානාධිපතිවරයා පෙන්වාදී ඇති බව වාර්තා වෙනවා.

අනුර දිසානායක ඇතුළු 26 දෙනෙකුට අද ප්‍රදේශ කිහිපයකට ඇතුළුවීම වළක්වාලමින් අධිකරණ නියෝගයක්

ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක ඇතුළු පුද්ගලයින් 26 දෙනෙකුට අද (26) දිනය තුළ කොළඹ ප්‍රදේශයේ මාර්ග කිහිපයකට ඇතුළුවීම වළක්වාලමින් අධිකරණ නියෝගයක් ලබාදී තිබෙනවා.

ඒ අනුව අද පස්වරු 1.00 සිට රාත්‍රී 8.00 දක්වා කාලය තුළ දී කොටුව පොලිස් වසමට අදාළ මාර්ගවල අවහිරතාවක් සහ මාර්ගවල ගමන් ගන්නා වාහනවලට බාධා කිරීමක් ඇති නොකරන ලෙසයි, කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය මඟින් මෙම අධිකරණ අඥාව නිකුත් කර ඇත්තේ.

ජනාධිපතිවරයා සහ ආණ්ඩුව විසින් මැතිවරණය කල් දැමීමේ කුමන්ත්‍රණයට එරෙහිව අද ජාතික ජනබලවේගය විසින් කොළඹදී මහජන විරෝධතාවක් සංවිධානය කර ඇති අතර එය අද දහවල් 2.30 ට විහාර මහාදේවී උද්‍යානය අසලින් ආරම්භ වීමට නියමිත බව ඔවුන් නිවේදනය කර තිබුනා.

කටුනායක ගුවන් තොටුපළ පොලීසියේ OIC ඇතුළු නිලධාරීන් 4ක් අත්අඩංගුවට

කටුනායක ගුවන් ගුවන් තොටුපොළේ දී අත්අඩංගුවට ගත් සැකකරුවෙකු පළායාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අනුව කටුනායක ගුවන් තොටුපල පොලීසියේ ස්ථානාධිපති, සැරයන්වරයෙකු සහ පොලිස් කොස්තාපල්වරු දෙදෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී, නීතිඥ නිහාල් තල්දූව සඳහන් කළේ.

සැකකරු ව්‍යාජ නමකින් පෙනී සිටිමින් ඩුබායි බලා යාමට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි අවස්ථාවේ අත්අඩංගුවට ගෙන තිබූ අතර එහිදී ඔහු පොලිස් නිලධාරීන්ගෙන් මිදී පළා ගොස් තිබුණා.

ජනපති සමඟ සාකච්ඡාවෙන් විසඳුමක් ලැබුණේ නැහැ, වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ඉදිරියට ගෙනියනවා – වෘත්තීය සමිති එකමුතුව

ජනාධිපතිවරයා සමඟ අද (25) පැවති සාකච්ඡාවේ දී අපේක්ෂා කර අයුරින් විසදුමක් නොලැබුණු බව වෘත්තීයවේදීන්ගේ වෘත්තිය සමිති එකමුතුව පවසනවා.

බදු සංශෝධනය පිළිබඳව පොදු මතය එම සාකච්ඡාවේදී ජනාධිපතිවරයාට ප්‍රකාශ කළ නමුත්, මාර්තු 01 වනදායින් පසුව ආරම්භ කරන විරෝධතා මාලාව අත්හැරීම සඳහා අවශ්‍ය කරන ධනාත්මක ප්‍රතිචාරයක් මෙම සාකච්ඡාවේ දී නොලැබුණු බවද, ඒ හේතුවෙන් එම විරෝධතා ඉදිරියටම ගෙන යන බවද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ පැවසුවා.

කෙසේ නමුත් මෙම සාකච්ඡාව ඉදිරියට ගෙන යාමට බලාපොරොත්තු වන බවද, බදු සංශෝධනය වෘත්තී‍ය‍වේදීන්ට දරාගැනීමට හැකිවන මට්ටමකට ගෙන එනතෙක් සටන අත්නොහරින බවද ඔහු වැඩිදුරටත් පැවසුවා.

මුරුතලාව නෙල්ලිගල මාර්ගයේ දී බස් රථයක් ‍ප්‍රපාතයකට පෙර‍ළෙයි

වන්දනාකරුවන් පිරිසක් රැගත් බස් රථයක් මුරුතලාව නෙල්ලිගල මාර්ගයේ ස්ථානයකදී ප්‍රපාතයකට පෙරළි යාමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

බස් රථය අනතුරට පත්වන අවස්ථාවේ එහි පුද්ගලයින් 48 දෙනෙකු පමණ සිට ඇති බවයි වාර්තා වන්නේ.

තුවාල ලැබූ 25 දෙනෙකු මේ වන විට පේරාදෙණිය සහ මහනුවර රෝහල්වලට ඇතුළත් කර ඇති බවත් වැඩිදුරටත් වාර්තා වනවා.

තුර්කි – සිරියානු භූකම්පනයෙන් මිය ගිය සංඛ්‍යාව 50,000 ඉක්මවයි

පසුගිය පෙබරවාරි 06 වනදා තුර්කිය සහ සිරියාවේ ඇතිවූ දැවැන්ත භූ කම්පනය හේතුවෙන් මිය ගිය ගණන 50,000 ඉක්මවා ගොස් තිබෙනවා.

ඊයේ (24) දිනය වන විට තුර්කියේ මිය ගිය සංඛ්‍යාව 44,218 දක්වා ඉහළ ගොස් ඇති බවට එරට ආපදා සහ හදිසි කළමනාකරණ අධිකාරිය (AFAD) පවසා සිටි අතර සිරියාවේ මිය ගිය සංඛ්‍යාව 5,914ක් ලෙස වාර්තා වී තිබුණා.