ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවල පාසල් දින දෙකක් වසා දැ​මීමට තීරණයක්

පවත්නා අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සියලූම පාසල් දින දෙකක් වසා තැබීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව එළැඹෙන ඔක්තෝබර් මස 9 වන සඳුදා දින හා 10 වන අඟහරුවාදා දිනවල එම දිස්ත්‍රික්කවල සියලූම පාසල් වසා තැබීමට නියමිතයි.

දකුණු පළාත් ආණ්ඩුකාර ආචාර්ය විලී ගමගේ සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුව එම තීරණය ගෙන ඇති බවයි සඳහන් වන්නේ.

ඊශ්‍රායලය හා පලස්තීනය අතර යළිත් දරුණු ගැටුම් ඇතිවෙයි

ඊශ්‍රායලය හා පලස්තීනය අතර යළිත් දරුණු ගැටුමක් හටගෙන තිබෙනවා.

ඒ අනුව ගාසා තීරයේ වෙසෙන සාමාන්‍ය වැසියන් වහාම සිය වාසස්ථාන වලින් ඉවත් කරන්නැයි ඊශ්‍රායලය අනතුරු ඇගවීමක් නිකුත් කර තිබෙනවා.

හමාස් සටන්කාමීන් ඉලක්ක කර දරුණු ප්‍රහාර මාලාවක් එල්ල කිරීමට සූදානම්වන බැවින් ඊට පෙර ආරක්ෂිත ස්ථාන කර යොමුවන ලෙසයි ඊශ්‍රෘයලය ගාසා වැසියන්ට දැනුම් දී ඇත්තේ.

ඊයේ දිනයේදීද ඊශ්‍රායලය ගාසා තීරය ඉලක්ක කර ප්‍රහාර මාලාවක් එල්ල කළ අතර ඉන් ගාසා වැසියන් 230කට අධික පිරිසක් මිය ගොස් තිබෙන අතර තවත් 2,000කට ආසන්න පිරිසක් තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

එසේම ඊශ්‍රායලය ඉලක්ක කර හමාස් සටන් කාමීන් අනපේක්ෂිත ලෙස එල්ල කළ ප්‍රහාර හමුවේ මිය ගිය ඊශ්‍රායල වැසියන්  සංඛ්‍යාව 250 ඉක්මවා ඇති අතර තවත් දහසකට අධික පිරිසක් තුවාල ලබා ඇතැයි වාර්තා වන්නේ.

මේ අතර, හමාස් සංවිධානය විසින් ඊශ්‍රායලයේ ටෙල්අව්යු නුවරට රොකට් ප්‍රහාර 150ක් පමණ එල්ල කර ඇතැයි විදෙස් මාධ්‍ය පවසනවා.

දේශසීමා හරහා ඇතුලු වුණු හමාස් සටන් කාමීන් සිය ගණනක් ඊශ්‍රායලයේ ස්ථාන 22ක පමණ තවදුරටත් රැඳී සිටින බවත් ඔවුන් සොයා ඊශ්‍රායල හමුදාව ප්‍රභල මෙහෙයුමක් දියත් කර ඇති බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළා.

ගිංගඟ ආශ්‍රිත පවුල් 276ක් ආරක්ෂිත ස්ථානවලට යොමු කෙරේ

බද්දේගම ප්‍රදේශයේ ගිංගඟ ආශ්‍රිත පහත් බිම්වල වෙසෙන පවුල් 276ක් වහාම ආරක්ෂිත ස්ථාන වෙත යොමුකර තිබෙනවා.

ගිංගඟේ ජල මට්ටම බද්දේගම ප්‍රදේශයෙන් ඉහළ ගොස් ඇති බැවින් පහත් බිම් ප්‍රදේශ යට වීමේ අවදානම හේතුවෙන් ඊයේ (07) රාත්‍රියේ අදාළ ජනතාවට ඉවත් වන ලෙසට දිස්ත්‍රික් ලේකම් ශාන්ත වීරසිංහ දැනුම්දී තිබුණා.

එසේම නිල්වලා ගඟ මාතර ගල් බැම්ම ප්‍රදේශයෙන් පිටාර ගලමින් පවතින අතර, මේ හේතුවෙන් මාතර නගරය ඇතුළු ග්‍රාමසේවා වසම් 16කට පමණ බලපෑම් එල්ල විය හැකි බව මාතර දිස්ත්‍රික් ලේකම් වයි.වික්‍රමසිරි සඳහන් කළා.

මාතර දිස්ත්‍රික්කයේ පවතින ආපදා තත්වය හේතුවෙන් පුද්ගලයන් 65,000ක පමණ පිරිසක් පීඩාවට පත් ව සිටින බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

මාස දහයක් තුළ අනතුරු 1,638 ක් වාර්තා වෙයි

ගෙවුණු මාස 10 තුළ රිය අනතුරු 1,638ක් සිදුවී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව පවසනවා.

එම අනතුරුවලින් මරණ 1,733 ක් මියගොස් ඇති අතර වාර්තා වූ මරණවලින් වැඩිම සංඛ්‍යාවක් මියගොස් ඇත්තේ පදිකයින් වන අතර එම ගණන 540ක් බවද ඔහු සඳහන් කළා.

එසේම යතුරුපැදිකරුවන් 543ක් මියගොස් ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.

ඒ අනුව රියදුරන්ගෙන් සහ පදිකයන්ගෙන් මාර්ගයේ ගමන් කරන විට අවධානයෙන් ගමන් කරන ලෙස ඉල්ලා සිටින බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව වැඩිදුරටත් සඳහන් කළේ.

සනත් නිශාන්ත කඩිමුඩියේ නාමල්ගේ විදුලි බිල ගෙව්වේ ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් නිසා – නලීන් හේවගේ

නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ විවාහ මංගල්‍යයට අදාළ විදුලි බිල සනත් නිශාන්ත රාජ්‍ය අමාත්‍යවරයා විසින් හදිස්සයේ ගෙවන ලද්දේ ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කර ඇති නඩුවක් නිසා බව ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික නලීන් හේවගේ පවසනවා.

නීතිඥවරයෙකු විසින් ගොනු කර ඇති අදාළ නඩුව ලබන මස 06 වනදා ශ්‍රේෂ්ඨාධිකරණයේ විමසීමට භාජනය කිරීමට නියමිත බවද, එම නිසා ඊට පෙර බිල ගෙවා දැමූ බවද ඔහු පෙන්වා දෙනවා.

එම නඩුවට අදාළ සිතාසි මේ වන විට නාමල් රාජපක්ෂ මන්ත්‍රිවරයා ඇතුළු මෙම වංචාවට සම්බන්ධ සැමට මේ වන විට යවා ඇති බවද ඔහු සඳහන් කරනවා.

මාතර ප්‍රදේශ කිහිපයකට ගංවතුර සම්බන්ධයෙන් රතු නිවේදනයක් නිකුත් කෙරේ

ඉදිරි පැය 24 තුළ නිල්වලා ගං ද්‍රෝණියට ගංවතුර තත්ත්වයක් සම්බන්ධයෙන් රතු නිවේදනයක් වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.

නිල්වලා ගං ද්‍රෝණියට ඉදිරි පැය 24 ක කාලය තුළ මිලිමීටර 100 කට වඩා වැඩි තද වැසි ඇතිවිය හැකි බවට අනතුරු ඇඟවා ඇති අතර එසේ වැසි තත්ත්වයක් ඇති වුවහොත් නිල්වලා  ඟඟේ විශාල ගංවතුර ආරක්ෂණ බැමි ඇතැම් ස්ථානවලින් උතුරා යා හැකි බවයි සඳහන් වන්නේ.

මේ හේතුවෙන් මාතර කඹුරුපිටිය, මාලිම්බඩ, තිහගොඩ, අතුරලිය සහ අකුරැස්ස යන ප්‍රදේශීය ලේකම් කොට්ඨාසවල පහත් බිම්වලට විශාල ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බැවිත් ඒ සම්බන්ධයෙන් අවධානයෙන් කටයුතු කරන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.

652000f8211ffpdf_page_2 652000f811b3fpdf_page_1 652000f7aba68pdf_page_0

ඉදිරි කාලගුණ තත්ත්වය සම්බන්ධයෙන් දැනුම්දීමක්

නිරිත දිග මෝසම සක්‍රීයවීම හේතුවෙන් දිවයිනේ නිරිතදිග කොටසේ පවතින වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වලත් මහනුවර හා නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර 100 කට වඩා වැඩි තද වැසි ඇතිවීමේ හැකියාව පවතිනවා.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.

651ffae1c69d6

ඉන්දික තොටවත්ත අත්අඩංගුවට

ජ්‍යෝතිර්වේදි ඉන්දික තොටවත්ත පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ආගමික ඇදහිලි සහ විශ්වාසයන්ට අපහාස කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඔහුව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි සඳහන් වන්නේ.

ඩුප්ලිකේෂන් පාර යළි විවෘත කෙරේ

කොල්ලුපිටියේ ඩුප්ලිකේෂන් මාර්ගය වාහන ගමනාගමනය සඳහා යළි විවෘත කර තිබෙනවා.

කොල්ලුපිටිය ලිබර්ටි හන්දිය අසලදී බස් රථයක් මතට ගසක් කඩා වැටීම හේතුවෙන් ඩුප්ලිකේෂන් මාර්ගය වසා දැමීමට කටයුතු කර තිබුණා.

හෙට කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 15 ක ජල කප්පාදුවක්

හෙට (07) දිනයේ කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.

ඒ අනුව හෙට (07) දිනයේ කොළඹ 11, 12, 13, 14 සහ 15 යන ප්‍රදේශවලට පස්වරු 5.00 සිට ඉරිදා (08) උදෑසන 8.00 දක්වා පැය 15 ක කාලයක් ජල සැපයුම අත්හිටුවීමට නියමිත බවයි සඳහන් වන්නේ.

අඹතලේ ජල සැපයුම වැඩිදියුණු කිරීමේ බලශක්ති සංරක්ෂණ ව්‍යාපෘතිය මගින් සිදුකෙරෙන අත්‍යවශ්‍ය වැඩිදියුණු කිරීමේ කටයුත්තක් හේතුවෙන් මෙම ජල සැපයුම අත්හිටුවන බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.