අරගලයේ නිරත වූ 13 දෙනෙකු අධිකරණයෙන් නිදොස් කොට නිදහස් කරයි

2022 වසරේ මහජන අරගලය අතරතුර පාර්ලිමේන්තු පිවිසුම අසල විරෝධතාවයේ නිරතව සිට අත්අඩංගුවට පත්ව, පසුව ඇපමත නිදහස්ව සිටි පිරිසක් නිදොස්කොට නිදහස් කිරීමට කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.

එම සමයේ දී රටෙහි පැවැති තත්ත්වයන් සම්බන්ධයෙන් කථානායකවරයා දැනුවත් කිරීම සඳහා සංදේශයක් බාරදීමට යමින් සිටි සමාජ ක්‍රියාකාරීන් 13 දෙනෙකු මෙලෙස තලංගම පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන පසුව මහරගම පොලීසියේ රඳවා තබාගනිමින් අනතුරුව කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කර තිබුණා.

එම අවස්ථාවේදී මෙම සැකකරුවන් 13 වෙනුවෙන් නීතිඥවරුන් එකසිය පනහකට ආසන්න සංඛ්‍යාවක් පෙනී සිටි අතර සංවිධානාත්මකව අයුතු ජනරාශිය ඇති කිරීම, අයුතු ජන රාශියක සාමාජිකයන් වීම, පොලීසියට සහ මහජනතාවට බාධා කිරීම ඇතුළු චෝදනා කිහිපයක් මෙම සැකකරුවන් වෙත එල්ල වී තිබුනා.

වසර දෙකක් පුරාවට මේ සම්බන්ධයෙන් කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයෙහි නඩුව විභාග වූ අතර, එහි අවසන්  තීන්දුව ලබාදෙමින් මෙම සැකකරුවන් 13 දෙනා නිදොස් කොට නිදහස් කිරීමට කඩුවෙල මහේස්ත්‍රාත්වරිය නියෝග කර තිබෙනවා.

ළමා අපයෝජනයක් සිදුකළ ස්වේච්ඡා ගුරුවරයෙකුට වසර දොළහක සිර දඬුවම් නියම කිරීමට නුවරඑළිය මහාධිකරණ විනිසුරු විරාජ් වීරසූරිය මාහතා නියෝග කරයි.

ළමා අපයෝජනයක් සිදුකළ ස්වේච්ඡා ගුරුවරයෙකුට වසර දොළහක සිර දඬුවම් නියම කිරීමට නුවරඑළිය මහාධිකරණ විනිසුරු විරාජ් වීරසූරිය මාහතා නියෝග කරයි.
ළමා අපයෝජන නඩුවකට වරදකරු වූ ස්වේච්ඡා ගුරුවරයෙකු ලෙස කටයුතු කළ පුද්ගලයකුට වසර 12ක බරපතළ වැඩ සහිත සිර දඬුවම් ලබාදීමට (05) දින නුවරඑළිය මහාධිකරණ විනිසුරු විරාජ් වීරසූරිය මහතා නියෝග කළේය .
නෝර්ටන් බ්‍රිජ් පොලිස් වසමට අයත් ක්ලෙන්ටන් ප්‍රදේශයේ පදිංචි රාජරත්නම් කේතීස්වරන් ( වයස අවුරුදු : 37 ) නම් පුද්ගලයෙකුට මෙලෙස වසර දොළහක බරපතළ වැඩ සහිත සිර දඬුවම් නියම කර ඇත ,
පසුගිය දෙදහස් දහය වසරේදී ජනවාරි මාසයේ ක්ලෙන්ටන් ප්‍රදේශයේ පාසලක ස්වේක්ෂා ගුරුවරයකු ලෙස සේවය කල රාජරත්න්ස්ම් කේතීස්වරන් යන පුද්ගලයා පහ ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ බාල වයස්කාර දැරියක් අපයෝජනයට ලක් කිරීම සම්බන්ධයෙන් මෙම නඩුව ගොනු කර තිබිණ ,
උක්ත නඩුව හා සම්බන්ධ නඩු කටයුතු නුවරඑළිය මහාධිකරණය විසින් පසුගිය වසර 13 ක කාලයක් පරිශීලනය කිරීමෙන් අනතුරුව ලැබුණු සාක්ෂි හා තොරතුරු පදනම් කරගනිමින් චෝදනා ලැබූ පුද්ගලයාගේ වරද සාක්ෂි සහිතව ඔප්පු වීමෙන් මෙලෙස වසර 12ක බරපතල වැඩ සහිත සිර දඬුවම් ලබාදීමට නුවරඑළිය මහාධිකරණ විනිසුරු විරාජ් වීරසූරිය මහතා නියෝග කර තිබේ.
තවද වරදකරු වූ පුද්ගලයා විසින් අපයෝජනයට ලක් වූ දැරියට ලක්ෂ පහක වන්දි මුදලක් ගෙවීමටද එම වන්දි මුදල ගෙවීමට අපොහොසත් වුවහොත් තවත් වසර දෙකක සිරදඬුවම් නියම කිරීමට කටයුතු කරන බවද අදාළ නඩු තීන්දුවේ සඳහන් වී ඇත.

ආර්.එෆ්.එම්.සුහෙල් – නුවරඑළිය

කොළඹ විශ්ව විද්‍යාලයේ සිසුන්ගේ විරෝධතාවට ජල සහ කඳුළු ගෑස් ප්‍රහාර

කොළඹ විශ්ව විද්‍යාලයේ සිසුන් විසින් මේ වන විට විරෝධතාවක් ආරම්භ කර ඇති අතර එම විරෝධතාව සඳහා පොලීසියෙන් ජල සහ කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කර තිබෙනවා.

ඒ අනුව නිදහස් අධ්‍යාපනය – නිදහස් සෞඛ්‍යය ඇතුළු පොදු ජන අයිතීන් අහිමි කිරීමට එරෙහිව පෙළගැසෙමු මැයෙන් මෙම විරෝධතාව සංවිධානය කර තිබෙනවා.

මේ හේතුවෙන් කොළඹ විශ්ව විද්‍යාලය ඉදිරිපිට මාර්ගය හදිසියේ වසා දැමීමට පියවර ගෙන ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

කොළඹ පිහිටි දුම්රිය ස්ථාන පිහිටි ගොඩනැගිලි වාණිජ මධ්‍යස්ථාන ලෙස වැඩි දියුණු කිරීමට රජයේ අවධානය

කොළඹ නගරය ආශ්‍රිතව ප්‍රධාන දුම්රිය ස්ථාන පිහිටි ගොඩනැගිලි වාණිජ මධ්‍යස්ථාන වශයෙන් වැඩිදියුණු කිරීමට අදාළ යෝජනාවකට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

වැල්ලවත්ත, බම්බලපිටිය, කොල්ලුපිටිය සහ කොම්පඤ්ඤවීදිය යන දුම්රිය ස්ථාන මෙලෙස වැඩි දියුණු කිරීමේ ඉහළ විභවතාවත් බවතින බව 2023 වර්ෂයේ නොවැම්බර් මස 06 වනදා පැවති කැබිනට් රැස්වීමේදී හඳුනාගෙන තිබූ බවයි සඳහන් වෙන්නේ.

එම දුම්රිය ස්ථාන සහ ඊට අමතරව දෙහිවල සහ ගල්කිස්ස දුම්රිය ස්ථාන රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරීත්ව යටතේ ඉදිකර මෙහෙයුම් කර පවරාදීමේ ක්‍රමවේදය යටතේ සංවර්ධනය කිරීමට අදාළ යෝජනාවකට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

එසේම ඒ සඳහා උනන්දුවක් දක්වන ආයෝජකයින් වෙතින් අභිලාශ ප්‍රකාශ කිරීම් කැඳවීමට අදාළ යෝජනාවට ද අනුමැතිය හිමිව ඇති බවයි වැඩිදුරටත් දැක්වෙන්නේ.

අදාළ කැබිනට් තීරණය පහතින්.

65e6e19a870f4

Ransomware වලට එරෙහිව ශ්‍රී ලංකාවත් එක්වීමට කැබිනට් අනුමැතිය

කප්පම් මෘදුකාංග (Ransomware) වලට එරෙහි ජාත්‍යන්තර සමාරම්භක පියවරට සම්බන්ධ වී ඊට සම්බන්ධ ඉදිරි පියවර ගැනීම පිණිස කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

කප්පම් මෘදුකාංග පිටුදැකීම පිණිස ජාත්‍යන්තර සම්බන්ධීකරණය සඳහා ඇමරිකා එක්සත් ජනපදය විසින් තවත් රටවල් කණ්ඩායමක් සමඟ 2021 වර්ෂයේ දී පොදු වේදිකාවක් වශයෙන් ආරම්භ කරනු ලැබ ඇති කප්පම් මෘදුකාංග වලට එරෙහි ජාත්‍යන්තර සමාරම්භක පියවරට සම්බන්ධ වන ලෙස ශ්‍රී ලංකාවටද ඇරැයුම් ලැබී ඇති බවයි අදාළ කැබිනට් තීරණයේ දැක්වෙන්නේ.

මේ වන විට එම සමාරම්භක පියවර සඳහා ලොව පුරා රටවල් හතළිස් අටක් සහ යුරෝපා සංගමය මෙන්ම ජාත්‍යන්තර පොලිසිය ද සම්බන්ධ වී ඇති බවත් ශ්‍රී ලංකාවද මෑත කාලීනව කප්පම් මෘදුකාංග  හේතුවෙන් විවිධ ගැටලුවලට මුහුණ දී ඇති බැවින් කප්පම් මෘදුකාංග වලට එරෙහි ජාත්‍යන්තර සමාරම්භක පියවරට සම්බන්ධ වීමෙන් ප්‍රතිලාභ අත්කර ගැනීමට හැකිවන බව හඳුනාගෙන ඇති බවයි අදාළ කැබිනට් තීරණයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

අදාළ කැබිනට් තීරණය පහතින්.

65e6de837f0f5

අධි ධාරිතා යතුරුපැදී ලියාපදිංචි ඉල්ලා පාර්ලිමේන්තුවට දැමූ යෝජනාව ස්ථිරයි.

අධි ධාරිතා යතුරුපැදී ලියාපදිංචි ඉල්ලා පාර්ලිමේන්තුවට දැමූ යෝජනාව ස්ථිරයි.

ගල්පාත – චන්දන පෙරේරා

අධි ධාරිතාවයෙන් යුක්ත යතුරු පැදි සඳහා ලියාපදිංචියට අවසර ඉල්ලා කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා අද(5) පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත් කර ඇත.

මෙහිදී අවසර ඉල්ලා ඇත්තේ 1300 ධාරිතාවෙන් යුත් යතුරුපැදි සඳහායි න් මේවන විටත් ලංකාව තුළ අධෘතාවෙන් යුත් යතුරුපැදි 10000කට වැඩි ප්‍රමාණයක් ඇති බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය. පා. මන්ත්‍රී හේෂාන් විතාරණ මහතා යෝජනාව ස්ථිර කලේය.

මියන්මාරයේදී ත්‍රස්තයින්ට කොටුවූ ශ්‍රී ලාංකිකයින් පිරිසක් මුදාගනී

මියන්මාරයේ ත්‍රස්තවාදීන් යටතේ පාලනය වන සයිබර් අපරාධ කඳවුරේ සිටි ශ්‍රී ලාංකිකයින් පිරිසක් මුදාගත් බව එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසනවා.

ඒ අනුව සයිබර් අපරාධ කඳවුරේ සිටි ශ්‍රී ලාංකිකයින් 08 දෙනෙකුගෙන් යුතු පිරිසක් මෙලෙස මුදාගෙන ඇති බවයි වැඩිදුරටත් තොරතුරු වාර්තා වෙන්නේ.

හංවැල්ලේ වෙඩි තැබීමෙන් මන්නා රොෂාන්ගේ සහෝදරයා මරුට

හංවැල්ල, නිරිපොළ ප්‍රදේශයේ අද (04) දහවල් යතුරු පැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවෙකු සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

සංවිධානාත්මක අපරාධකරුවෙක් වන මන්නා රොෂාන් නැමැත්තාගේ සහෝදරයා සහ ඔහුගේ ගෝලයෙකු ගමන් කරමින් සිටි කැබ් රථයකට එලෙස වෙඩි ප්‍රහාරයක් එල්ල වී ඇති බවයි වාර්තා වෙන්නේ.

වෙඩි වැදීමෙන් කැබ් රථයේ ගමන්ගත් පුද්ගලයින් දෙදෙනා රෝහල්ගත කර ඇති අතර, එහිදී එක් අයෙක් මියගොස් ඇති බවත්, එලෙස මියගොස් ඇත්තේ, 31 හැවිරිදි නිරිපොළ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන මන්නා රොෂාන්ගේ සහෝදරයා බවයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ.

ලෝක ස්ථුලතා දිනය අදයි

ලෝක ස්ථුලතා දිනය අද (04) දිනට යෙදී තිබෙනවා.

තරබාරුබව විශාල ප්‍රශ්නයක් ලෙස මතුවෙමින් පවතින බවත්, මේ නිසා ඇතිවෙන ලෙඩ රෝග ප්‍රමාණය ද වැඩිවී ඇති බවයි මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ප්‍රජා වෛද්‍ය විශේෂඥ ශාන්ති ගුණවර්ධන අදහස් පළ කළේ.

ලෝක ජනගහනයෙන් බිලියන 1.9 ක් බර වැඩි පුද්ගලයින් බවත්, ඉන් මිලියන 650 ක් තරබාරු බැවින් පෙළෙන බවත් වෛද්‍යතුමිය පෙන්වා දෙනවා.

බර වැඩි සහ තරබාරු පුරුෂ සංඛ්‍යාව 2021 වසරේදී 30% ක් දක්වා ඉහළ ගොස් තිබුණු බවත්, කාන්තා තරබාරුව 46.7%ක් දක්වා වැඩිවී ඇති බවත්, තරබාරුව වැඩිවීම මගින් බෝ නොවන රෝග ඇති වීමේ අවධානම වැඩි කරන බවයි ඇය වැඩිදුරටත් සඳහන් කළේ.

සෑම වසරකම මාර්තු මස 04 වන දිනය ලෝක ස්ථුලතා දිනය සඳහා වෙන් කර තිබෙනවා.

මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අද අමාත්‍ය මණ්ඩලය හමුවට

මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අද (04) අමාත්‍ය මණ්ඩලය හමුවට කැඳවා තිබෙනවා.

මහ බැංකු සේවකයින් විසින් පසුගියදා වැටුප් වැඩි කර ගැනීමට කටයුතු කර තිබූ අතර ඒ සම්බන්ධයෙන් බොහෝ පාර්ශවවල විවේචන එල්ල වී තිබුණා.

පවතින ආර්ථික අර්බුදකාරී තත්ත්වය හමුවේ මහ බැංකු නිලධාරීන් විසින් එවැනි ආකාරයෙන් වැටුප් ඉහළ නංවා ගැනීම කිසිසේත් අනුමත කළ නොහැකි බව පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් ජනාධිපතිවරයා වෙත පෙන්වා දී ඇති අතර මේ සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා මහ බැංකු ප්‍රධානීන් අද පස්වරුවේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමට කැඳවා ඇති බවයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ.