ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මහලේකම් දයාසිරි ජයසේකරගෙන් නිදහසට කරුණු විමසා එම පක්ෂයේ සභාපතිවරයා විසින් නිකුත් කර තිබෙන ලිපියක් ක්‍රියාත්මක වීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය වාරණ නියෝගයක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව දයාසිරි ජයසේකර විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලක් සලකා බැලීමෙන් අනතුරුව ඔක්තෝම්බර් මස 05 වනදා දක්වා බලපැවැත්වෙන පරිදි කොළඹ දිසා විනිසුරුවරයා විසින් එම වාරණ නියෝගය නිකුත් කර ඇති බවයි සඳහන් වන්නේ.
එවැනි නිදහසට කරුණු ඉල්ලා ලිපියක් යොමු කිරීමට පක්ෂයේ සභාපතිවරයාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ව්‍යවස්ථාව යටතේ බලයක් නොමැති බවයි ඔහු අධිකරණයට පෙන්වා දී ඇත්තේ.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කොළඹ දිසා විනිසුරුවරයා අනතුරුව මෙම වාරණ නියෝගය නිකුත් කළ බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.
Category: news_sub
මැයි 9 හානි වූ බස් රථවලටත් වන්දි ලබාදිය යුතුයි – ගැමුණු
නිවාස හානිවූ මන්ත්‍රීවරුන්ට වන්දි ලබාදෙන්නේ නම් මැයි 9 ගිනිබත් වූ බස් රථවලටද වන්දි ලබාදිය යුතු බව සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසනවා.
අරගලය හේතුවෙන් බස් රථ 50 ක් සම්පූර්ණයෙන් විනාශ වූ බවත් තවත් බස් රථ 50 ක් පමණ අර්ධ වශයෙන් හානි වූ බවයි එහි සභාපති ගැමුණු විජේරත්න සඳහන් කරන්නේ.
රක්ෂණයෙන් ලැබෙන මුදල ප්‍රමාණවත් නොමැති බවත් බස් රථයකට මිලියන 10 බැඟින් බස් රථ 50 ට වැය වන්නේ මිලියන 500 ක් පමණක් වන අතර එය සුළු මුදලක් බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.
ශ්‍රී ලංකා රජය සහ Facebook සමාගම අතර සහයෝගීතාව පුළුල් කර ගැනීමට අවධානය
ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ Facebook මව් සමාගම වන Meta හි ගෝලීය සම්බන්ධතා අංශයේ සභාපති Sir Nick Clegg අතර හමුවක් සිදුව ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.
සමාජ මාධ්‍ය ඔස්සේ පළවන වෛරී ප්‍රකාශ සහ අසත්‍ය ප්‍රචාර මැඩ පැවැත්වීම සඳහා ශ්‍රී ලංකා රජය ගෙන ඇති නව ක්‍රියාමාර්ග පිළිබඳව ජනාධිපතිවරයා මෙහිදී පැහැදිළි කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරන්නේ.
ඒ වෙනුවෙන් ඉදිරියේ දී හඳුන්වාදීමට යෝජිත පනත මඟින්, බලපෑමට ලක්වූවන්ට ශ්‍රේෂ්ඨාධිකරණය හරහා ක්‍රියාමාර්ග ගත හැකි බව ද ජනාධිපතිවරයා පවසා තිබෙනවා.
සම්පූර්ණ නිවේදනය පහතින්.

විශේෂඥ වෛද්‍යවරුන් ලෙස පුහුණු කෙරෙන පිරිස වැඩි කිරීමට තීරණයක්
පුහුණුව සඳහා බඳවා ගන්නා විශේෂඥ වෛද්‍යවරුන්ගේ ප්‍රමාණය වැඩි කිරීමට පියවර ගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා උපදෙස් ලබා දී ඇති බව වැඩබලන නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජී. විජේසූරිය පවසනවා.
ඒ අනුව සාමාන්‍යයෙන් විශේෂඥ වෛද්‍යවරයෙක් පුහුණු කිරීම සඳහා වසර 5ක පමණ කාලයක් ගතවෙන බවත් වසර 5කදී පමණ මෙම ප්‍රශ්නය අනිවාර්යයෙන්ම විසඳීමට හැකියාව ලැබෙන බවයි ඔහු සඳහන් කළේ.
විදේශ පුහුණුව ලැබීමට වෛද්‍යවරු 600ක පමණ පිරිසක් විදේශගතව ඇති බවත් එම පිරිසෙන් යම් පිරිසක් නොපැමිණෙන බවත් 50% ක ප්‍රමාණයක් පැමිණියද පවතින ගැටලුවට යම් විසඳුමක් ලැබෙන බවද වැඩබලන නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළා.
එසේම වයස අවුරුදු 63 සම්පූර්ණ වී විශ්‍රාම ගන්නා විශේෂඥ වෛද්‍යවරුන්ට කොන්ත්‍රාත් පදනම යටතේ සේවය කිරීමටද මේ වන විට අවස්ථාව ලබාදී ඇති බවයි වැඩබලන නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජී. විජේසූරිය වැඩිදුරටත් සඳහන් කළේ.
ප්‍රදේශ කිහිපයකට නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කෙරේ
පවතින වැසි සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ කිහිපයකට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් පළමු අදියරේ නායයෑම් අවදානම් නිවේදන නිකුත් කර තිබෙනවා.
ඒ අනුව ගාල්ල දිස්ත්‍රික්කයේ ඇල්පිටිය හා නාගොඩ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලටත් කළුතර දිස්ත්‍රික්කයේ දොඩම්ගොඩ, අඟලවත්ත, මතුගම, වලල්ලාවිට යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට මෙලෙස නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බවයි සඳහන් වන්නේ.
එසේම කෑගල්ල දිස්ත්‍රික්කයේ දෙහිඕවිට, බුලත්කොහුපිටිය, යටියන්තොට සහ දැරණියගල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලටත් මාතර දිස්ත්‍රික්කයේ පස්ගොඩ සහ පිටබැද්දර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලටත් රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැළියගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයටත් අදියර එක යටතේ විමසිලිමත් බවෙන් සිටින ලෙස නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
හෂීෂ් මත්ද්‍රව්‍ය තොගයක් රේගු භාරයට
මගීන්ගේ ගමන් බඩු අඩංගු බහාලුමක තිබී රුපියල් 16,470,000ක් වටිනා හෂීෂ් වර්ගයේ මත්ද්‍රව්‍ය තොගයක් රේගු නිලධාරීන් විසින් සොයා ගෙන තිබෙනවා.
ඒ අනුව බෙල්ජියමේ සිට මෙරටට ලැබී තිබූ ගමන් මල්ලක තිබී එම මත්ද්‍රව්‍ය තොගය හමු වු බවයි රේගු අධ්‍යක්ෂ සීවලී අරුක්ගොඩ සඳහන් කළේ.
එහි තිබී හෂීෂ් වර්ගයේ මත්ද්‍රව්‍ය කිලෝ 1යි ග්‍රෑම් 98ක් රේගු භාරයට ගෙන ඇති අතර මෙම මත්ද්‍රව්‍ය තොගය වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය වෙත භාරදීමට නියමිතව තිබෙනවා.
ජනපති සහ බංග්ලාදේශ අගමැතිනිය අතර හමුවක්
ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ බංග්ලාදේශ අගමැතිනි ෂෙයික් හසීනා අතර නිල හමුව ඊයේ (19) නිව්යෝර්ක් නුවරදී සිදුවී තිබෙනවා.
දකුණු ආසියානු කලාපීය රටවල් දෙකක් ලෙස දෙරට අතර සහයෝගීතාව පුළුල් කර ගැනීමේ වැදගත්කම මෙහිදී රාජ්‍ය නායකයෝ දීර්ඝ ලෙස සාකච්ඡා කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරන්නේ.
පසුගිය කාලයේ බංග්ලාදේශයෙන් ලබාගත් ණය, මෙතරම් කෙටි කාලයකදී ගෙවා නිම කිරීමට ශ්‍රී ලංකාවට හැකි වනු ඇතැයි තමා නොසිතූ බව මෙහිදී බංග්ලාදේශ අගමැතිනිය ජනාධිපතිවරයා සමඟ පවසා ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කරනවා.
නිවේදනය පහතින්.

Online ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත ගැසට් කෙරේ
මාර්ගගත (Online) ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත මහජන ආරක්ෂක අමාත්‍යවරයාගේ නියමය අනුව ගැසට් මඟින් ප්‍රකාශයට පත්කර තිබෙනවා.
ඒ අනුව මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ කොමිෂන් සභාව පිහිටුවීම, යම් ප්‍රකාශයක් හෝ සිද්ධියක් මාර්ගගත ලෙස සන්නිවේදනය කිරීම තහනම් කිරීම, තහනම් කාර්යයන් සඳහා මාර්ගගත ගිණුම් සහ ව්‍යාජ මාර්ගගත ගිණුම් භාවිත කිරීම වැළැක්වීම ඇතුළු කාරණා කිහිපයක් මෙහි ඇතුළත් බවයි සඳහන් වන්නේ.
මෙම ගැසට් නිවේදනයට අනුව ජනාධිපතිවරයා විසින් පත් කරනු ලබන පංච පුද්ගල කොමිෂන් සභාවක් යෝජිතව ඇති අතර එහි සාමාජිකයෙකුගේ ධුර කාලය වසර තුනක් බවද සඳහන්.
මෙම කොමිෂන් සභාවේ බලතල අතරට යම් තහනම් ප්‍රකාශයක් මගින් අහිතකර බලපෑමකට ලක්ව ඇති පුද්ගලයින්ට ඊට ප්‍රතිචාර දැක්වීමට අවස්ථාවක් ලබාදෙන ලෙස නියම කිරීම, තහනම් ප්‍රකාශයක් වෙත පරීශිලකයින්ට ප්‍රවේශ වීමේ අවස්ථාව අක්‍රීය කරන ලෙස හෝ එම ප්‍රකාශය ඉවත් කරන ලෙස අන්තර්ජාල ප්‍රවේශ සේවා සපයන්නට හෝ අතරමැදියන්ට දැන්වීම් නිකුත් කිරීම, අධිකරණයට අපහාස විය හැකි හෝ අධිකරණයේ බලය අපපක්ෂපාතී ලෙස පවත්වාගෙන යාමට අගතිගාමී විය හැකි සන්නිවේදනයන් පිලිබඳ සලකා බැලීම සඳහා උචිත අධිකරණයක් වෙත යොමු කිරීම ඇතුළු බලතල රැසක් ඇතුළත්.
අන්තර්ජාලය හරහා සිදුකරන ක්‍රියාකාරකම් රැසක් වැරදි වශයෙන් මෙම පනත් කෙටුම්පතින් අර්ථ නිරූපනය කර ඇති අතර සිද්ධි පිළිබඳ අසත්‍ය ප්‍රකාශ සන්නිවේදනය කිරීම, අපහාසයට හේතුවන අසත්‍ය ප්‍රකාශ සිදු කිරීම, අසත්‍ය ප්‍රකාශ මගින් කැරලි ගැසීමක් සිදු කිරීම සඳහා නිකරුණේ ප්‍රකෝප කරවීම, අසත්‍ය ප්‍රකාශ මගින් ආගමික් රැස්වීමකට බාධා කිරීම, ආගමික හැඟීම් නිග්‍රහයට පාත්‍ර කිරීම සඳහා ඒකාන්තයෙන් සහ ද්වේශ සහගත ලෙස අසත්‍ය ප්‍රකාශයක් සන්නිවේදනය කිරීම, කැරැල්ලක් හෝ රජයට විරුද්ධව වරදක් ආදිය සිදුකිරීමට සැලැස්වීමේ චේතනාවෙන් අසත්‍ය ප්‍රකාශයක් සංසරණය කිරීම, ළමා අපයෝජන ඇතුළු වැරදි රැසක් මෙහි අර්ථ නිරූපනය කර තිබෙනවා.
මෙම පනත යටතේ වරදක් සිදු කර ඇති තැනැත්තෙකුට බන්ධනාගාරගත කිරීමකට හෝ දඩයකට යටත් කිරීම සහ එම දඩුවම් දෙකටම යටත් කරනු ලැබිය හැකි බවද වැඩිදුරටත් සඳහන්.
උසස් පෙළ විභාගය පැවැත්වීම සම්බන්ධයෙන් යෝජනාවක්
ඉදිරියේදී පැවැත්වීමට නියමිත උසස් පෙළ විභාගය සම්බන්ධයෙන් විභාග කොමසාරිස්වරයා විසින් ප්‍රකාශයක් නිකුත් කරනු ඇති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් පවසනවා.
ඒ අනුව විපක්ෂයෙන් යොමුකළ පැනයකට පිළිතුරු ලබාදෙමින් අධ්‍යාපන අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී මේ බව සඳහන් කර තිබෙනවා.
මෙහිදී යෝජනාවක් ඉදිරිපත් කරමින් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනී රෝහිණී කවිරත්න සඳහන් කළේ, නොවැම්බර් මාසයේ උසස් පෙළ විභාගය නොපවත්වා පාසල් තෙවන වාරය 2024 ජනවාරි 19 වනදා දක්වා පැවැත්වුවහොත් එම පාසල් වාරය අවසන් කළ හැකි බවයි.
ඉන් පසුව උසස් පෙළ විභාගය ජනවාරි 22 ආරම්භ කර පෙරවාරි 17 දක්වා පවත්වා අවසන් කළ හැකි බවත් පෙරවාරි 19 වැනිදා 2024 පළමු පාසල් වාරය ආරම්භ කළ හැකි බවයි මන්ත්‍රීවරිය පෙන්වා දෙන්නේ.
එයට පිළිතුරු ලබාදෙමින් අධ්‍යාපන අමාත්‍යවරයා සඳහන් කළේ, මෙම යෝජනාව විභාග කොමසාරිස්වරයා වෙත යොමු කරන බවත් ඒ සම්බන්ධයෙන් තීරණය විභාග කොමසාරිස්වරයා විසින් ප්‍රකාශයක් සිදුකරනු ඇති බවයි.
ආර්ථිකය ඍණවීමට බලපා ඇති කරුණු පිළිබඳව රජය වැඩි අවධානයක් යොමුකර තිබෙනවා – රංජිත් සියඹලාපිටිය
ආර්ථිකය ඍණවීමට බලපා ඇති කරුණු පිළිබඳව රජය වැඩි අවධානයක් යොමුකර ඇති බව වැඩබලන මුදල් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.
ඒ අනුව වැඩිම අඩුවීම සිදුවී ඇත්තේ ඉදිකිරීම් කර්මාන්තයේ බවත් මේ හේතුවෙන් රජය කර්මාන්ත ක්ෂේත්‍රයේ ඉදිකිරීම් ද්‍රව්‍ය හැකි තරම් සුලභ කර මිල අඩු කිරීමට අවධානය යොමුකරන බවද වැඩබලන මුදල් අමාත්‍යවරයා සඳහන් කළා.
බැංකු කටයුතු සංකෝචනයවීමට බලපෑ ප්‍රධාන කාරණයක් වන්නේ පොලී අනුපාත වන අතර මහ බැංකුව මැදිහත්වී පොලී අනුපාත අඩුකිරීමට කටයුතු කරන බවත් මෙහි ධනාත්මක තත්ත්වයක් ඉදිරියේදී දැකගැනීමට හැකිවනු ඇති බවද වැඩිදුරටත් සඳහන් කළා.
මෙම වසරේ පළමු කාර්තුවට වඩා දෙවන කාර්තුවේ දී ආර්ථිකයේ හැකිළීම අඩු මට්ටමක පවතින බව සඳහන් කළ වැඩබලන මුදල් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය වැඩිදුරටත් සඳහන් කළේ, තුන්වෙනි කාර්තුව සහ හතරවෙනි කාර්තුව ඊට වඩා හොඳ තැනකට යන්න රජය බලාපොරොත්තු වන බවයි
