තලංගම වෙඩි තැබීමකින් පුද්ගලයෙක් මරුට

අද උදෑසන තලංගමදී සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයෙක් මියගොස් තිබෙනවා.

අද උදෑසන තලංගම රොබට් ගුණවර්ධන මාවතේ කොරාඹේ ප්‍රදේශයේදී මෙම වෙඩි තැබීම සිදුව ඇති අතර යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් එම පුද්ගලයාට වෙඩිතබා පළාගොස් තිබෙන බවයි සඳහන් වන්නේ.

අල්ලස් ගත් ලංගම නිලධාරියෙක් අත්අඩංගුවට

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ දියසෙන්පුර ඩිපෝව භාර නිලධාරියා අල්ලස් චෝදනාවක් මත අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අනුව එම නිලධාරියා දියසෙන්පුර ඩිපෝවේ බස්රථ කොන්දොස්තරවරයෙකුගෙන් රුපියල් 60,000ක අල්ලස් මුදලක් ලබාගැනීමට යෑමේදී ඊයේ (24) මැදිරිගිරිය විහාර මාවතේදී අත්අඩංගුවට ගෙන ඇති බවයි සඳහන් වන්නේ.

බස්රථ කොන්දොස්තරවරයා විසින් මගීන්ට ප්‍රවේශපත් නොදීමක් සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයකදී ඔහුව නිදහස් කිරීම සඳහා මෙලෙස අල්ලස් මුදලක් ලබාගැනීමට කටයුතු කර තිබෙනවා.

නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පිළිනොගැනීමට GMOA ඒකමතික තීරණයක්

ඉදිරි කටයුතුවලදී වෛද්‍ය ජී. විජේසුරිය නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් ලෙස පිළිනොගැනීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මධ්‍යම කාරක සභාව ඒකමතිකව තීරණය කර තිබෙනවා.

ඒ අනුව මෙම තීරණය එළඹෙන සතියේදී රාජ්‍ය සේවා කොමිෂන් සභාව වෙත දැනුම්දීමට නියමිත බවයි එම සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ සඳහන් කළේ.

එහිදී වෛද්‍ය ජී. විජේසුරියට එරෙහිව පැමිණිල්ලක් ද සිදුකිරීමට බලාපොරොත්තු වන බවයි කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ වැඩිදුරටත් සඳහන් කළේ.

දුම්රිය විදුලි කාර්මික සේවකයින් සමඟ අද විශේෂ සාකච්ඡාවක්

දුම්රිය විදුලි කාර්මික සේවකයින් සහ දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා අතර විශේෂ සාකච්ඡාවක් අද (25) පැවැත්වීමට නියමිතව තිබෙනවා.

දුම්රිය නියාමකවරයෙකුට පහරදීමේ සිද්ධියකදී දුම්රිය විදුලි කාර්මිකයෙකු අත්අඩංගුවට ගැනීමට විරෝධය පළ කරමින් විදුලි කාර්මිකයින් පිරිසක් හදිසි වෘත්තීය ක්‍රියාමාර්ගයක් ඊයේ (24) සවස දෙවන දිනටත් ආරම්භ කළා.

ඔවුන්ගේ ගැටලු සම්බන්ධයෙන් දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා හමුවී සාකච්ඡා කිරීමට දුම්රිය විදුලි කාර්මික සේවකයින් තීරණය කර තිබෙන බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

ප්‍රදේශ කිහිපයක අද උණුසුම් කාලගුණ තත්ත්වයක්

අද (25) ප්‍රදේශ කිහිපයක් සඳහා උණුසුම් කාලගුණ තත්ත්වයක් පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව උතුරු – මැද, නැගෙනහිර යන පළාත් සහ වවුනියා, මුලතිව්, සහ මොණරාගල දිස්ත්‍රික්ක සඳහා කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් මෙම අවවාදාත්මක නිවේදනය නිකුත් කර ඇති බවයි සඳහන් වන්නේ.

එම ප්‍රදේශවල ජනතාව මේ සම්බන්ධයෙන් විමසිලිමත් වන ලෙසත් ප්‍රමාණවත් ලෙස ජලය පානය කරන ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.

64e7ff7a32b0f 64e7ff7a272d4

පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ වර්ජනය අද උදෑසන අවසන් වෙයි

පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බල මණ්ඩලය ක්‍රියාත්මක කර ඇති දීප ව්‍යාප්ත සංකේත වර්ජනය අද (25) පෙරවරු 8.00 ට අවසන් කරන බව එහි කැදවුම්කරු රවී කුමුදේශ් පවසනවා.

ඒ අනුව ඉල්ලීම් 07ක් මුල් කරගනිමින් ඊයේ (24) උදෑසන 8.00 සිට පැය 24ක කාලයක් වැඩවර්ජනයක් ආරම්භ කිරීමට පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන් තීරණය කර තිබුණා.

මෙම වර්ජනය සඳහා විකිරණ තාක්ෂණවේදීන්, රසායනාගාර විද්‍යාඥ වෘත්තීකයන්, ඖෂධවේදීන්, භෞත චිකිත්සකවරුන් ඇතුළු ක්ෂේත්‍ර කිහිපයක වෘත්තීය සමිති 5 ක් එක්ව සහය දක්වා තිබුණා.

වර්ජනයක් හේතුවෙන් අද දුම්රිය ප්‍රමාදයක්

දුම්රිය විදුලි කාර්මික ශිල්පීන් යළිත් අද (24) දිනයේ හදිසි වර්ජනයක් ආරම්භ කර තිබෙනවා.

මේ හේතුවෙන් දුම්රිය ධාවනය ප්‍රමාදවිය හැකි බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

සක්විති තවත් රුපියල් ලක්ෂ 50ක් අධිකරණය හමුවේ තැන්පත් කරයි

මූල්‍ය ආයතනයක් පවත්වාගෙන ගොස් මහජනතාවගේ මුදල් ලබාගෙන එය සාවද්‍ය පරිහරණය කළේ යැයි චෝදනාවට වරද පිළිගත් සක්විති රණසිංහ මහතා විසින් අද (24) තවත් රුපියල් ලක්ෂ 50ක මුදලක් කොළඹ මහාධිකරණය හමුවේ තැන්පත් කර තිබෙනවා.

ඒ අනුව අදාළ චෝදනාවට වරද පිළිගත් සක්විති රණසිංහ සහ ඔහුගේ බිරිඳ විසින් තැන්පත්කරුවන්ගෙන් ලබා ගත් මුදල්, රුපියල් ලක්ෂ 50 බැගින් වූ වාරික 20කින් ගෙවා අවසන් කරන ලෙස අධිකරණය විසින් නියෝග කර තිබුණා.

ඉකුත් නඩු දිනයේ දී සක්විති රණසිංහ රුපියල් ලක්ෂ 50ක මුදලක් අධිකරණය හමුවේ තැන්පත් කළ අතර නඩුව අද යළි කැඳවූ අවස්ථාවේ දී එහි දෙවන වාරිකය වන තවත් රුපියල් ලක්ෂ 50ක මුදලක් විත්තිකරු විසින් අධිකරණය හමුවේ තැන්පත් කර තිබෙනවා.

ඒ අනුව නඩුවට අදාළ මීළඟ වාරිකය ගෙවීම සඳහා නඩුව නැවත සැප්තැම්බර් මස 22 වනදා කැඳවන ලෙසයි කොළඹ මහාධිකරණ විනිසුරුවරයා නියෝග කර තිබෙන්නේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් රිජ්වේ ආර්යා ළමා රෝහලට

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් රිජ්වේ ආර්යා ළමා රෝහලේ නිරීක්ෂණ චාරිකාවකට අද (24) එක්වී තිබෙනවා.

රිජ්වේ ආර්යා ළමා රෝහලේ ලිට්ල් හාර්ට්ස් ව්‍යාපෘතිය සඳහා සහයෝගය දැක්වීමේ අරමුණින් මෙම චාරිකාව සිදු කළ බවයි ක්‍රිකට් ආයතනය සඳහන් කළේ.

මෙම චාරිකාවේ දී ක්‍රීඩකයින් රෝහලේ හෘද රෝග වාට්ටු ද නිරීක්ෂණය සදහා එක් වූ අතර ක්‍රීඩකයින්ට අමතරව පුහුණුකරුවන් හා කණ්ඩායම් කලමණාකාරීත්වයද මෙම චාරිකාව සඳහා එක්ව තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ‘ලිට්ල් හාර්ට්ස්’ ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 100 ක මුදලක් ද පරිත්‍යාග කර තිබුණා.

64e73f2e8f2d8 64e73f2e7abe9 64e73f2e70c93 64e73f2e60248

පවතින සහල් තොග එළැඹෙන මහ කන්නයේ අස්වැන්න ලැබෙන තුරු ප්‍රමාණවත් – කෘෂිකර්ම ඇමති

පවතින සහල් තොග එළැඹෙන මහ කන්නයේ අස්වැන්න ලැබෙන තුරු ප්‍රමාණවත් බැවින් පිටරටින් සහල් ගෙන්වීමේ කිසිදු අවශ්‍යතාවක් නොමැති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.

ගොවියන්ට අවශ්‍ය පොහොර වර්ග තුනම නිසි වේලාවට ලබාදීම සහ මූල්‍ය සහන ලබා දීම හේතුවෙන් පසුගිය මහ කන්නය සාර්ථක වූ බවත්, නියඟය නොමැති අනෙක් පළාත්වලින් ඉහළ අස්වැන්නක් ලැබුණු බවත් අමාත්‍යවරයා සඳහන් කළා.

“කෘෂි කාර්මික අංශය නවීකරණය කිරීම සහ එහි අභියෝග”  මැයෙන් ජනාධිපති වෘත්තීය සමිති සබඳතා අංශය විසින් ඊයේ (23) ජනාධිපති කාර්යාලයේදී සංවිධානය කර තිබූ විද්වත් හමුව අමතමින් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මේ බව සඳහන් කළා.