තවත් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කිරීමට ජනපතිගේ අවධානය

තනතුරු සඳහා නම් අනුමත කිරීමේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව සිදු කරන ප්‍රමාදයන් පිළිබඳව සොයා බැලීමට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත්කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසා තිබෙනවා.

පත්කිරීම් සිදු කිරීමේදී බෙදීම් ඇතිවී කඩාකප්පල් කිරීමට කටයුතු කරන්නේ නම් මෙම ක්‍රමය ක්‍රියාත්මක කිරීමට නොහැකි වන බවයි අද (23) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ජනාධිපතිවරයා සඳහන් කළේ.

Jay Shah ලංකාවේ ක්‍රිකට් පාලනය කරන්නේ නැහැ – ජනපති

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ලේකම් Jay Shah ශ්‍රී ලංකාවේ ක්‍රිකට් පාලනය නොකරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

Jay Shah ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන්ට උදව් කරන බවට විවිධ පිරිස් සිතන බවත් ඔහුගේ නම මෙම සිදුවිමට ඇඳීම සම්බන්ධයෙන් තමා ඔහුට කනගාටුව ප්‍රකාශ කළ බවයි ඉන්දියානු වෙබ් අඩවියක් සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ජනාධිපතිවරයා සඳහන් කළේ.

ඒ අනුව නීත්‍යානුකූල පාර්ශ්වයට තමන්ගේ සහයෝගය ලබාදෙන බවත් එය ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් තීරණය කරනු ඇති බවයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ වැඩිදුරටත් සඳහන් කළේ.

නයගරා දියඇල්ල අසල පිපිරීමක්

නයගරා දියඇල්ල අසල අමෙරිකා – කැනඩා දේශ සීමා මුරපොල ආසන්නයේ සිදුවු පිපිරීමකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

මෝටර් රථයක් තුළ පිපිරීම සිදුව ඇති අතර එහි සිටි පුද්ගලයින් දෙදෙනෙකු මෙලෙස මියගොස් ඇති බවයි සඳහන් වන්නේ.

පිපිරීම හේතුවෙන් අමෙරිකා – කැනඩා දේශසීමා තාවකාලිකව වසා දමා ඇති බවත්, පිපිරීමට හේතුව මෙතෙක් අනාවරණය නොමැති අතර වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.

උසස් පෙළ විභාගය සැලසුම් ක​ළ දිනම පැවැත්වීමට තීරණය කෙරේ

පෙර සැලසුම් කර ඇති පරිදි මෙවර උසස් පෙළ විභාගය පැවැත්වෙන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා.

ඒ අනුව 2024 වර්ෂයේ ජනවාරි මස 04 වනදා සිට 31 දක්වා විභාගය පැවැත්වීමට ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව කටයුතු සූදානම් කර ඇති බවයි සඳහන් වන්නේ.

උසස් පෙළ විභාගය කල්දමන ලෙස ඉල්ලීම් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යොමු කරන ලද මූලික අයිතිවාසිකම් පිළිබඳ පෙත්සම් අද (22) විභාගයට ගත් අවස්ථාවේදී එක් පෙත්මක් නිෂ්ප්‍රභවී ඇති අතර අනෙක් පෙත්සම ඉල්ලා අස්කරගෙන තිබෙනවා.

655dfbccb19fe

රනිල් ගහන්නේ මැක්ස්වෙල්ගේ ඉනිම, පැට් කමින්ස්ගේ ඉනිම ගහන්න කෙනෙක් නෑ – හරීන්

වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිදු කරමින් සිටින්නේ මැක්ස්වෙල්ගේ ඉනිම බව අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පවසනවා.

නමුත් ශ්‍රී ලංකාවට පැට් කමින්ස්ගේ ඉනිම සිදු කිරීමට පුද්ගලයෙක් නොමැති බවයි අද (22) අයවැය විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ.

ආර්ථිකය බින්දුවටම වැටී හුස්ම ගැනීමට නොහැකි වූ අවස්ථාවක, සමහරුන් සැඟවුන අවස්ථාවක රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා සිදු කළේ මැක්ස්වෙල්ගේ ඉනිම බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

මම ජීවිත කාලෙම මෙතනට වෙලා ඉන්න ඇවිල්ලා නැහැ – ශම්මි

මින් ඉදිරියට තමන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ධුරයේ රැඳී සිටීමට අපේක්ෂා නොකරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතයේ සභාපති ශම්මි සිල්වා පවසනවා.

ඒ අනුව ඉදිරියේදී මෙම ධුරය භාරගන්නා කණ්ඩායම සමාජිකයන් විසින් තීරණය කරනු ඇති බවයි අද (22) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ.

තමන් ඇතුළු පිරිස සොරුන් බවට ඔප්පු වුවහොත් ඉවත්වීමට සුදානම් බවත් ක්‍රිකට් තහනම් කළද තමන් ඇතුළු පිරිසට තහනමක් පනවා නොමැති බවද ඔහු සඳහන් කළා.

තහනම පනවා තිබුණද මේ වසරට ලැබීමට නියමිත ගෙවීම් සාමාන්‍ය පරිදි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ලැබෙන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

අධිවේගී මාර්ග විකුණන්නේ හෝ බදු දෙන්නේ නැහැ – බන්දුල

මාර්ග සංවර්ධන අධිකාරියේ කිසිදු සේවකයෙකුගේ රැකියා අහිමි නොවන බව ජනමාධ්‍ය, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසනවා.

ඒ අනුව අධිවේගී මාර්ගය විකිණීමක් හෝ බදු දීමක් සිදු නොකරන බවයි අද (22) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ.

මෙම වැඩ වර්ජනය අනිවාර්යයෙන්ම දේශපාලන ක්‍රියාමාර්ගයක් බවත් රට ඉතා අසීරුවෙන් යන අවස්ථාවක රජයට ලැබිය යුතු ආදායම් අහිමි කර ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

බිල වැඩි වුණා කියලා ජනතා​ව විදුලිය භාවිතා කිරීම අඩු කරලා නැහැ – මහින්දානන්ද

විදුලි බිල වැඩි කළද ජනතාව විදුලි පරිභෝජනය අඩුකර නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ පවසනවා.

ඒ අනුව විදුලි ලබාගන්නේ නම් නිෂ්පාදන මිලටම විදුලිය ලබා ගැනීමට පුරුදුවිය යුතු බවයි අද (22) අයවැය විවාදයට එක්වෙමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ.

විදුලිබිල වැඩි කිරීමට පෙර විදුලිබල මණ්ඩලයේ පාඩුව බිලියන 500 ක් බවත් එම පාඩුව ණයක් ලබාගෙන රජය විසින් පියවීම මෙතෙක් සිදුකළ ක්‍රමවේදය වූ බවයි මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

බදුල්ල රාත්‍රී තැපැල් දුම්රියන් අද අවලංගු කෙරේ

මේ වනවිට මධ්‍යම කඳුකරයේ පවතින අධික වර්ෂාව සමඟ උඩරට දුම්රිය මාර්ගයේ, ස්ථාන කිහිපයක්  කඳු නායායෑම් හේතුවෙන් දුම්රිය ගමනාගමනයට බාධා එල්ල වී තිබෙනවා.

මේ හේතුවෙන් අද (22) දින රාත්‍රී කොළඹ කොටුව සිට බදුල්ල හා බදුල්ල සිට කොළඹ බලා ධාවනය වන රාත්‍රී තැපැල් දුම්රියන් දෙක අවලංගු කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

ලබන වසරේ අතර මැද අලුත් බදු පැනවීමේ ඉඩකඩක් තියෙනවා – ධනනාත් ප්‍රනාන්දු

2024 අයවැය තුළ වියදම් පෙන්වා තිබුනත් ආදායම් එන ආකාරය පෙන්වා ඇත්තේ සීමිත ප්‍රමාණයක් බව ආර්ථික විශ්ලේෂක ධනනාත් ප්‍රනාන්දු පවසනවා.

VAT බදු හරහා ආදායම් ලැබෙනු ඇති බවට රජය අපේක්ෂා කරන ආකාරයක් පෙනෙන්ට ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.

ඉතිහාසයේ අයවැය වාර්තාවලට අනුව, VAT බදු මඟින් විශාල ආදායමක් ලැබෙනු ඇති බවට අපේක්ෂා කළද එම ප්‍රමාණය නොලැබෙනු ඇති බවද, වියදම් ප්‍රමාණයද වැඩි වනු ඇති බව ඔහු පවසනවා.

මෙම වාතාවරණය අනුව, ලබන වසරේ අතර මැද ද නව බදු පැනවීමට ඉඩකඩක් ඇති බවද, එසේ නොකරන්නේ නම් වෙළඳපොළෙන් ණය ලබාගත යුතු බවද, එසේ වුවහොත් පොලී අනුපාත ඉහළ යන බවද ඔහු වැඩිදුරටත් පෙන්වා දෙනවා.