ධනුෂ්ක ගුණතිලකගේ ක්‍රිකට් තහනම ඉවත් කෙරේ

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට පනවා තිබූ තහනම සම්පූර්ණයෙන් ඉවත් කිරීමට ඒ සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කළ කමිටුව නිර්දේශ කර තිබෙනවා.

ඔහුට එරෙහිව එල්ලවූ චෝදනා හේතුවෙන් ඔහුගේ සියලු ක්‍රිකට් ක්‍රියාකාරකම් අත්හිටුවීමට මීට පෙර තීරණය කර තිබුණා.

ඔහුගේ නිදොස් කිරීම සහ ඔහුගේ ක්‍රිකට් දිවිය සහ ක්‍රිකට් අභිලාෂය කෙරෙහි එහි බලපෑම පිළිබඳව නිසි සැලකිල්ලක් දක්වමින් මෙය විමර්ශනය කළ කමිටුව විසින් ඔහුගේ තහනම ඉවත් කිරීමට ඒකමතිකව නිර්දේශ කර තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක කමිටුව 2023 ඔක්තෝම්බර් 13 වැනි දින පැවති රැස්වීමේදී මෙම නිර්දේශය අනුමත කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

කාසල් රෝහ​ලේ සය නිවුන් දරු උපතක්

කොළඹ, කාසල් වීදියේ කාන්තා රෝහලෙන් සය නිවුන් දරු උපතක් වාර්තා වී තිබෙනවා.

ඒ අනුව රාගම ප්‍රදේශයේ පදිංචි මවක් මෙලෙස පිරිමි දරුවන් 6 දෙනෙකු බිහි කර ඇති බවයි සඳහන් වන්නේ.

බිළිදුන් හයදෙනාම යහපත් සෞඛ්‍ය තත්වයේ පසුවන බවද රෝහල් අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් සඳහන් කළා.

කොළඹ මාර්ග කිහිපයක රථ වාහන තදබදයක්

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් කොළඹ මාර්ග කිහිපයක දැඩි රථවාහන තදබදයක් හටගෙන තිබෙනවා.

ඒ අනුව පාර්ලිමේන්තු මාර්ගය සහ තවත් මාර්ග කිහිපයක එලෙස රථවාහන තදබදයක් හටගෙන ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

විදුලි ගාස්තු වැඩි කිරීමට අදාළ යෝජනාවේ උපකල්පනවල පරස්පරතා ගැන මහජන උපයෝගීතා කොමිසම පෙන්වාදෙයි

විදුලි ගාස්තු වැඩිකිරීම සඳහා විදුලිබල මණ්ඩලය විසින් කරන ලද උපකල්පනවල වෙනස්වීම් පවතින බැවින් විදුලි ගාස්තු සම්බන්ධයෙන් නවතම දත්ත ඉදිරිපත් කරන ලෙස මහජන උපයෝගිතා කොමිෂන් සභාව විදුලිබල මණ්ඩලයට දැනුම්දී තිබෙනවා.

සැප්තැම්බර් මාසය සඳහා දිනකට ගිගා වොට් පැය 44.70 ක විදුලි ඉල්ලුමක් ලැබෙනු ඇති බව තක්සේරු කළද සැබෑ ලෙසම ඉදිරිපත්ව ඇති ඉල්ලුම ගිගා වොට් පැය 41.01ක් බවයි මහජන උපයෝගීතා කොමිසම පෙන්වා දෙන්නේ.

ගල් අඟුරු කිලෝග්‍රෑමයක මිල රුපියල් 68.60ක සිට රුපියල් 52.60ක් දක්වා අඩු වී ඇති බවද සිය ලිපිය මඟින් එම කොමිසම විදුලිබල මණ්ඩලයට දැනුම්දී තිබෙනවා.

මේ හේතුවෙන් විදුලිබල මණ්ඩලය ඉදිරිපත් කර ඇති යෝජනාවේ උපකල්පනය, දත්ත සමඟ නොගැලපෙන බැවින් ඔක්තෝබර් 18 වනදාට පෙර නවතම දත්ත ඉදිරිපත් කරන ලෙසයි විදුලිබල මණ්ඩලයට වැඩිදුරටත් දැනුම්දී ඇත්තේ.

652dda92e64c1pdf_page_0

අනුරාධපුර දිස්ත්‍රික් කාර්යාලයෙන් රියදුරු බලපත්‍ර නිකුත් කිරීම දින දෙකක​ට අත්හිටුවයි

අනුරාධපුර දිස්ත්‍රික් කාර්යාලයෙන් රියදුරු බලපත්‍ර නිකුත් කිරීම අද (16) සහ හෙට (17) යන දින දෙක සඳහා තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව එම කාර්යාලයේ සිදුකරනු ලබන හදිසි නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙම පියවර ගන්නා බවත් මේ හේතුවෙන් අද සහ හෙට එම කාර්යාලයෙන් රියදුරු බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවා ඇති බවයි සඳහන් වන්නේ.

එදින සේවාවන් ලබා ගැනීමට වේලාවක් වෙන් කරගත් සේවාලාභීන් සඳහා ඔවුන් කැමති වෙනත් දිනයක සේවාවන් ලබා ගත හැකි බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.

ගාසා තීරයේ රෝහල්වල ඉන්ධන ඉදිරි පැය 24 තුළ අවසන් වනු ඇති බවට UN අනතුරු අඟවයි

ඉදිරි පැය 24 තුළ ගාසා තීරයේ සියලුම රෝහල්වල ඉන්ධන සංචිත අවසන් වුවහොත් රෝගීන් දහස් ගණනකගේ ජීවිත අවදානමකට ලක් වන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසනවා.

ජලය, ආහාර, බලය සහ ඖෂධ හිඟය හේතුවෙන් ගාසා තීරයේ මිනිසුන්ගේ තත්ත්වය නරක අතට හැරෙමින් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.

හමාස් සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් ගොඩබිම් ප්‍රහාරයක් එල්ල කිරීම සඳහා සූදානමින් ඊශ්‍රායල හමුදා ගාසා තීරය ආසන්නයේ තවදුරටත් රැදී සිටින බවයි සඳහන් වන්නේ.

මේ වන විට ඊශ්‍රායලය සහ පලස්තීනය අතර ගැටුම්වලින් ඊශ්‍රායලයේ 1,400 කට වැඩි පිරිසක් මියගොස් ඇති අතර ගාසා තීරයේ පුද්ගලයින් 2,450 කට වැඩි පිරිසක් මිය ගොස් ඇත. සුන්බුන් අතර පුද්ගලයින් 1000 ක් පමණ අතුරුදහන්වී ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

සැකකරුවෙක් පොලිස් වෙඩි ප්‍රහාරයකින් මරුට

කඳාන ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබිමේ සිද්ධීන්වලට සම්බන්ධ සැකකරුවෙකු පොලීසිය සමඟ ඇති වූ වෙඩි හුවමාරුවකදී මියගොස් තිබෙනවා.

සැකකරු සපුගස්කන්ද ප්‍රදේශයේ කුලී නිවසක රැඳී සිටින බවට ලද තොරතුරක් මත කඳාන පොලීසියේ නිලධාරීන් කණ්ඩායමක් සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා අදාළ ප්‍රදේශයට ගොස් ඇති බවයි සඳහන් වන්නේ.

නිවස වටලා සැකකරු අත්අඩංගුවට ගැනීමට යාමේ දී සැකකරු විසින් නිවස තුළ සිට පොලීසියට වෙඩි ප්‍රහාර කිහිපයක් එල්ල කර ඇති අතර එහිදි පොලීසිය ද ප්‍රතිප්‍රහාර එල්ල කර ඇත. එම ප්‍රහාරවලින් සැකකරු මියගොස් ඇති බවයි කඳාන පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ.

දකුණේ පාසල් වාර විභාග අද ආරම්භ වෙයි

ගංවතුර තත්ත්වය හේතුවෙන් කල් දැමූ දකුණු පළාතේ පාසල් වල දෙවන වාර පරීක්ෂණ අද (16) ආරම්භ කෙරෙන බව පළාත් අධ්‍යාපන ලේකම් රංජිත් යාපා පවසනවා.

ඒ අනුව තවමත් ගංවතුර පවතින ප්‍රදේශවලට අයත් පාසල් වල පමණක් වාර පරීක්ෂණය එම තත්ත්වය පහව ගිය පසු පවත්වන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

පසුගියදා ඇති වූ ගංවතුර තත්ත්වය හේතුවෙන් දකුණු පළාතේ පාසල් දින දෙකක් සඳහා නිවාඩු ලබාදීමට කටයුතු කර තිබුණා.

ජනපති චීනයේ සිව් දින නිල සංචාරයක් සඳහා දිවයිනෙන් පිටව යයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ නිල සංචාරයක් සඳහා චීනය බලා පිටත්ව ගොස් තිබෙනවා.

ඒ අනුව චීනයේ පැවැත්වෙන ජාත්‍යන්තර සහයෝගීතාව සඳහා වන 03 වන “එක් තීරයක් – එක් මාවතක්” සමුළුව සඳහා සහභාගි වීමට ජනාධිපතිවරයා මෙලෙස දිවයිනෙන් පිටව ගොස් ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

මෙම සංචාරයේදී ජනාධිපතිවරයා චීන ජනාධිපතිවරයා ඇතුළු පිරිසක් හමුවීමට නියමිත අතර ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළ සම්බන්ධයෙන්ද සාකච්ඡා කිරීමට නියමිතයි.

ශිෂ්‍යත්ව විභාගය අද

05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අද පැවැත්වීමට නියමිත ව තිබෙනවා.

මෙවර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සඳහා අපේක්ෂකයන් 337,956 දෙනෙකු පෙනී සිටීමට නියමිත බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

විභාගය, මධ්‍යස්ථාන 2888ක දී පැවැත්වීමට නියමිත අතර, ඒ සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති බවයි විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර වැඩිදුරටත් සඳහන් කළේ.