මගේ ජීවිතය නැති වුනොත් ජනාධිපතිට සහ සාගලට වග කියන්න වේවි – ක්‍රීඩා ඇමති

පවතින තත්ත්වය තුළ තමන්ගේ ජීවිතය අහිමි වුවහොත් එයට ජනාධිපතිවරයාට සහ සාගල රත්නායක ඇතුළු පිරිසට වගකීමට සිදුවනු ඇති බව ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ පවසනවා.

තමාගේ ජීවිතය පිළිබඳ අද වනවිට අවිනිශ්චිත තත්ත්වකට මුහුණ දී ඇති බවයි අද (27) පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ක්‍රීඩා අමාත්‍යවරයා සඳහන් කළේ.

මෙම ප්‍රකාශ හැන්සාඩ් වාර්තාවෙන් ඉවත් නොකරන ලෙසත් 134 ක් ඡන්දය ලබාදී රනිල් වික්‍රමසිංහට ඡන්දය ලබාදී ජනාධිපති ධූරයට පත් කළේ, පළිගැනීම් සිදු කිරීමටදැයි ගැටලුවක් පවතින බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

ශිෂ්‍යත්ව ප්‍රතිඵල නැවත පරීක්ෂාවට අභියාචනා භාරගැනීම අද සිට ඇරඹේ

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නැවත පරීක්ෂා කිරීම සඳහා අභියාචනා කැඳවීම අද (27) සිට ආරම්භ කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව මාර්ගගත ක්‍රමය ඔස්සේ ලබන දෙසැම්බර් මස 04 වනදා දක්වා එම අභියාචනා ඉදිරිපත් කළ හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල පසුගිය 16 වනදා නිකුත් කළා.

උත්සව සමය වෙනුවෙන් සහල් ආනයනය කිරීමට පියවර

එළඹෙන උත්සව සමයේ අවශ්‍ය සහල් සැපයීම සඳහා සහල් තොගයක් ආනයනය කිරීමට පියවර ගෙන ඇති බව වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු පවසනවා.

ඒ අනුව උත්සව සමය තුළ සහල් හිඟයක් ඇතිවීම මගහරවා ගැනීමට සහල් ආනයනය කිරීමට පියවර ගෙන ඇති බව වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා රැස්වීමේ දී අමාත්‍ය නලීන් ප්‍රනාන්දු සඳහන් කර ඇත්තේ.

මහ පරිමාණ මෝල් හිමියන් විසින් වෙළෙඳපොළට කීරි සම්බා සහල් නිකුත් නොකර සඟවා තබාගැනීම හේතුවෙන් වෙළෙඳපොළ තුළ මේ වනවිට කීරි සම්බා සහ සම්බා සහල් හිඟයක් නිර්මාණය වී ඇති බවයි සඳහන් වන්නේ.

ක්‍රිකට් විමර්ශන‍යෙන් කෝප් සභාපති ඉවත් කෙරේ

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දුෂණ, වංචා සහ අක්‍රමිකතා පිළිබඳව විමර්ශන කටයුතුවලින් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ හෙවත් කෝප් කමිටු සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාර ඉවත් කිරීමට තීරණය කර තිබෙනවා.

පක්ෂ නායක රැස්වීමේදී සියලු සාමාජිකයින්ගේ එකඟතාවය මත මෙම තීරණය ගෙන ඇති බවයි සඳහන් වන්නේ.

ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පිළිබඳව විමර්ශන කටයුතු කෝප් කමිටුවේ වෙනත් සාමාජිකයෙකුගේ මුලිකත්වයෙන් පැවැත්වීමට තීරණය කර තිබෙනවා.

ඉල් පුර පසළොස්වක පොහොය අදයි

ඉල් පුර පසළොස්වක පොහොය දිනයට අදට (26) යෙදී තිබෙනවා.

මෛත්‍රී බෝසතුන් නියත විවරණ ලැබිමට ප්‍රථම ධර්ම දූතයන් ලෙස රහතන් වහන්සේ හැට නමක් ධර්ම ප්‍රචාරක කටයුතු ඇරඹීම සිදු වූයේ අද වැනි ඉල් පුර පසළොස්වක පොහෝ දිනක බවයි ශාසන ඉතිහාසයේ දැක්වෙන්නේ.

එමෙන්ම තුන් බෑ ජටිල දමනය, සැරියුත් හිමියන් පිරිනිවන්පෑම යන වැදගත් සිදුවීම්ද ඉල් පුර පොහොය දිනයේදී සිදු වූ බව ශාසන ඉතිහාසයේ සදහන් වනවා.

චීවර මාසයේ අවසන් පොහොය වන්නේ ද ඉල් පුර පසළොස්වක පොහොය වන අතර ඉල් පුර පසළොස්වක පොහොය වෙනුවෙන් දිවයින පුරා වෙහෙර විහාරස්ථානවලදී ආමිස හා ප්‍රතිපත්ති පූජාවන්ට මුල්තැන දෙමින් විවිධ වැඩසටහන් සංවිධානය කර තිබෙනවා.

මාධ්‍ය මර්ධනයට ගෙන එන නව පනත් කෙටුම්පත් ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල නෑ – එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතයන්

විකාශන නියාමන අධිකාරී කෙටුම්පත සහ යෝජිත මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ කෙටුම්පත යන පනත් කෙටුම්පත් දෙක ජාත්‍යන්තර ප්‍රමිතීන්ට හා නීතීන්ට අනුකූල නොවන බවට හැඟීයන බව එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතවරුන් තිදෙනෙකු පවසනවා.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතීන් ආරක්ෂා කිරීමේ හා ප්‍රවර්ධනය කිරීමේ විශේෂ නියෝජිත අයිරීන් ඛාන්, සාමකාමීව රැස්වීම සහ කටයුතු කිරීමේ අයිතීන් ආරක්ෂා කිරීමේ විශේෂ නියෝජිත ක්ලෙමන්ට් වූල් සහ පෞද්ගලිකත්වයට ඇති අයිතිය පිළිබඳ විශේෂ නියෝජිත ආනා බ්‍රයන් යන තිදෙනා විසින් මෙම ප්‍රකාශය සිදුකර තිබෙනවා.

මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශය සහ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය විසින් ආරක්ෂා කරන පෞද්ගලිකත්වයට ඇති අයිතිය, අදහස් ප්‍රකාශ කිරීමට ඇති අයිතිය හා සාමකාමීව රැස්වී කටයුතු කිරීමට ඇති අයිතිය මෙම යෝජිත කෙටුම්පත් දෙකෙන් උල්ලංඝණය වන බව ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙනවා.

ඒ අනුව ඔවුන් පෙන්වා දෙන්නේ මෙම පනත් කෙටුම්පත් දෙකම ඉවත් කර ගැනීමට හෝ මහජන අදහස් විමසා නිසි ලෙස සමාලෝචනය කිරීමට පියවර ගත යුතු බවයි.

ඩීසල් සහ භූමිතෙල් වලට VAT බද්දෙන් බලපෑමක් නොවන ආකාරයට කටයුතු කරනවා – කංචන

ඩීසල් සහ භූමිතෙල් යන ඉන්ධන වර්ග සඳහා වැට් බද්දෙන් බලපෑමක් නොවන ආකාරයට කටයුතු කිරීමට කැබිනට් මණ්ඩලයට යෝජනා ඉදිරිපත් කර ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසා තිබෙනවා.

වැට් බද්ද ඉන්ධන සඳහාත් අදාළ වන බවට පසුගිය 10 වැනිදා පාර්ලිමේන්තුවේ යෝජනා වු නමුත්, වැට් බද්දෙන් එකතු කිරීමට ඇති බදු ආදායම ඉන්ධන මත පනවා ඇති වෙනත් බදු වලින් තුලනය කර ඉහත ඉන්ධන සඳහා වැට් බද්දෙන් බලපෑමක් නොවන ආකාරයට කටයුතු කරන බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.

ඒ අනුව ඉදිරියේදී ඒ වෙනුවෙන් අවශ්‍ය තීන්දු තීරණ ගැනීමට නියමිත බවද අමාත්‍යවරයා සඳහන් කළා.

දුම්රිය ආසන වෙන්කර ගැනීමේ තොරතුරු දැනගැනීම සඳහා නව ඩිජිටල් ක්‍රමවේදයක්

දුම්රිය ආසන වෙන්කර ගැනීමේ තොරතුරු ඩිජිටල් ක්‍රමවේදයකට ලබාගැනීමේ පහසුකමක් රටවටා දුම්රිය මඟින්ගේ ෆේස්බුක් සමූහය විසින් හඳුන්වා දී තිබෙනවා.

ඔවුන් විසින් හඳුන්වා දුන් RDMNS ඇප් එක හරහා මෙම නව පහසුකම සපයා ඇති අතර ඒ හරහා මෙරට සියලු දුම්රිය සේවාවන්ගේ ප්‍රවේශපත් ගාස්තු, ආසන වර්ග, ආසන අංක සහ දුම්රිය ආසන වෙන් කරගැනීමේ උපදෙස් ලබාගැනීමේ හැකියාව පවතිනවා.

ආසන වෙන් කරගැනීමට පෙර මේ හරහා දුම්රිය මැදිරි තුළට ඩිජිටල්ව පිවිස එම මැදිරි නැරඹීමට හැකි වීමද විශේෂත්වයක්.

මේ මොහොත වන විට ලංකාවේ ගෙවල් ලක්ෂ හයක විතර විදුලිය කපලා – එස්.එම්. මරික්කාර්

මේ මොහොත වන විට ශ්‍රී ලංකාවේ නිවාස ලක්ෂ හයක පමණ විදුලිය විසන්ධි කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් පවසනවා.

විදුලි ගාස්තු ජනතාවට ගෙවීමට හැකිදැයි ගැටලුවක් පවතින බවත්, ජනතාවගේ ආදායම් මාර්ග ඉහළ යාමක් සිදුවී නොමැති බවයි අද (24) අයවැය විවාදයට එක්වෙමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ.

විදුලිබල මණ්ඩලයට විශාල නිෂ්පාදන වියදමක් දැරීමට සිදුව ඇත්තේ, විදුලිබල මණ්ඩලය හරහා සිදුවන වංචා දූෂණ නාස්තිය නිසා බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

විසන්ධි කළ විදුලි සබඳතා යළි සක්‍රීය කිරීමේ ගාස්තුව අඩු කිරීමට තීරණයක්

විසන්ධි කළ විදුලි සබඳතා යළි සක්‍රීය කිරීමේදී අයකෙකෙනු ලබන ගාස්තුව අඩු කිරීමට තීරණය කර ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

මේ වන විට විසන්ධි කළ විදුලි සබඳතා යළි සක්‍රීය කිරීමේදී රුපියල් 3,000 ක මුදලක් අයකරන බවත්, ඊයේ (23) දිනයේ මෙය අඩු කිරීම සඳහා අධ්‍යක්ෂක මණ්ඩලයේදී තීරණය කළ බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

ඒ අනුව එම මුදල රුපියල් 1,000 – 2,000 අතර මුදලකට ගෙන ඒමට කටයුතු කරන බවයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර වැඩිදුරටත් සඳහන් කළේ.