44 හැවිරිදි Chris Hipkins නවසීලන්තයේ නව අගමැති ලෙස දිවුරුම් දෙයි

නවසීලන්තයේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස Chris Hipkins දිවුරුම් දී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ අනුව එරට හිටපු අග්‍රාමාත්‍ය ජසින්ඩා ආර්ඩර්න් ඉල්ලා අස්වීමෙන් පසුව නව අග්‍රමාත්‍යවරයා ලෙස 44 හැවිරිදි Chris Hipkins මෙලෙස දිවුරුම්දී ඇති බවයි සඳහන් වන්නේ.

ඔහු මීට පෙර අධ්‍යාපන අමාත්‍යවරයෙකු සහ පොලිස් අමාත්‍යවරයෙකු ලෙසද කටයුතු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කරන්නේ.

විදුලි බිල වැඩි කිරීමේ අමාත්‍ය මණ්ඩල නියෝගයට එරෙහිව පෙත්සමක්

ලංකා විදුලිබල මණ්ඩලය හා එක්ව විදුලි ගාස්තු වැඩි කිරීමට පියවර ගන්නා ලෙස අමාත්‍ය මණ්ඩලය විසින් මහජන උපයෝගීතා කොමිසම වෙත කර ඇති නියෝග බලරහිත කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණයට රීට් පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා.

විදුලි පාරිභෝගික සංගමය සහ පරිසර යුක්ති කේන්ද්‍රය ඇතුළු පිරිසක් විසින් පෙත්සම ඉදිරිපත් කර ඇති අතර එහි වගඋත්තරකරුවන් ලෙස ලංකා විදුලිබල මණ්ඩලය, විදුලිබල අමාත්‍යවරයා, මහජන උපයෝගීතා කොමිසම, නීතිපතිවරයා ඇතුළු පිරිසක් නම් කර තිබෙනවා.

විදුලි ගාස්තු වැඩි කිරීමට අමාත්‍ය මණ්ඩලය විසින් මහජන උපයෝගිතා කොමිසමට නියම කර ඇති බවත් මහජන උපයෝගීතා කොමිසම යනු ස්වාධීන කොමිසමක් හෙයින් මෙවැනි නියෝග නිකුත් කිරීමට අමාත්‍ය මණ්ඩලයට බලයක් නොමැති බවයි පෙත්සම්කරුවන් පෙන්වා දෙන්නේ.

අජිත් ප්‍රසන්නට බරපතළ වැඩ සහිතව වසර 4 ක සිර දඬුවමක්

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වැරදිකරු වූ විශ්‍රාමික යුද හමුදා මේජර් නීතිඥ අජිත් ප්‍රසන්නට ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලේ බහුතර විනිසුරුවරුන් විසින් බරපතළ වැඩ සහිත වසර හතරක සිර දඬුවම් නියම කර තිබෙනවා.

ඊට අමතරව ඔහුට රුපියල් ලක්ෂ 3 ක දඩයක් ද එම දඩ මුදල ගෙවීම පැහැර හරිනු ලැබුවහොත් අමතරව තවත් මාස හයක සිර දඬුවම්ද නියම කර ඇති බවයි සඳහන් වන්නේ.

ගුවන් ගමන් සංතරණ ගාස්තු සංශෝධනයට කැබිනට් අනුමැතිය

කොළඹ ගුවන් ගමන් තොරතුරු කලාපයට ඉහළින් පියාසර කරන ජාත්‍යන්තර ගුවන් ගමන් සඳහා අය කරන ගුවන් ගමන් සංතරණ ගාස්තු සංශෝධනයට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

සීමාසහිත ගුවන්තොටුපොළ සහ ගුවන් සේවා පෞද්ගලික සමාගම විසින් මෙම ගාස්තු 1985 වර්ෂයෙන් පසුව සංශෝධනය කර නොමැති බවයි අදාළ කැබිනට් තීරණයේ දැක්වෙන්නේ.

ඒ අනුව දැනට අයකරනු ලබන ගාස්තු පෙබරවාරි මස 1 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කිරීමට මෙලෙස අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇති බවයි සඳහන් වන්නේ.

අදාළ කැබිනට් තීරණය පහතින්,

00f2e79203644b3f0e7e1851ef77dbef

විදුලි ගාස්තු සංශෝධනය ගැන නීතිමය මතය විමසීම​ට PUCSL තීරණය කරයි

2009 විදුලිබල පනතට අනුව ලංකා විදුලිබල මණ්ඩලය ඉදිරිපත් කර ඇති ගාස්තු සංශෝධන යෝජනාව කඩිනම් කිරීමට මහජන උපයෝගිතා කොමිසම තීරණය කර තිබෙනවා. එසේම අතුරු ගාස්තු සංශෝධනයක් පිළිබඳ කැබිනට් ඉල්ලීම අතීතයට බලපාන අයුරින් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් නීතිමය මතය විමසීමට කොමිසම තීරණය කර ඇති බවයි සඳහන් වන්නේ.

නානුඔය අනතුරෙන් විපතට පත් පුද්ගලයින්ට වන්දි

නානුඔය අනතුරෙන් විපතට පත් පුද්ගලයින්ගේ ඥාතීන් වෙත වන්දි ලබාදීමට කැබිනට් මණ්ඩලයේ එකඟතාව හිමිව තිබෙනවා.

ඒ අනුව ජනාධිපතිවරයාගේ උපදෙස් මත ඊයේ (23) පැවති කැබිනට් හමුවේදී මෙම තීරණය ගෙන ඇති බවයි සඳහන් වන්නේ.

නානුඔය ප්‍රදේශයේ දී අධික වේගයෙන් ධාවනය වූ බස් රථයක්, වෑන් රථයක හා ත්‍රීරෝද රථයක ගැටී පසුගිය 20 වනදා රාත්‍රියේ සිදුවූ අනතුරින් පුද්ගලයින් 7 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තවත් පිරිසක් තුවාල ලබා තිබුණා.

සංජීව ධම්මික සහ ආනන්ද පාලිත අත්අඩංගුවට

විදුලි පාරිභෝගිකයන්ගේ සංගමයේ ලේකම් සංජීව ධම්මික සහ සමගි ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු ආනන්ද පාලිත කොල්ලුපිටිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පසුගියදා මහජන උපයෝගීතා කොමිසමේ සාමාජිකයින් දෙදෙනකුට තර්ජනය කිරීම සහ සාපරාධී බලහත්කාරය පෑම යන චෝදනා මත ඔවුන්ව අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

පසුගියදා මහජන උපයෝගීතා කොමිසමේ සාමාජිකයන් දෙදෙනෙක් විසින් විදුලි බිල වැඩි කිරීමට පක්ෂව කරුණු දැක්වීම හේතුවෙන් සංජීව ධම්මික සහ ආනන්ද පාලිත සිය විරෝධය පළ කරමින් කටයුතු කර තිබුණා.

මහා භාණ්ඩාගාරයට රුපියල් බිලියන තුනක්

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් මහා භාණ්ඩාගාරයට රුපියල් බිලියන 03ක් ලබාදී තිබෙනවා.

ඒ අනුව ඊට අදාළ චෙක්පත කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර විසින් අද (23) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත භාරදී ඇති බවයි සඳහන් වන්නේ.

රටේ පවතින ආර්ථික තත්ත්වය සැලකිල්ලට ගෙන අත්‍යාවශ්‍ය ඖෂධ මිලදී ගැනීම, රාජ්‍ය සේවක වැටුප් ගෙවීම, වී මිලදී ගැනීම ඇතුළු අත්‍යාවශ්‍ය කටයුතු වෙනුවෙන් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පසුගිය වසරේදී ලැබූ මෙහෙයුම් අතිරික්තයෙන් මෙම මුදල ලබා ඇති බවයි සඳහන් වන්නේ.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්,

5f7dd75a488d72f852cfcf3f8d7997a0

වරාය සේවකයන් බදුවලට එරෙහිව දැඩි විරෝධතාවක

වරාය වෘත්තීය සමිති ඒකාබද්ධ සන්ධානය සංවිධානය අද (23) කෑම පැයේදී කොළඹ වරාය ප්‍රධාන පිවිසුම අසලදී දැවැන්ත විරෝධතාවයක් පවත්වා තිබෙනවා. රජයේ නව බදු ප්‍රතිපත්තියට එරෙහිව මෙම විරෝධතාව සංවිධානය කර ඇති බවයි සඳහන් වන්නේ. මෙම විරෝධතාව සඳහා වරාය සේවකයන් විශාල පිරිසක් සම්බන්ධ වී තිබෙනවා.

නිදහස් දින සැමරුමට එරෙහිව හිරුණිකා විරෝධතාවක

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර විසින් ගාලුමුවදොර ඉදිරිපිට අද (23) විරෝධතාවක නිරතවී තිබෙනවා.

රටේ ජනතාව බොහෝ අසීරුතාවන්ට මුහුණ පා ඇති කාල සීමාවක, මිලියන 200ක් වියදම් කර මෙවර නිදහස් දිනය සැමරීමට එරෙහිවයි මෙම විරෝධතාව සිදුකරන තිබෙන්නේ.

ආර්ථික අර්බුදයකට රට මුහුණ දී සිටින මොහොතක මෙවැනි නිදහස් උත්වයක් සැමරීමට නොහැකි බවද, ජනතාවද මේ සඳහා විරෝධය දැක්විය යුතු බවද ඇය වැඩිදුරටත් පෙන්වා දෙනවා.