අධ්‍යාපන අමාත්‍යංශයේදී එල්ලවූ ප්‍රහාරය ගැන මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්

අධ්‍යාපන අමාත්‍යාංශයට පැමිණි ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා ඇතුලු පිරිසට පොලීසිය හා කැරලි මර්දන ඒකකය විසින් පහර දීමට එරෙහිව අද (28) ‍ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

ඒ අනුව අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ඇතුළු පිරිසක් විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇති බවයි සඳහන් වන්නේ.

එහිදී මාධ්‍ය වෙත අදහස් දැක්වූ අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සඳහන් කළේ, නීතිය අතට ගැනීම සඳහා පොලීසියට බලයක් නොමැති බවයි.

අනාගත බලශක්ති අවශ්‍යතාවය සපුරා ගැනීමට න්‍යෂ්ටික බලය යොදා ගැනීමට අවධානය

අනාගත බලශක්ති අවශ්‍යතාවය සපුරාලීම සඳහා න්‍යෂ්ටික බලශක්තිය විකල්පයක් ලෙස සලකා බැලීමට මීට පෙර ලැබුනු අමාත්‍ය මණ්ඩල අනුමැතිය අනුව, න්‍යෂ්ටික බලශක්තිය භාවිත කරමින් විදුලිය ජනනය කිරීමට කරුණු අධ්‍යයනය කිරීම සඳහා මෙහෙයුම් කමිටුවක් හා ක්‍රියාකාරී කණ්ඩායම් 9 ක් පත්කළ බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා.

ජාත්‍යන්තර පරමාණු බලශක්ති නියෝජිතායතනය මගින් ලබාදී ඇති නිර්දේශ අනුව න්‍යෂ්ටික බලයෙන් විදුලිය නිපදවීමේ ව්‍යාපෘතිය ඉදිරියට කර ගෙන යෑමට ශ්‍රී ලංකාවට හැකියාව පවතින බවයි අමාත්‍ය මණ්ඩල තීරණ වල දැක්වෙන්නේ.

ඒ අනුව ඉදිරි පියවර ගැනීම සඳහා න්‍යෂ්ටික හානි සඳහා සිවිල් වගකීම් පිළිබඳ වියානා සම්මුතියේ සහ න්‍යෂ්ටික හානි සඳහා පරිපූරක වන්දි සම්මුතියේ පාර්ශවකරුවෙකු වීම වඩා යෝග්‍ය බවට හඳුනාගෙන ඇති අතර, එම සම්මුතීන්ගේ පාර්ශවකරුවෙකු වීම සඳහා විදේශ කටයුතු අමාත්‍යවරයා හා විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබෙනවා.

7e7a07269000fac744746b3d989eab6d

රේගුවේ රඳවාගෙන ඇති භාණ්ඩ ගැන පවත්වන පරීක්ෂණ කඩිනම් කිරීමට පියවර

ශ්‍රී ලංකා රේගුව විසින් රඳවා ගෙන තිබෙන භාණ්ඩවලට අදාළව පවත්වනු ලබන පරීක්ෂණ හා විමර්ශන කඩිනම් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල කමිටුවක් පත් කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා.

අදාළ ක්‍රියාවලීන් නිම කිරීම සඳහා දීර්ඝ කාලයක් ගත වන බැවින් එකී භාණ්ඩවලට හානි වීම හා විනාශවීම ඇතුළු බොහෝ ආර්ථික පාඩු සිදුවන බැවින් මෙම තීරණය ගෙන ඇති බවයි අදාළ කැබිනට් තීරණයේ දැක්වෙන්නේ.

ඒ අනුව දැනට රේගුව විසින් අනුගමනය කරනු ලබන ක්‍රියාදාමයන් කඩිනම් කරන ලෙස ද ජනාධිපතිවරයා දැනුම්දී ඇති අතර ඊට අදාළ කරුණු අධ්‍යයනය කර, අවශ්‍ය වන්නේ නම් රේගු ආඥාපනතට සිදුකළ යුතු සංශෝධන හඳුනාගෙන ඒ පිළිබඳ අමාත්‍ය මණ්ඩලය වෙත නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා අදාළ කමිටුව පත්කර තිබෙනවා.

අදාළ කමිටු සමාජිකයන් පහතින්,

* අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා
* අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ
* රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය
* රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම
* රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ

03e0c005422694a319647c80c9d9146f

වර්ජනයට සහාය දීම ගැන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ තීරණය අද

හෙට (01) දිනයේ පැවැත්වෙන වැඩවර්ජනය සඳහා සහාය දැක්වීම සම්බන්ධයෙන් අද (28) දිනයේ අවසන් තීරණයක් ගන්නා බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

ඒ අනුව එම තීරණය ගැනීම සඳහා සිය සංගමයේ හදිසි මධ්‍යම කාරක සභා රැස්වීමක් අද පෙරවරුවේ කැඳවා ඇති බවයි එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක චමිල් විජේසිංහ සඳහන් කළේ.

රජයේ බදු ප්‍රතිපත්තියට විරෝධය පළකිරීම ඇතුළු කරුණු කිහිපයක් මුල් කරගනිමින් හෙට දිනයේ දැවැන්ත වැඩවර්ජනයක් ක්‍රියාත්මක කිරීමට වරාය, තෙල්, විදුලි, බැංකු ඇතුළු ක්ෂේත්‍ර රැසක වෘත්තීය සංගම් තීරණය කර තිබෙනවා.

සාමාන්‍ය පෙළ විභාගයේ අයදුම්පත් භාර ගැනීම අදින් අවසන් වෙයි

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ අයදුම්පත් භාර ගැනීම අදින් අවසන් වනවා.

ඒ අනුව මෙවර අයදුම්පත් භාර ගැනීම Online ක්‍රමය හරහා පමණක් සිදුකළ බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

කිසිඳු හේතුවක් මත අයදුම්පත් භාරගන්නා දිනය දීර්ඝ නොකරන බවයි විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.

හෙට දැවැන්ත එක්දින වැඩවර්ජනයක්

රජයේ බදු ප්‍රතිපත්තියට විරෝධය පළ කිරීම ඇතුළු කරුණු කිහිපයක් මුල්කර ගනිමින් හෙට (01) දැවැන්ත එක්දින වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට වරාය, තෙල්, විදුලි, බැංකු ඇතුළු ක්ෂේත්‍ර රැසක වෘත්තීය සංගම් තීරණය කර තිබෙනවා.

අත්‍යවශ්‍ය සේවා පවත්වා ගැනීමට නොහැකිවීම තුළ මහජනයාට ඇතිවන දුෂ්කරතාවල වගකීම ආණ්ඩුව භාරගත යුතු බවයි වෘත්තියවේදීන්ගේ වෘත්තිය සමිති එකමුතුව පවසන්නේ.

එම එක්දින වැඩ වර්ජනයෙන් පසු අසාධාරණ බදු ප්‍රතිපත්තිය ඉවත් කිරීමට කටයුතු නොකරන්නේ නම් අඛණ්ඩ වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කරන බවයි එම වෘත්තීය සමිති පෙන්වා දෙන්නේ.

ඉසුරුපායට ඇතුළුවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පිරිසට ඇප

ඉසුරුපායට බලහත්කාරයෙන් ඇතුළුවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් වසන්ත මුදලිගේ ඇතුළු 62 කට අධිකරණයෙන් ඇප ලබාදීමට නියෝග කර තිබෙනවා.

ඒ අනුව එම පිරිස අද (27) කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබාදී ඇති බවයි සඳහන් වන්නේ.

හෝමාගම – පිටිපන බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය අධ්‍යයනයේ කටයුතු සියලුම සිසුන් සඳහා එකවර විවෘත කරන ලෙස බල කරමින් පසුගියදා ඔවුන් අධ්‍යාපන අමාත්‍යංශය තුළ විරෝධතාවක නිරතවී තිබුණා.

ජල හා කඳුළු ගෑස් ප්‍රහාරය ගැන මානව හිමිකම් කොමිසමෙන් පරීක්ෂණයක්

ජාතික ජන බලවේගය ඊයේ (26) දින ජාතික ජන බලවේගයේ විරෝධතා පා ගමනට ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ලකිරීමෙන් පුද්ගලයින් 28 දෙනෙකු තුවාල ලැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම කොමිසම පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව පැය 24ක් ඇතුළත අදාළ සිදුවීම සම්බන්ධයෙන් පූර්ණ වාර්තාවක් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම වෙත ලබාදෙන ලෙස එම කොමිසම පොලිස්පතිවරයාට නියෝග කර ඇති බවයි සඳහන් වන්නේ.

පා ගමන කොම්පඤ්ඤවීදිය පොලිස් බල ප්‍රදේශයේ යූනියන් පෙදෙස ප්‍රදේශයේ ක්‍රියාත්මක වෙමින් තිබියදී එම ප්‍රදේශය විරෝධතා පා ගමන් පැවැත්වීම තහනම් කරමින් අධිකරණ නියෝග නිකුත් කර නොතිබූ තත්ත්වයක් තුළ මෙලෙස ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ලකිරීම සමබන්ධයෙන් මානව හිමිකම් කොමිසමේ අවධානය යොමුව ඇති බවයි එම කොමිසම වැඩිදුරටත් සඳහන් කරන්නේ.

ඊයේ විරෝධතාවය අතරතුර තුවාල ලබා රෝහල්ගත කළ NPP ප්‍රාදේශීය සභා අපේක්ෂකයෙකු ජීවිතක්ෂයට

කොළඹ ඊයේ (26) පැවති ජාතික ජන බලවේගයේ විරෝධතාවයට එක්වූ නිවිතිගල අපේක්ෂකයෙකු කොළඹ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඇසට සිදුවූ තුවාලයක් හේතුවෙන් ඔහුව දැඩි සත්කාර ඒකකයට ඇතුළුකර ප්‍රතිකාර ලබමින් සිට ඇති බවයි වාර්තා වන්නේ. නිමල් අමරසිරි නැමැති ඔහු රත්නපුර දිස්ත්‍රික්කයේ නිවිතිගල ප්‍රාදේශීය සභාවේ ජාතික ජන බලවේගයේ අපේක්ෂකයෙක් ලෙස කටයුතු කළ බවද, ඔහුගේ මරණයේ වගකීම ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව බාරගත යුතු බවද ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා අවධාරණය කරනවා.

QR ක්‍රමය අප්‍රේල් 10 වැනිදා සිට අත්හිටුවීමට තීරණයක් ගෙන නැහැ – කංචන

ජාතික ඉන්ධන බලපත්‍ර QR ක්‍රමය අප්‍රේල් 10 වැනිදා සිට අත්හිටුවීමට තීරණයක් ගෙන නොමැති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

දැනට වෙන් කර ඇති කෝටාවන් ක්‍රමයෙන් වැඩි කිරීමට ජාතික ඉන්ධන බලපත්‍ර QR ක්‍රමය විශ්ලේෂණය කරමින් පවතින බවයි Twitter පණිවිඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා සඳහන් කරන්නේ.

ඉදිරි මාස කිහිපය තුළ මුදල් අමාත්‍යාංශය සහ අනෙකුත් පාර්ශවකරුවන් සමඟ සාකච්ඡා කර ජාතික ඉන්ධන බලපත්‍ර QR ක්‍රමය සම්බන්ධයෙන් තීරණ ගන්නා බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ.

6a9da20770e81c05266a0fb0f33eb805