යුද හමුදාවේ පිරිසකට උසස්වීම්

ශ්‍රී ලංකා යුද හමුදාවේ 74 වන සංවත්සරය වෙනුවෙන් ශ්‍රී ලංකා යුද හමුදාවේ නිලධාරීන් පිරිසකට උසස්වීම් ලබාදී තිබෙනවා.

ඒ අනුව ආරක්ෂක අමාත්‍යාංශයේ නිර්දේශ මත ශ්‍රී ලංකා යුද හමුදාවේ නිලධාරීන් 314 දෙනෙකුට සහ සෙසු නිලයන් 1,565 දෙනෙකුට උසස්වීම් ලබාදී ඇති බවයි සඳහන් වන්නේ.

මේජර් ජෙනරාල් නිලයට බ්‍රිගේඩියර්වරුන් 07ක්, බ්‍රිගේඩියර් නිලයට කර්නල්වරුන් 12ක්, කර්නල් නිලයට ලුතිනන් කර්නල්වරුන් 37ක්, ලුතිනන් කර්නල් නිලයට මේජර්වරුන් 41ක්, මේජර් නිලයට කපිතාන්වරුන් 50ක් (මේජර්වරුන් ඇතුළුව) ලුතිනන්වරුන් 84 දෙනෙකු කපිතාන් නිලයට (ක්වාටර් මාස්ටර් ඇතුළුව) සහ දෙවන ලුතිනන්වරුන් 83 දෙනෙකු ලුතිනන් (සාමාන්‍ය බලසේනාව සහ ස්වේච්ඡා බළකා) නිලයට උසස් කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

ගාල්ල සහ මාතර පාසල් හෙට යළි විවෘත වෙයි

ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සියලුම රජයේ පාසල් හෙට (11) සිට යළි විවෘත කරන බව දකුණු පළාත් අධ්‍යාපන ලේකම්වරයා පවසනවා.

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දින දෙකක් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක සඳහා නිවාඩු ලබාදීමට තීරණය කර තිබුණා.

ඩිෆෙන්ඩර් රථ අනතුරකින් STF නිලධාරින් දෙදෙනෙක් මරුට

වව්නියාව, වෙලිකුලම ප්‍රදේශයේදී සිදුවු රිය අනතුරකින් පොලිස් විශේෂ කාර්ය බළකා කොස්තාපල්වරු දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඩිෆෙන්ඩර් රථයේ රියදුරු ලෙස කටයුතු කළ පොලිස් කොස්තාපල්, උප පොලිස් පරීක්ෂකවරයෙක්, පොලිස් සැරයන්වරු දෙදෙනෙක් තුවාල ලබා වව්නියාව රෝහලේ ප්‍රතිකාර ලබන බවයි පොලීසිය සඳහන් කළේ.

පොලිස් විශේෂ කාර්ය බළකා ඩිෆෙන්ඩර් රථය මාර්ගයේ රැඳී සිටි කිරි ගවයෙකුගේ ගැටී රියදුරුට පාලනය කර ගත නොහැකිව මාර්ගයෙන් ඉවතට ලිස්සා ගොස් තාප්පයක ගැටීමෙන් එම අනතුර සිදුව තිබෙනවා.

අනතුරෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, කුරුණෑගල සහ මැදවච්චිය ප්‍රදේශවල පදිංචි 29 හා 31 හැවිරිදි පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුරට අයත් කොස්තාපල්වරු දෙදෙනෙක් බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

වාහන හැර අනෙකුත් සියළු ආනයන සීමා ඉවත් කිරීමට තීරණයක්

ආනයන සීමා පනවා තිබු වාහන හැර සියලුම භාණ්ඩවල ආනයන සීමා ඉවත් කිරීමට තීරණය කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

ඒ අනුව ඊට අදාළ ගැසට් නිවේදනය නිකුත් කිරීමට නියමිතව ඇති බවයි සඳහන් වන්නේ.

ආනයන සීමා පනවා තිබූ HS කේත 250ක භාණ්ඩ සඳහා මෙම සීමා ඉවත් කිරීම සිදු කිරීමට නියමිත අතර ආර්ථිකය තවත් පුළුල් කිරීම සඳහා මෙම ආනයන සීමා නිදහස් කළ බවයි රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

ඊශ්‍රායල – පලස්තීන ගැටුම්වලින් මියගිය සංඛ්‍යා​ව තවදුරටත් ඉහළට

ඊශ්‍රායලය සහ පලස්තීනය අතර පවතින යුද ගැටුම්වලින් මේ වන විට පුද්ගලයින් 1,100 ක් පමණ මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එසේම ප්‍රහාර හේතුවෙන් තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.

මේ අතර ඊශ්‍රායලයේ පැවති සංගීත ප්‍රසංගයකට හමාස් සටන්කාමීන් විසින් ප්‍රහාරයක් එල්ල කර ඇති අතර එහිදී පුද්ගලයින් 260 ක් පමණ මියගොස් ඇති බවද සඳහන් වනවා.

දෙපාර්ශවය අතර පවතින ගැටුම මේ වන විට උග්‍ර අතට පත්වී ඇති අතර මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයද රැස්වීමට නියමිතයි.

ප්‍රවීණ රංගධර ජැක්සන් ඇන්තනීගේ දේහය පිළිබ​ඳ අවසන් කටයුතු ලබන බ්‍රහස්පතින්දා

අභාවප්‍රාප්ත වූ ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු එළැඹෙන බ්‍රහස්පතින්දා සිදුකිරීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව එදින සවස 3.00 ට රාගම ශුද්ධවූ පේදුරු හා පාවුළු දේවස්ථානයේ දී අවසන් කටයුතු සිදුකරන බවයි පවුලේ ඥාතීන් දැනුම් දෙන්නේ.

“පනා පුත්‍ර කුහුඹු පැණියා” හෙවත් හෙළ සිනමාවේ අසහාය රංගන පෞරුෂය ලෙස හැඳින්වෙන ජැක්සන් ඇන්තනී අද (09) අලුයම අභාවප්‍රාප්ත වුණා.

රංගන ශිල්පියෙක්, ගේය පද රචකයෙක්, ගායකයෙක්, ලේඛකයෙක්, නිවේදකයෙක් මෙන්ම ඉතිහාස විශ්ලේෂකයෙකු ලෙස සිය ප්‍රතිභාපුර්ණ හැකියාව පෙන්නුම් කළ ඔහු හොඳම නළුවාට හිමි සම්මානය වාර්තාගත ලෙස 16 වතාවක් දිනාගෙන තිබෙනවා.

නෙවිල් ඩයස් සුබසිංහගේ ‘වාරුවෙන් යන මිනිසුන්’ සහ ‘මානවයෝ’ මෙන්ම ඊ.එම්.ඩී.උපාලිගේ ‘මෙතනින් මාරුවෙනු’ නාට්‍යයේත් ඔහු රංගනයෙන් දායක වූ අතර ‘මරාසාද්’ , ‘මධුර ජවනිකා’ , ‘ලෝම හංස’ , ‘ධවල භීෂණ’ , ‘ඇත්’ , ‘මෝරා’ වැනි ජනප්‍රිය වේදිකා නාට්‍ය රැසකටද ඔහු සිය දායකත්වය ලබාදී තිබෙනවා.

1993 දී ඔහු සිනමාවට පිවිසෙන ඔහු ගුරු ගෙදර, අයෝමා, ලොකු දුව, භව දුක, භව කර්ම, ගිනි අවි සහ ගිනි කෙළි, අස්වැසුම, අග්නි දාහය, සූරිය අරණ, මිල්ලේ සොයා සහ රන්දිය දහර වැනි චිත්‍රපටවලින් තම රංග ප්‍රතිභාව ප්‍රදර්ශනය කළා.

මහ කන්නයේ පොහොර බෙදාහැරීම අද සිට

ඉදිරි මහ කන්නයට අවශ්‍ය යූරියා පොහොර අද (09) සිට බෙදාහැරීම ආරම්භ කරන බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසනවා.

ඒ අනුව අද සිට යූරියා පොහොර මෙට්‍රික් ටොන් 21,000ක් බෙදාහැරීමට නියමිත අතර කිලෝ ග්‍රෑම් 50ක යූරියා පොහොර මිටියක් රුපියල් 9,000ක මුදලකට අලෙවි කිරීමට නියමිත බවයි සඳහන් වන්නේ.

එම පොහොර සියලු ගොවිජන සේවා මධ්‍යස්ථාන වෙතින් මිල දී ගැනීමට අවස්ථාව සලසා දී ඇති බව කෘෂිකර්ම අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කළේ.

අයහපත් කාලගුණයෙන් පුද්ගලයින් 71,320 කට බලපෑම්

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක රැසක පවුල් 18,898 කට අයත් පුද්ගලයින් 71,320 දෙනෙකුට බලපෑම් එල්ල වී ඇති බව ආපදා කළමණාකරන මධ්‍යස්ථානය පවසනවා.

ඒ අනුව රත්නපුර, කෑගල්ල, කොළඹ, කළුතර, ගම්පහ, මාතර, ගාල්ල, නුවරඑළිය, පුත්තලම, කුරුණෑගල, යාපනය සහ මඩකලපුව යන දිස්ත්‍රික්කවලට වර්ෂාව හේතුවෙන් බලපෑම් එල්ල වී ඇති බවයි සඳහන් වන්නේ.

ආපදාවට ලක්වු පවුල් 555කට අයත් පුද්ගලයින් 1,910 දෙනෙකු මේ වන විට ආරක්ෂිත ස්ථාන 16ක රඳවා ඇති අතර ආපදා තත්ත්වය හේතුවෙන් නිවාස 12කට පුර්ණ හානි සිදු වී ඇති අතර නිවාස 1,004ක් අර්ධ වශයෙන් හානියට පත්ව ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

IMF වාර්ෂික සමුළුව අද ආරම්භ වෙයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වාර්ෂික සමුළුව අද (09) මොරොක්කෝවේදී ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව මේ සඳහා රටවල් රැසක මුදල් අමාත්‍යවරුන්, මහ බැංකු අධිපතිවරුන් ඇතුළු නිලධාරීන් රැසක් එක්වීමට නියමිතයි.

සමුළුවට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ, මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, මුදල් අමාත්‍යංශ ලේකම් මහින්ද සිරිවර්ධන ඇතුළු පිරිසක් සහභාගීවීමට නියමිතව තිබෙනවා.

ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී අභාවප්‍රාප්ත වෙයි

ජ්‍යෙෂ්ඨ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී මහතා අද (09) අලුයම අභාවප්‍රාප්ත වී තිබෙනවා.

ඔහු රිය අනතුරකට ලක්ව මාස 14 ක් පමණ කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියා.

මිය යන විට ඔහු 65 වන වියේ පසු වුණා.