කොළඹදී බස් රථ අනතුරක්

බම්බලපිටිය පොලිස් වසමේ ඩුප්ලිකේෂන් පාර, ජුබිලි බුලස් හංදිය අසල දී අද (14) අලුයම බස් රථයක් අනතුරට ලක්ව තිබෙනවා.

කොළඹ සිට කතරගම බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් තුම්මුල්ල දෙස සිට පැමිණි ලොරි රථයක ගැටී මාර්ගයේ පෙරළී ගොස් ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

අනතුර සිදුවන අවස්ථාවේ බස් රථයේ මගීන් 15 දෙනෙකු පමණ සිට ඇති අතර, ඉන් තුවාල ලැබු කාන්තාවන් දෙදෙනෙකු හා පිරිමි පුද්ගලයින් 5 දෙනෙක් ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

බවුසරයක් හා මෝටර් රථයක් ගැටී පුද්ගලයින් 05 ක් රෝහලට

ඉන්ධන ප්‍රවාහනය කළ බවුසර් රථයක් සහ මොටර් රථයක් මුහුණට මුහුණ ගැටී සිදුවූ අනතුරකින් මොටර් රථයේ ගමන් කළ පුද්ගලයන් පස් දෙනෙකු බරපතළ තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා.

ඒ අනුව ඊයේ (12) රාත්‍රී 10.00 ට පමණ හැටන් – නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ දිඹුලපතන මංසන්ධියේදී මෙම අනතුර සිදුව ඇති  බවයි සඳහන් වන්නේ.

වැලිමඩ සිට කොටගල දෙසට ධාවනය කරමින් තිබු බවුසර් රථයක් සහ නොර්වුඩ් සිට තලවකැලේ දක්වා ධාවනය කළ මොටර් රථයක් මෙසේ මුහුණට මුහුණ ගැටී අනතුර සිදුව තිබෙනවා.

ජලය මුදා හැරියත් ඇතැම් ගොවි බිම්වලට ජලය ලැබී නැහැ – කෘෂිකර්ම ඇමති

සමනල වැව ජලාශයෙන් උඩවලව ජලාශයට ජලය මුදාහැරීම ආරම්භ කර දින 05ක් ගත වුවද මේ දක්වාත් ඇතැම් ගොවි බිම්වලට ජලය ලැබී නොමැති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.

ඒ අනුව සිදුව ඇති දරුණු වගා හානිය සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලය දැනුම්වත් කිරීමට බලාපොරොත්තු වන බවයි අගුණකොළපැලැස්ස ප්‍රදේශයේ දී අමාත්‍යවරයා සඳහන් කළේ.

ඉදිරියේ දී සියලු ජලාශ එකම ස්ථානයකින් පාලනය වන ආකාරයේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිවරයා අවධානය යොමුකර ඇති බවත් ඒ සඳහා කමිටුවක් පිහිටුවීමටද බලාපොරොත්තු වන බවයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර වැඩිදුරටත් සඳහන් කළේ.

පොදු ප්‍රවාහනයේ වාහන ආනයන සීමා ලිහිල් කිරීමට අවධානය

පොදු ප්‍රවාහනය සඳහා භාවිත කරන වාහන ආනයනය සඳහා පනවා තිබූ සීමාවන් ලිහිල් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට මෙම සතියේ බලාපොරොත්තු වන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

පොදු ප්‍රවාහණය සඳහා භාවිත කරන ලොරි, ට්‍රක් සහ බස් රථ ආනයනය සඳහා පනවා තිබූ සීමාවන් මේ හරහා ලිහිල් කිරීමට අවධානය යොමු කරන බවයි රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

ප්‍රදේශ කිහිපයක පානීය ජල සැපයුම් සීමා කෙරේ

මේ වනවිට දිස්ත්‍රික්ක 11කට අයත් පවුල් 49,867ක පුද්ගලයින් 163,111ක් පානීය ජල ගැටලුවෙන් පීඩාවට පත්වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.

වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන මහාවාරි ව්‍යාපාර 73න් 42ක සක්‍රිය ජල ධාරිතාව මේ වනවිට 30% දක්වා අඩුවී තිබෙනවා.

ඒ අනුව දිවයින පුරා ක්‍රියාත්මක ජලසම්පාදන මෙහෙයුම් 344 අතුරින් 20ක පූර්ණ කාලීන ජලය ලබාදීම අත්හිටුවා මුර ක්‍රමයට ජලය ලබාදීමේ කටයුතු ආරම්භ කර ඇති බවයි ජාතික ජලම්පාදන මණ්ඩලය සඳහන් කළේ.

කුරුණෑගල, හෙට්ටිපොළ, නිකවැරටිය, වාරියපොළ, මාතර – ඌරුබොක්ක, හම්බන්තොට – බෙලිඅත්ත, මුරුතවෙල, තංගල්ල, වලස්මුල්ල, අක්කරෛපත්තු, පොතුවිල්, තිරුක්කෝවිල්, මොණරාගල – බිබිලේ, අඹගස්දූව, බණ්ඩාරවෙළ, බෝගහකුඹුර, හල්දුමුල්ල, කන්දෙකැටිය, සීලතැටිය, අමුණුකැලේ, කැප්පෙටිපොළ යන ජලසම්පාදන ක්‍රමවල මෙලෙස මුර ක්‍රමය යටතේ සීමා සහිතව ජල සම්පාදනය සිදුකරන බවයි සඳහන් වන්නේ.

පවතින තත්ත්වය යටතේ අරපිරිමැස්මෙන් ජලය පරිභෝජනය කරන ලෙසයි ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

IMF පළමු සමාලෝචනය සැප්තැම්බර් මාසයේ පැවැත්වෙනවා – මුදල් රාජ්‍ය ඇමති

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ශ්‍රී ලංකාව සිදුකරනු ලබන පළමු සමාලෝචනය සැප්තැම්බර් මසදී සිදුකිරීමට නියමිත බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

ඒ අනුව එම සමාලෝචනය සැප්තැම්බර් 11 වනදා සිට 19 වනදා දක්වා දින 8 ක් පැවැත්වෙන බවත් මහ බැංකුව, මුදල් අමාත්‍යාංශය, මුදල් අමාත්‍යවරයා ඇතුළු පාර්ශව කිහිපයක් එක්ව මෙම සමාලෝචනය සිදුකරන බවද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා.

මෙම සමාලෝචනයෙන් පසු ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවන ණය වාරිකය ලෙස ඩොලර් මිලියන 350 කට ආසන්න මුදලක් ලබාගැනීමට හැකියාව පවතින බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.

සමනල වැව බලාගාරයේ විදුලිය නිෂ්පාදනය සීමා කෙරේ

ජලාශයේ ජල ධාරිතාව ශීඝ්‍රයෙන් පහතවැටීම හේතුවෙන් සමනල වැව බලාගාරයේ විදුලිය නිෂ්පාදන ධාරිතාව සීමා කර ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා.

බලාගාරයට ජලය ලබා ගන්නා පිවිසුමේ ජල සුළි ඇතිවීමේ අවදානමක් හේතුවෙන් විදුලි නිෂ්පාදන ක්ෂමතාවය ද පහත හෙළා ඇති බවයි ඔවුන් සඳහන් කළේ.

මේ වනවිට බලාගාරයේ විදුලිය නිෂ්පාදනය මෙගාවොට් 80 ක් බවයි වාර්තා වන්නේ.

චිත්‍රපට,⁣ වේදිකා නාට්‍ය සහ සංගීත සංදර්ශන සඳහා අය කරන බලපත්‍ර ගාස්තු ඉහළට

මහජන ප්‍රදර්ශනය සඳහා ඉදිරිපත් කෙරෙන දේශීය සහ විදේශීය චිත්‍රපට, වේදිකා නාට්‍ය, සංගීත හා ප්‍රාසාංගික සංදර්ශන සඳහා අය කරන රැඟුම් පාලක බලපත්‍ර ගාස්තු ඉහල දමා ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඊට අදාළ අතිවිශේෂ ගැසට් නිවේදනය පහතින්.

64d771c92d21c

64d771cb27263

ශක්තිමත් මූල්‍ය හා මානව ප්‍රාග්ධනයක් නොමැතිව රටක සීඝ්‍ර ආර්ථික වර්ධනයක් ඇති කළ නොහැකියි – ජනපති

මූල්‍ය ප්‍රාග්ධනය හා මානව ප්‍රාග්ධනය නොමැතිව රටක සීඝ්‍ර ආර්ථික වර්ධනයක් ඇති කළ නොහැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.
ශ්‍රී ලකාවේ ආර්ථිකය දියුණු කිරීමට අපනයන මත පදනම් වූ තරගකාරී ආර්ථිකයක් මෙන්ම පෞද්ගලික අංශයට විවෘත වූ ආර්ථිකයක් අවශ්‍ය බවද, ආර්ථිකය වේගයෙන් ඉදිරියට ගෙන යාමට නම් මූල්‍ය හා මානව ප්‍රාග්ධනය තිබිය යුතු බවද ඔහු පෙන්වා දෙනවා.
තියුණු තරගකාරීත්වයක් සහිත පෞද්ගලික අංශය පෙරමුණ ගත් ආර්ථිකයක් පැවතියහොත් ආර්ථික කඩා වැටීම් සිදු නොවන බවද, විදේශ ප්‍රාග්ධනය උපයා ගන්නා තරමටම රට දියුණුව කරා ගෙනයා හැකි බවද ඔහු සඳහන් කරනවා.
මානව ප්‍රාග්ධනය ප්‍රමාණවත් පරිදි සපයා ගැනීමට තරුණ තරුණියන් පුහුණු කළ යුතු බවද, ඒ වෙනුවෙන් රට තුළ නව විශ්වවිද්‍යාල කිහිපයක් ඇති කිරීමට මේ වන විට සාකච්ඡා කරමින් සිටින බවද පසුගියදා පැවති උත්සවයක් අමතමින් ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

පිරමීඩ යෝජනා ක්‍රමවලට සහභාගී වීම දඬුවම් ලැබිය හැකි වරදක් – ශ්‍රී ලංකා මහ බැංකුව

පිරමීඩ යෝජනා ක්‍රමවලට සහභාගී වීම දඬුවම් ලැබිය හැකි වරදක් හෙයින් ඍජුව හෝ වක්‍රව ඒවායේ නිරත වීමෙන් වළකින ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව මහජනතාවට දැනුම්දෙනවා.
අන් අය බඳවා ගැනීම මඟින් ඉක්මණින් පොහොසත් විය හැකි ක්‍රම ලෙස හෝ අන්තර්ජාලය හරහා පහසුවෙන් මුදල් ඉපැයිය හැකි ක්‍රම ලෙස, ඒවා ක්‍රියාත්මක කරන වංචාකරුවන් විසින් මෙම පිරමීඩ යෝජනා ක්‍රම ඉදිරිපත් කරන බවද, ඒවාට නොරැවටී තමන් උපයාගත් මුදල් රැකගන්නා ලෙසද මහ බැංකුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
ප්‍රකට ක්‍රීඩා, ආගමික හෝ විනෝදාශ්වාද අවස්ථා සඳහා අනුග්‍රාහකත්වය දැක්වීම මඟින් ඒවා ක්‍රියාත්මක කරන වංචාකරුවන් යහපත් පුද්ගලයින් සේ සමාජයේ පෙනී සිටීමට උත්සාහ කරන බවද මහ බැංකුව පෙන්වා දෙනවා.
එවැනි යෝජනා ක්‍රම 8 ක් පිළිබඳව මේ වනවිට මහ බැංකුව මාධ්‍ය හරහා ජනතාව දැනුවත් කර ඇති බවද, ඊට අමතරව තවත් පිරමීඩ යෝජනාක්‍රම පැවතිය හැකි අතර ඒවා පිළිබඳව ද මේ වන විට ශ්‍රී ලංකා මහ බැංකුව විමර්ශනය කරමින් සිටින බවද අදාළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙනවා.
නිවේදනය පහතින්.