අයිස් මත්ද්‍රව්‍ය භාවිත කරන පිරිස ගැන අනාවරණයක්

මෙරට තුළ අයිස් මත්ද්‍රව්‍ය භාවිත කරන්නන් 50,000 ක පමණ පිරිසක් සිටින බවට තොරතුරු අනාවරණය වී ඇති බව අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය පවසනවා.

ඒ අනුව සෙසු මත්ද්‍රව්‍යයන්ට සාපේක්ෂව එහි ව්‍යාප්තිය අවදානය යොමුකළ යුතු මට්ටමක පවතින බවයි එහි සභාපති නීතිඥ ශාක්‍ය නානායක්කාර සඳහන් කළේ.

එසේම අයිස් මත්ද්‍රව්‍යය පාසල් පද්ධතිය තුළ ව්‍යාප්ත වී නොමැති බවට සාම්පල් මගින් තහවුරු වූ බවත් පසුගිය මාස 6 ක කාලය තුළද අයිස් මත්ද්‍රව්‍ය භාවිතය සම්බන්ධයෙන් පාසල් වයසේ පසුවන කිසිවෙක් අත්අඩංගුවට ගෙන නොමැති බවත් ඔහු සඳහන් කළා.

කෙසේ නමුත් පාසල් පද්ධතිය තුළ දුම්කොළ භාවිතයේ ප්‍රවණතාවක් දක්නට ලැබෙන බවයි අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ සභාපති නීතිඥ ශාක්‍ය නානායක්කාර වැඩිදුරටත් සඳහන් කළේ.

රුපියල අවප්‍රමාණය වීම තාවකාලිකව ඇතිවූ තත්ත්වයක් – රංජිත් සියඹලාපිටිය

පසුගිය දින කිහිපය තුළ රුපියල අවප්‍රමාණය වීම තාවකාලිකව ඇතිවූ තත්ත්වයක් බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.
ඉල්ලුම හා සැපයුම මත එහි වටිනාකම තීරණය වීමට ඉඩ ලබාදී ඇති බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.
ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර ඩොලර් මිලියන 750ක් තිබූ බවත් දේශීය ණය ප්‍රතිව්‍යගතකරනයේදී සංවර්ධන බැඳුම්කරවල වටිනාකම ශ්‍රී ලංකා රුපියල්වලින් ගෙවීමට කටයුතු කරන ලෙස එකඟතාව පළ බවද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා.
ඩොලර් තැන්පතු වලින් ඔවුන් මෙය මිලදී ගැනීමට කටයුතු කරන බවත් එහිදී තැන්පතුකරුවන්ට අවශ්‍ය කාලයේදී බේරීම සඳහා ඩොලර් ප්‍රමාණය රැස්කර ගන්න බැංකුවලට යම් අවශ්‍යතාවයක් පැන නගින අතර ඒ හේතුවෙන් බැංකු මෙතෙක් තමන්ට ලැබුණු ඩොලර් වෙළෙඳපොළට මුදාහැරීම යම් ප්‍රමාණයකට සීමා කරන අතර වෙළෙඳපොළෙන්ද යම් ප්‍රමාණයක් ලබාගත හැකිවීම හේතුවෙන් පසුගිය දින කිහිපය තුළ රුපියල අවප්‍රමාණය වීම හා ඩොලරයේ අගය වැඩිවීම සිදුවූ බවයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය වැඩිදුරටත් සඳහන් කළේ.

ගලහිටිය ප්‍රදේශයේ බස් අනතුරකින් 14කට තුවාල

රත්නපුර – ඇඹිලිපිටිය මාර්ගයේ ගලහිටිය ප්‍රදේශයේදී අද (30) උදෑසන පෞද්ගලික බස් රථයක් අනතුරට ලක්වීමෙන් පුද්ගලයින් 14 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
කොළඹ සිට මොනරාගල දක්වා ධාවනය වූ බස් රථයක් අද උදෑසන මාර්ගයේ පෙරළීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
රියදුරුට නින්ද යාම මෙම අනතුරට හේතු වී ඇති බවයි පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ.

නව උපාධිධාරීන් බඳවා ගැනීමේ කටයුතු සඳහා වන ඉදිරි ක්‍රියාමාර්ග පළාත් මට්ටමින් සිදුකර තිබෙනවා – අධ්‍යාපන ඇමති

නව උපාධිධාරීන් බඳවා ගැනීමේ කටයුතු සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග පළාත් මට්ටමින් සිදුකරනු ඇති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා.
ඒ අනුව විද්‍යා, තාක්ෂණ, ඉංග්‍රීසි සහ විදේශ භාෂා යන විෂයන් සඳහා නව උපාධිධාරීන් බඳවා ගැනීමට සැලසුම් කර ඇති බවයි අධ්‍යාපන අමාත්‍යවරයා සඳහන් කළේ.
නව උපාධිධාරීන් 5450 ක් ගුරු සේවා ව්‍යවස්ථාව අනුව බඳවා ගැනීමට අනුමැතිය ගෙන ඇති බවයි අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත වැඩිදුරටත් සඳහන් කළේ.

සෞඛ්‍ය වෘත්තිකයින් අගෝස්තු 03 වනදා වැඩවර්ජනයක

සෞඛ්‍ය සේවකයින්ට මාධ්‍ය වෙත තොරතුරු ලබාදීම වළක්වාලමින් පනවා ඇති චක්‍රලේඛය අහෝසි නොකිරීමට එරෙහිව ලබන මස 03 වනදා සංකේත වැඩවර්ජනයක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය පවසනවා.
ඒ අනුව එම චක්‍රලේඛය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්වරයා මෙතෙක් ප්‍රතිචාර දක්වා නොමැති බවයි එහි සභාපති රවී කුමුදේශ් සඳහන් කළේ.
සෞඛ්‍ය වෘත්තිකයින් සහ සිවිල් සංවිධාන එක්ව මෙරට සෞඛ්‍ය සේවාව පිළිබඳව හෙළිදරව් කිරීම් රැසක් සිදුකරනු ලබන විශේෂ සමුළුවක් ද ලබන 03 වනදා පවත්වන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

ජපාන විදේශ අමාත්‍යවරයා ජනපති හමු වෙයි

දෙදින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණ සිටින ජපාන විදේශ අමාත්‍ය හයාෂි යොෂිමාසා (HAYASHI Yoshimasa) මහතා සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.
ජපානය සහ ශ්‍රී ලංකාව අතර පවතින දීර්ඝකාලීන ද්විපාර්ශ්වික සබඳතාවන් සිහිපත් කරමින් ඇරඹි මෙම සාකච්ඡාවේ දී ක්ෂේත්‍ර රැසක් ඔස්සේ එම සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම සඳහා දෙපාර්ශ්වයම කැපවීමෙන් යුතුව කටයුතු කිරීමේ අවශ්‍යතාව අවධාරණය කෙරුණු බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.
ශ්‍රී ලංකාවේ ණය ප්‍රශස්තකරණ ක්‍රියාවලිය සඳහා ජපාන රජය ලබා දෙන සහාය පිළිබඳ මෙහිදී සිය කෘතඥතාව පළ කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ණය ප්‍රශස්තකරණ ක්‍රියාවලියේ පොදු වේදිකාව වැඩිදියුණු කිරීම සහ එම ක්‍රියාවලිය වේගවත් කිරීම වෙනුවෙන් ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් මහතා සමග සිදු කළ සාකච්ඡාව පිළිබඳව ද කරුණු පැහැදිළි කර තිබෙනවා.
එසේම ජපාන – ශ්‍රී ලංකා සහයෝගීතාව තවදුරටත් විදාහ දැක්වෙන සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය (LRT), වරාය නැගෙනහිර පර්යන්තය, මහනුවර සංවර්ධන සැලැස්ම, මධ්‍යම අධිවේගී මාර්ගය සහ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ පුළුල් කිරීම යන ව්‍යාපෘති කඩිනම් කිරීමේ වැදගත්කම ද මෙම සාකච්ඡාවේ දී අවධානයට ලක්වී තිබෙනවා.
මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.

64c5b35700df9pdf_page_0

මාධ්‍යවේදී තරිඳු උඩුවරගෙදරට ඇප

ඊයේ (28) පැවති විරෝධතා අතරතුර පොලිසිය විසින් අත්අඩංගුවට ගත් මාධ්‍යවේදී තරිඳු උඩුවරගෙදරට ඇප මත නිදහස් කර තිබෙනවා.

නීතිවිරෝධී රැස්වීමක සාමාජිකයෙකු වීම හා රජයේ නිලධාරියෙකුට සාපරාධී බලහත්කාරය පෑම යන චෝදනා මත ඔහු ඊයේ පොලිසිය විසින් අත්අඩංගුවට තිබූ අතර කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරියාගේ නිර්දේශ මත අද පෙරවරුවේ ඔහු රෝහල් ගත කර තිබුනා.

හදිසි අනතුරු අංශයේ ප්‍රතිකාර ලබමින් සිටි ඔහු නිරීක්ෂණය කිරීම සඳහා අලුත්කඩේ වැඩබලන මහේස්ත්‍රාත්වරයා අද පස්වරුවේ පැමිණ ඇති අතර ඔහු ඇප මත නිදහස් කර ඇත්තේ ඉන් අනතුරුවයි.

අත්අඩංගුවට ගත් මාධ්‍යවේදී තරිඳු උඩුවරගෙදර ජාතික රෝහලට

ඊයේ (28) පොලිසිය විසින් අත්අඩංගුවට ගත් මාධ්‍යවේදී තරිඳු උඩුවරගෙදර හදිසි අනතුරු අංශයට ඇතුළත් කළ බව කොළඹ ජාතික රෝහල පවසනවා.
තරුණ මාධ්‍යවේදීන්ගේ සංගමයේ විධායක කමිටු සාමාජිකයෙක් ලෙස කටයුතු කළ ඔහු ඊයේ කොළඹ පැවති විරෝධතාව අතරතුර පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුනා.

පොලීසිය හිතං ඉන්නවා මේ රටේ දැන් පා ගමන් යන්න බෑ කියලා, අපි අද පෙන්නුවා පුළුවන් කියලා – දුමින්ද

පොලීසිය හිතං ඉන්නවා මේ රටේ දැන් පා ගමන් යන්න බෑ කියලා, අපි අද පෙන්නුවා පුළුවන් කියලා – දුමින්ද

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

මරදාන සිට අලුත්ගම බලා ධාවනය වූ දුම්රිය කොළඹ කොටුව හා කොම්පඤ්ඤවීදිය දුම්රිය ස්ථාන අතර කාර්මික දෝෂයකට ලක්වීම හේතුවෙන් සවස ධාවනය වන දුම්රිය ප්‍රමාදයකට ලක්ව තිබෙනවා.
මේ වනවිට එම දුම්රිය එම ස්ථානයෙන් ඉවත් කර ගැනීම සඳහා සහයක දුම්රියක් එම ස්ථානය වෙත යවා ඇති බවයි සඳහන් වන්නේ.
අදාළ මාර්ගයේ අවහිරතාවය කඩිනමින් ඉවත් කිරීමට කටයුතු මේ වන විට සිදුවෙමින් පවතින බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.