විදෙස් ණය ප්‍රතිව්‍යුහගතකරණය ගැන පෞද්ගලික ණය හිමියන්ගෙන් යෝජනාවක්

ඩොලර් බිලියන 12ක විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ පුද්ගලික ණයහිමියන් පිරිසක් මෙරට බලධාරීන් වෙත යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා.

ඒ අනුව රොයිටර්ස් පුවත් සේවය වාර්තා කරන පරිදි, නව බැඳුම්කරයක් ද එම යෝජනාවට ඇතුළත්ව ඇති බවයි සඳහන් වන්නේ.

මේ තුළින් එම නව බැඳුම්කරය මගින් අනාගතයේදී ආර්ථිකය යම් අර්බුදයකට ලක් වුවහොත් ණය ගෙවීමේ කටයුතු පහසු කිරීමට අපේක්ෂා කරන බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

පරිසර අමාත්‍යාංශය ජනපති යටතට

පරිසර අමාත්‍ය ධුරය ජනාධිපති රනිල් වික්‍රමසිංහ යටතට ගනිමින් අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබෙනවා.

හිටපු පරිසර අමාත්‍ය නසීර් අහමඩ්ගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසිවීම හේතුවෙන් පරිසර අමාත්‍ය ධුරයේ පුරප්පාඩුවක් ඇතිව තිබෙනවා.

දක්ෂිණ අධිවේගී මාර්ගයේ වසා දැමුණු කොටස යළි විවෘත වෙයි

නායයාමක් හේතුවෙන් වසා දැමුණු දක්ෂිණ අධිවේගී මාර්ගයේ පින්නදූව සහ ඉමදූව අතර කොටස අද (13) පස්වරු 6.00 ට යළි විවෘත කරන බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසනවා.

ඒ අනුව කොළඹ සිට හම්බන්තොට දෙසට වම්පස මංතීරු 02 පමණක් දෙපසටම ගමන්කළ හැකි අයුරින් වාහන ගමනා ගමනය සඳහා විවෘත කරන බවයි මාර්ග සංවර්ධන අධිකාරිය සඳහන් කළේ.

එහි දකුණු පස මංතීරු 02 තවදුරටත් වාහන ගමනාගමනය සඳහා වසා තැබෙන බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

ඩිජිටල්කරණයට ප්‍රවේශ වීමට රටේ සෑම පුද්ගලයෙකුටම අවකාශ තිබිය යුතුයි – ජනපති

රටේ සිදුවෙමින් පවතින ඩිජිටල්කරණයට ප්‍රවේශවීමට සෑම පුද්ගලයෙකුටම අවකාශ තිබිය යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

ඒ සඳහා අවශ්‍ය මූලික ඩිජිටල් යටිතල පහසුකම් පුද්ගලික අංශය විසින්, පුද්ගලික ආයෝජන මගින් සපයා ගත යුතු අතර පුද්ගලික අංශයට ළඟා විය නොහැකි අවස්ථාවන්ට රජය මැදිහත් විය යුතු බව රජයේ මෙන්ම තමාගේද අදහස බවයි ජනාධිපතිවරයා සඳහන් කළේ.

මෙම ඩිජිටල්කරණයට අවශ්‍ය ඩිජිටල් යටිතල පහසුකම් සපයා ගැනීමට සිදුව ඇත්තේ ආර්ථික අර්බුදය හමුවේ රජයේ සම්පත් සීමා වී ඇති පසුබිමක බවයි 2023 ජාතික තොරතුරු තාක්ෂණ සම්මන්ත්‍රණයේ  (NITC – 2023)  ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස එක් වෙමින් ජනාධිපතිවරයා සඳහන් කළේ.

ඊශ්‍රායලයෙන් ගාසා තීර​යේ වැසියන්​ට අනතුරු ඇඟවීමක්

ගාසා තීරයේ උතුරු කොටසේ සිටින සියලුදෙනා ඉදිරි පැය 24ක කාලය තුළ ගාසා තීරයේ දකුණු දෙසට යා යුතු බවට ඊශ්‍රායලය අනතුරු අඟවා තිබෙනවා.

ඒ අනුව ගාසා තීරයේ උතුරු කොටසේ මිලියන 1.1 ක පමණ ජනගහනක් ඇති අතර ඔවුන් සියලු දෙනාට සිය නිවෙස් අතහැර දකුණු ගාසා තීරයට යාමට සිදුවන බවයි එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසන්නේ.

ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලින් පලස්තීනුවන් 1,537 ක් මිය ගොස් 6,612 ක් තුවාල ලබා ඇති අතර, ඊශ්‍රායලයේ මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 1300 දක්වා ඉහළ ගොස් ඇති බවයි සඳහන් වන්නේ.

ජනපති හෙට නිල සංචාරයක් සඳහා චීනයට යයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ හෙට (14) නිල සංචාරයක් සඳහා චීනය බලා පිටත්ව යෑමට නියමිතව තිබෙනවා.

ජනාධිපතිවරයා එහිදී ඔක්තෝබර් 17 සහ 18 පැවැත්වෙන සමුළුවකටද සහභාගීවීමට නියමිත බවයි සඳහන් වන්නේ.

මෙම සංචාරයේදී ජනාධිපතිවරයා  මෙරට ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙල සම්බන්ධයෙන් චීන රජය සමග සාකච්ඡා පැවැත්වීමට සැලසුම් කර ඇති අතර චීන ජනාධිපති ෂී ජින් පිං සමග විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමටද නියමිතයි.

වාහන ආනයනයට අවසර ලබාදීම ගැන සාකච්ඡා කරනවා – වෙළඳ ඇමති

වාහන ආනයනය කිරීමට අවසර ලබාදීම සඳහා වු ප්‍රතිපත්ති මේ වනවිට සම්පාදනය කර ඇති බව වෙළෙඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු පවසනවා.

අදාළ ප්‍රතිපත්ති කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බවත් කැබිනට් මණ්ඩලයේදී ද මේ සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කරන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

පොදු සහ ප්‍රවාහන කටයුතු, සංචාරක කටයුතු සඳහා අවශ්‍ය වාහන ගෙන්වීමට පසුගිය කාලයේ අවසර දෙන බවට ප්‍රකාශ කළ බවත් ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපත්තිය මේ වනවිට සෑදීමට කටයුතු කර ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

ඊශ්‍රායලයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට අවශ්‍ය සහන සැලසීමට විශේෂ වැඩපිළිවෙළක්

ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර ඇතිවී තිබෙන දරුණු ගැටුම්කාරී තත්ත්වය හමුවේ ඊශ්‍රායලයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගේ ජීවිතාරක්ෂාව ඇතුළු හදිසි අවශ්‍යතා සම්බන්ධව විශේෂ අවධානයකින් කටයුතු කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.

ඒ අනුව මේ වනවිටත්  ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ මෙරට රජයේ වගකිවයුතු අංශ එක්ව ඊශ්‍රායලයේ වෙසෙන ශ්‍රී ලාංකික ජනතාවගේ අවශ්‍යතා සම්බන්ධව ගත හැකි උපරිම මැදිහත්වීම සිදුකිරීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාවට නංවා ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

එහිදී ඊශ්‍රායලයේ රැකියාවල නියුතු හෝ වෙනත් කරුණක් වෙනුවෙන් රැඳී සිටින ශ්‍රී ලාංකිකයන් හට තම ජීවිත පිළිබඳ අවධානමක් මතුව ඇත්නම් ඒ සම්බන්ධව හෝ වෙනත් දුෂ්කරතා කිසිවක් ඇත්නම් ඒ පිළිබඳව සෘජුව මෙරට බලධාරීන් දැනුවත් කිරීම සඳහා පහසුකම් සළසා තිබෙනවා.

ඒ අනුව (+94) 117966396 යන දුරකථන අංකය, (+94) 767463391 යන WhatsApp අංකය හෝ opscenga@gmail.com යන Email ලිපිනය හරහා සිය අවශ්‍යතා ඉදිරිපත් කිරීමේ හෝ අවශ්‍ය තොරතුරු දැනගැනීමේ හැකියාව පවතින අතර පිළිගත් ආගමන විගමන පටිපාටිය ඔස්සේ මෙන්ම වෙනත් කවර හෝ  ක්‍රමයක් ඔස්සේ ඊශ්‍රායලයේ රැඳී සිටින ඕනෑම ශ්‍රී ලාංකිකයකු හට මෙම සේවාව ලබා ගැනීමට හැකියාව තිබෙන බවයි රජය  අවධාරණය කරන්නේ.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.

6527d73a8e044pdf_page_0

මාතර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින අපේක්ෂයින්ට දැනුම්දීමක්

අයහපත් කාලගුණයෙන් බලපෑම් එල්ල වී ඇති මෙවර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින සිසුන්ට මාතර ආපදා කළමනාකරණ ඒකකය විසින් විශේෂ දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

එම ප්‍රදේශයේ දරුවන්ට සහ විභාග කාර්ය මණ්ඩලයට පවතින කාලගුණ තත්ත්වය මත විභාග මධ්‍යස්ථාන වෙත ගමන් කිරීමට අපහසුතා ඇත්නම් මේ මස 14 වන දිනට පෙර ඒ පිළිබඳ දැනුවත් කරන ලෙසයි එම ඒකකය ඉල්ලා සිටින්නේ.

ඒ අනුව දුරකථන අංක 0412 234 134  හෝ ක්ෂණික දුරකථන අංක 117 ඔස්සේ මාතර ආපදා කළමනාකරණ ඒකකය දැනුවත් කරන ලෙස මාතර ආපදා කළමනාකරණ ඒකකය වැඩිදුරටත් සඳහන් කරනවා.

හමාස් සංවිධානය මිහිපිටින් අතුගා දැමීමට කටයුතු කරනවා – ඊශ්‍රායලය

හමාස් සංවිධානය මිහිපිටින් අතුගා දැමීමට කටයුතු කරන බව ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍යවරයා ප්‍රතිඥාවක් ලබාදී තිබෙනවා.

ඊශ්‍රායල අග්‍රමාත්‍යවරයා සහ විපක්ෂ නායකවරයා එක්ව පවතින තත්ත්වයට මුහුණදීම සඳහා අන්තර්වාර රජයක් පිහිටුවීමට කටයුතු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ඊශ්‍රායලය සහ පලස්තීනය අතර පවතින යුද ගැටුම් ආරම්භ වී 6 වන දිනය වන විට පලස්තීනුවන් 1100 ක් හා ඊශ්‍රායල වැසියන් 1200 ක් පමණ මියගොස් ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

දෙරට අතර ගැටුම් තවදුරටත් පවතින අතර ප්‍රහාර හේතුවෙන් මේ වන විට අවතැන්ව සිටින සංඛ්‍යාව ලක්ෂ 3 ඉක්මවා ඇති අතර ඉන්ධන අවසන්වීම හේතුවෙන් ගසා තීරයේ බලාගාරයක් සම්පූර්ණයෙන් අක්‍රීයවී තිබෙනවා.

ගසා තීරයට ඉන්ධන ජලය හා ආහාර වැනි මූලික අවශ්‍යතා සපුරා ගැනීමට බාධා නොකරන ලෙස එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා ඉල්ලීමක්ද සිදුකර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කරන්නේ.