ඩයනාට එරෙහි පෙත්සම විභාගයට ගැනීමට අවසර

රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේ ගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයට එරෙහිව අභියාචනාධිකරණය විසින් ඉකුත් දා ලබාදුන් අභියාචනාධිකරණ තීන්දුවට එරෙහිව ගොනු කළ අභියාචනා පෙත්සමක් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (19) අවසර ලබාදී තිබෙනවා.

ඒ අනුව රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේ මහත්මියට මෙරට පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට සුදුසුකම් නොමැති බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ගොනු කෙරුණු පෙත්සමක් නිෂ්ප්‍රභ කරමින් අභියාචනාධිකරණය විසින් ඉකුත් දා තීන්දුවක් ලබාදී තිබුණා.

අභියාචනාධිකරණ තීන්දුවට එරෙහි ව සමාජ ක්‍රියාකාරිකයකු වන ඔෂල හේරත් විසින් ඉදිරිපත් කළ අභියාචනා පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව මෙම නියෝගය ලබාදී තිබෙනවා.

X-Press Pearl නෞකාවෙන් සිදුවූ හානියට වන්දි ලබා ගැනීමට පනවා ඇති සීමා ගැන විරෝධතා ගොනු කරනවා – නීතිපති දෙපාර්තමේන්තුව

X-Press Pearl නෞකාව ගිනිගෙන මුහුදුබත් වීමෙන් සිදුවූ හානියට වන්දි ලබා ගැනීමට පනවා ඇති සීමාවලට එරෙහිව, ලබන 29 වැනිදා බ්‍රිතාන්‍ය අද්මිරාල් මහාධිකරණය හමුවේ විරෝධතා ගොනුකරන බව නීතිපති දෙපාර්තමේන්තුව පවසනවා.

මීට පෙර එම අධිකරණය විසින් නෞකාව අයත් සමාගමෙන් ලබා ගත හැකි වන්දිය ස්ටර්ලිං පවුම් මිලියන 19.5 කට සීමා කර තිබූ අතර, ඒ තුළින් නෞකාව මුහුදුබත් වීමෙන් සිදුවූ හානියට ප්‍රමාණවත් වන්දියක් අයකර ගැනීම සීමා වූ බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

එසේම අදාළ නෞකා සමාගමෙන් වන්දි අයකර ගැනීම සඳහා සිංගප්පූරු ජාත්‍යන්තර වාණිජ මහාධිකරණය හමුවේ පනවා ඇති නඩුවට අදාළව සවිස්තරාත්මක ප්‍රකාශයක් ලබන 27 වැනිදා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බවත්, ඉන් අනතුරුව එම නඩුවේ සාක්ෂි විමසීම සිදු කෙරෙනු ඇති බවත් සඳහන්.

ගනේමුල්ල සංජීවගේ ගෝලයකුගේ නිවසක බංකරයක සගවා තිබු ලක්ෂ 22 කට අධික මුදලක් නාකොටික් නිළධාරීන් සොයාගැනේ….

දැනට රැදවුම් නියෝග මත වීරගුල පොලිස් ස්ථානයේ රදවා සිටින ප්‍රභල සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ගනේමුල්ල සංජීව යන අයගේ ප්‍රධාන ගෝලයෙකු වන දැනට විදේශගතව සිට මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවන පැට්ටා මංජු නැමති අයගේ සමීපතමයෙකුගේ නිවසක් 2024.01.17 වන දින නාකොටික් නිළධාරින් කණ්ඩායමක් විසින් පරික්ෂා කිරීමේදී ඉතා ක්ෂුක්ෂම ලෙස නිවසේ බංකරයක සගවා තිබු ලක්ෂ 22 කට අධික මුදලක් සොයාගෙන ඇත.‍

පරික්ෂා කරන ලද නිවසේ කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙකු සිට ඇති අතර, නිවසේ සිටි කාන්තාවගේ ජංගම දුරකථන පරික්ෂා කරන අවස්ථාවේදී මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගන්නා මුදල් මොවුන් හරහා සංසරණය වන බවට අනාවරණය වීමෙන් පසුවයි නාකොටික් නිළධාරීන් නිවස වැඩිදුරටත් සෝදිසි කරන්නේ.

අත්අඩංගුවට ගත් කාන්තාව කෙහෙල්බැද්දර ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 29 පමණ වයසැති කාන්තාවකි.

මත්ද්‍රව්‍ය ජාලය අනාවරණය කර ගැනීම සදහා මෙම සැකකාර කාන්තාව රැදවුම් නියෝග මත රදවාගෙන වැඩිදුර විමර්ශන සිදුකරන බවට නාකොටික් නිළධාරීන් පවසන්නේ

අමුද්‍රව්‍යවලට සහනයක් දුන්නේ නැත්නම් මිල ඉහළ දානවා – ආපනශාලා හිමියන්ගේ සංගමය

ආහාර සඳහා යොදා ගන්නා අමුද්‍රව්‍යවලට සහනයක් ලබා නොදුනහොත් මිල ඉහළ දැමීමට සිදුවන බව ආපන ශාලා හිමියන්ගේ සංගමය පවසනවා.

ආහාර සෑදීමට යොදා ගන්නා සහල් ඇතුළු භාණ්ඩ රැසක මිල ඉහළ ගොස් ඇති බවයි එම සංගමය පෙන්වා දෙන්නේ.

ඒ අනුව රජයෙන් සහනයක් නොලැබෙන්නේ නම් කර්මාන්තය පවත්වාගෙන යාමට නොබෝ දිනකින් මිල වැඩි කිරිමට කටයුතු කරන බවයි එම සංගමය වැඩිදුරටත් සඳහන් කළේ.

රතු මුහුදේ හූති ප්‍රහාර නිසා කොළඹ වරායේ නැව් තදබදයක්

හූති කැරලිකරුවන් විසින් රතු මුහුදේ ගමන් කරන නැව්වලට පහරදීම නිසා කොළඹ වරාය සංක්‍රමණ ස්ථානයක් ලෙස යොදා ගැනීම හේතුවෙන් එහි තදබදයක් ඇතිවී තිබෙන බව ශ්‍රී ලංකා වරාය අධිකාරිය පවසනවා.

ඉන්දියාවෙන් ප්‍රතිනැව්ගත කිරීමේ පරිමාව ද වැඩිවී ඇති අතර, වරායේ පර්යන්ත තුනේ නැව් ගත කිරීමේ කවුළු වැඩි වශයෙන් නැව්ගත කිරීමේ මාර්ග ඉල්ලා ඇති බවයි වරාය අධිකාරිය පෙන්වා දෙන්නේ.

කොළඹ වරායේ උපාය මාර්ගික පිහිටීම නිසා වරායට සංක්‍රමණය වන නැව්වලට මැදපෙරදිග, දකුණු ආසියාවට සහ නැගෙනහිර ආසියාව වෙත පහසුවෙන් ප්‍රවේශ විය හැකිවීමද, දකුණු අප්‍රිකාව පසුකර යන නැව්වලට පළමුවෙන් හමුවන වරාය කොළඹ වරාය වීමද තදබදය තවත් වැඩිවීමට හේතුවී ඇති බවයි සඳහන් වන්නේ.

මීලඟට හමුවන සිංගප්පූරුව වරායට වඩා කඩිනමින් කොළඹ වරායට ළඟාවිය හැකි වීමත්, ඊශ්‍රායලයේ සිට අරාබි රටවලට ගමන් කරන නෞකාද එම රටවල් භාරගැනීම ප්‍රතික්ෂේප කිරීම නිසා එම නැව්ද කොළඹ වරායට පැමිණ ප්‍රතිනැව්ගත කිරීම් සිදුකරනු ලබන බවත් වරාය අධිකාරිය පෙන්වා දෙනවා.

කොළඹ මාර්ග නීති කඩ කරන්නන් හඳුනා ගැනීමට ලබන 22 සිට CCTV යොදා ගැනේ

කොළඹ නගරයේ ස්ථාපනය කර ඇති CCTV පද්ධතිය හරහා මාර්ග නීති කඩ කරන රියදුරන් හඳුනා ගැනීමේ වැඩසටහන ජනවාරි 22 වැනි දා සිට ආරම්භ කරන බව වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පවසනවා.

එම වැරදි සඳහා අදාළ දඩ පත්‍රිකා, වාහනය ලියාපදිංචි හිමිකරුගේ ආසන්නතම පොලිස් ස්ථානයට ලැබීමට සලස්වන බවයි ඔහු සඳහන් කළේ.

එහිදී ඔහුට පොලීසියට ගොස් තමන් සිදුකළ වරද බලා ගැනීමේ හැකියාව පවතින බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

ජල බිල්පත් නොගෙවූ 80,000කගේ ජල සැපයුම් විසන්ධි කෙරේ

ජල බිල්පත් ගාස්තු නොගෙවීම නිසා පසුගිය වසර තුළ ජල පාරිභෝගිකයින් 80,970 දෙනෙකුගේ ජල සැපයුම විසන්ධි කර ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.

මෙම පිරිස අතර ගෘහස්ත පාරිභෝගිකයින් ගණන 63,150 වන අතර, ගෘහස්ථ නොවන පාරිභෝගිකයින් සංඛ්‍යාව 17,820 ක් බවයි වාර්තා වෙන්නේ.

මෙසේ ජල සැපයුම් විසන්ධි කළ පාරිභෝගිකයින්ගෙන් රුපියල් මිලියන 1,909 ක මුදලක් ජලාපවහන මණ්ඩලයට අයකරගත යුතුව පවතින අතර හිඟ ජල ගාස්තු වශයෙන් රුපියල් මිලියන 6,118ක් මණ්ඩලයට අය කරගත යුතුව පවතින බවට සඳහන්.

ජල සම්බන්ධතා විසන්ධි කර ඇති පාරිභෝගිකයින්ට හිඟ ගාස්තු මුදලින් 25% ක මුදලක් ගෙවා යළි සම්බන්ධතාවය ලබාගත හැකි බවත්, ඉන්පසු ඉදිරි ගෙවීම් කටයුතු සිදුකරගෙන යා හැකි බවත් ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කරනවා.

යුක්තිය මෙහෙයුම යටතේ සැකකරුවන් 943 ක් අත්අඩංගුවට

යුක්තිය මෙහෙයුම යටතේ පසුගිය පැය 24 ක කාලය තුළ සිදුකරන ලද වැටලීම්වලදී සැකකරුවන් 943 ක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසනවා.

දිවයින පුරා සිදුකළ මෙහෙයුම්වලදී මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ සැකකරුවන් 670ක් සහ අපරාධ අංශ වෙත යොමු කළ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 273ක් ද අත්අඩංගුවට ගෙන ඇති බවයි සඳහන් වන්නේ.

මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ අත්අඩංගුවට ගත් සැකකරුවන් 670දෙනා අතරින් සැකකරුවන් 9කට රැදවුම් නියෝග මත වැඩිදුර විමර්ශන සිදුකරන අතර මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවුවන් 25ක් පුනරුත්ථාපනය සදහා යොමුකර තිබෙනවා.

මෙම මෙහෙයුමේදී හෙරොයින් 199 g ක්, අයිස් 168 g ක්, ගංජා 2 kg 400 g ක්, ගංජා පැල 2,883 ක්, මත්පෙති 59 ක් ද අත්අඩංගුවට ගෙන ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

අල්ලස් ලබාගත් පොලිස් නිලධාරින් දෙදෙනෙක් අත්අඩංගුවට

රුපියල් 10,000ක මුදල් අල්ලසක් ලබාගත් උප පොලිස් පරීක්ෂකවරයෙක් සහ පොලිස් කොස්තාපල්වරයෙක් අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

නාරම්මල ප්‍රදේශයේ නිවසක් සෝදිසි කර නීති විරෝධී මත්පැන් ‍තොගයක් අත්අඩංගුවට ගෙන ඇති අතර, එම සිද්ධිය සම්බන්ධයෙන් නීතිමය පියවර නොගැනීමට නම් අල්ලස් මුදල් ඉල්ලා ඇති බවයි සඳහන් වන්නේ.

අදාල නිවසේ හිමිකරු මෙම අල්ලස් සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති අතර, ඊයේ (16) සවස නාරම්මල ප්‍රදේශයේ පිහිටි පැමිණිලිකරුගේ නිවසේ දී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් පොලිස් නිලධාරින් අත්අඩංගුවට ගෙන තිබෙන බවයි වාර්තා වෙන්නේ.

අන්තරේ විරෝධතා පාගමන සම්බන්ධයෙන් අධිකරණයෙන් නියෝගයක්

අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බලමණ්ඩලය විසින් අද (17) සංවිධානය කර තිබෙන විරෝධතා පා ගමනකට අදාළව මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය නියෝගයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු මදුෂාන් චන්ද්‍රජිත්, අන්තර් විශ්ව විද්‍යාලයීය භික්ෂු බලමණ්ඩලයේ කැඳවුම්කරු ගල්වැව සිරිධම්ම හිමි, මැදිරිගිරියේ ඉස්සරධම්ම හිමි, තිස්සපුර සිරි සුමේධ හිමි, අබ්දුල්ලා මොහොමඩ් රිෆාත්, මධුසංඛ චන්ද්‍රසිරි, මදුරංග ජයසිංහ, නිසල දමිත් සහ ශලින්ද මිෂාන් සමරසිංහ යන වගඋත්තරකරුවන් 9 දෙනෙකු වෙත මෙම නියෝගය නිකුත් කර ඇති බවයි සඳහන් වන්නේ.

අද දින කුරුඳුවත්ත විහාරමහාදේවී උද්‍යානය අසලින් විරෝධතාවය ආරම්භ කර ලිප්ටන් වටරවුම දක්වා පා ගමනින් ගමන් කිරීමට හෝ සිනේසිටි සිනමා ශාලාව අසලින් විරෝධතාවය ආරම්භ කර කොටුව දුම්රිය පොළ දක්වා පාගමනින් ගමන් කිරීමට අදහස් කර ඇති බැවින් හටගන්නා පීඩාකාරී තත්ත්වය මඟ හැරීම සඳහා මෙම අධිකරණ බල සීමාවට අයත් කුලරත්න මාවත (මරදාන පාර), ඔරාඹිපාෂා මාවත, සංඝරාජ මාවත, ඩීන්ස් පාර (පූජ්‍ය බද්දේගම විමලවංශ හිමි මාවත) ඩාලි පාර (ටී.බී ජයා මාවත) හා රෝහල් චතුරස්‍ර තුළ හා පිටත මාර්ගවල පදික වේදිකා විරෝධතා සඳහා භාවිත කළ නොහැකි බවටද අධිකරණය නියෝග කර ඇති බවයි සඳහන් වන්නේ.