ඔක්තෝම්බර් මුල් දින 15 තුළ දී විදෙස් සංචාරකයින් 50,000 ක් දිවයිනට

2023 ඔක්තෝම්බර් මාසයේ මුල් දින 15 තුළ දී විදෙස් සංචාරකයින් 50,395 ක් මෙරටට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා.

ඒ අනුව 2023 ඔක්තෝම්බර් 15 වන දින වන විට මෙරටට පැමිණ ඇති සමස්ත සංචාරකයින් සංඛ්‍යාව 1,066,651 ක් බවයි එම අධිකාරිය සඳහන් කළේ.

2023 ඔක්තෝම්බර් මාසයේ මුල් දින 15 තුළ දී පැමිණ ඇති සමස්ත සංචාරකයින්ගෙන් 12,252 ක් ඉන්දීය සංචාරකයින් වන අතර රුසියාවෙන් 4,554ක් , එක්සත් රාජධානියෙන් 4,008ක් , චීනයෙන් 3,269ක් සහ ජර්මනියෙන් 3,180ක් ලෙස පැමිණ ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

අදාළ වාර්තාව පහතින්.

6530b03c1d8b6 6530b03bc4c35

IMF සමඟ කාර්යමණ්ඩල මට්ටමේ එකඟතාවකට කඩිනමින් එළැඹිය හැකි වේවි – ෂෙහාන් සේමසිංහ

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ කාර්යමණ්ඩල මට්ටමේ එකඟතාවකට ඉක්මනින් එළැඹිය හැකි බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ පවසනවා.

ඒ අනුව මොරොක්කෝවේ පැවති ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකු වාර්ෂික රැස්වීම්වල දී මෙරට ආර්ථික ප්‍රකෘතිය සහ තිරසරභාවය පිළිබඳ දීර්ඝ වශයෙන් සාකච්ඡා වූ බවයි සිය X ගිණුමේ සටහනක් තබමින් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.

එම කටයුතු වේගවත් කිරීමට අවශ්‍ය සහයෝගීතාව වැඩි කරගැනීම සඳහා එම සාකච්ඡාවල දී අවධානය යොමු කළ බවයි ෂෙහාන් සේමසිංහ රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

අදාළ සටහන පහතින්.

6530bc0e9b27b

18% ක ගාස්තු වැඩිවීමක් ප්‍රමාණවත් – විදුලිබල මණ්ඩලය

විදුලිබල මණ්ඩලය පුරෝකථනය කළ රුපියල් බිලියන 32 ක අලාභය පියවීම සඳහා පවතින තත්ත්වය හමුවේ 18% ක විදුලි ගාස්තු වැඩිවීමක් ප්‍රමාණවත් බව එම මණ්ඩලය පවසනවා.

මීළඟ සංශෝධනය එළඹෙන ජනවාරි මාසයට යෙදී තිබියදී, මේ මාසයේ සිට යළිත් 22% ක ගාස්තු වැඩිවීමක් හෝ විදුලි ඒකකයක් රුපියල් 8කින් වැඩි කිරීමක් මීට පෙර විදුලි බල මණ්ඩලය ඉල්ලා තිබුණා.

එම වැඩිවීම ලබාදීමට නම් සංශෝධිත වාර්තාවක් යොමු කරන ලෙස මහජන උපයෝගීතා කොමිසම විදුලිබල මණ්ඩලයට දැනුම්දී තිබූ අතර, මහජන අදහස් ලබා ගැනීමෙන් අනතුරුව විදුලිබල මණ්ඩලය සඳහන් කර ඇත්තේ 18% ක ගාස්තු වැඩිවීමක් ප්‍රමාණවත් බවයි.

විදුලිය, ඉන්ධන සහ සෞඛ්‍ය තවදුරටත් අත්‍යාවශ්‍ය සේවා කරමින් ගැසට් නිවේදනයක්

සේවා කිහිපයක් අත්‍යාවශ්‍ය සේවා ලෙස ප්‍රකාශයට පත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව විදුලි සැපයුමට සම්බන්ධ සියලුම සේවාවන්, ඛනිජ තෙල් නිෂ්පාදනය සහ ඉන්ධන සැපයීම හෝ බෙදාහැරීම තවදුරටත් අත්‍යාවශ්‍ය සේවා බවට පත්කර තිබෙනවා.

එසේම රෝහල්වල, සාත්තු නිවාසවල, බෙහෙත් ශාලාවල සහ අනෙකුත් රෝගීන්ගේ නඩත්තුව, පිළිගැනීම , රැකවරණය, පෝෂණය සහ ප්‍රතිකාර කිරීම සම්බන්ධයෙන් අවශ්‍ය හෝ කළ යුතු ඕනෑම කාර්යයක් තවදුරටත් අත්‍යාවශ්‍ය සේවා වන බවයි වැඩිදුරටත් අදාළ ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ.

අදාළ ගැසට් නිවේදනය පහතින්.

652f60b1a6495pdf_page_0

ඇස් රෝග පැතිරයාමේ අවදාන​ම තවදුරටත්

පාසල් ළමුන් අතර සීඝ්‍රයෙන් ඇස් රෝග පැතිරයාමේ අවදානම තවදුරටත් පවතින බව ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා පවසනවා.

ඒ අනුව රෝගය වැළඳුන දරුවන් පෙර පාසැල් සහ පාසැල් වෙත යොමු නොකිරීම මඟින් මෙම රෝගී තත්ත්වය පාලනය කර ගැනීමට හැකියාවක් ලැබෙන බවයි ඔහු සඳහන් කළේ.

මෙහි රෝග ලක්ෂණ ලෙස ඇස් රතුවීම, ඇස් බොඳවීම, කඳුළු ගැලීම, උණ සහ හිසරදය වැනි රෝග ලක්ෂණ ඇතිවන බවත් මෙය ඉතාම ශීඝ්‍රයෙන් බෝවන බවයි වෛද්‍යවරයා පෙන්වා දෙන්නේ.

ඇස් රෝගය වැළඳුන පුද්ගලයෙක් තමන්ගේ ඇස් ස්පර්ශ කර යම් ස්ථානයක් ඇල්ලීමෙන් පසු එම ස්ථානයම නිරෝගී පුද්ගලයෙක් ස්පර්ශ කර තමන්ගේ ඇස් ස්පර්ශ කළහොත් මෙය බෝවන බවයි විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා වැඩිදුරටත් සඳහන් කළේ.

විදුලි ගාස්තු සංශෝධනය ගැන ජනතා අදහස් ලබා ගැනීම අද

විදුලි ගාස්තු සංශෝධනයට අදාළව ජනතාවගේ අදහස් සහ යෝජනා වාචිකව ලබාගැනීම අද (18) සිදුකෙරෙන බව මහජන උපයෝගීතා කොමිසම පවසනවා.

ඒ අනුව කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී පෙරවරු 9.00 සිට එය පැවැත්වෙන බවයි සඳහන් වන්නේ.

ජනතාවට විදුලි ගාස්තු සංශෝධනයට අදාළ යෝජනා ලිඛිතවද එම කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කිරීමේ හැකියාව ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

ගාසා තීරයේ රෝහලකට එල්ල වූ ගුවන් ප්‍රහාරයකින් පුද්ගලයින් 500 ක් මරුට

ගාසා තීරයේ රෝහලකට එල්ලවූ ප්‍රහාරයකින් පුද්ගලයින් 500 ක් පමණ මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මියගිය පිරිස අතර කාන්තාවන්, ළමුන් ඇතුළු වෛද්‍යවරුන්ද සිටින අතර තවත් පිරිසක්ද තුවාල ලබා ඇති බවයි සඳහන් වන්නේ.

මෙම ප්‍රහාරය පාර්ශව රැසකගේ දැඩි විවේචනයට පත්ව තිබෙන අතර ඔවුන් සඳහන් කරන්නේ මෙය වචනයෙන් කිව නොහැකි තරම් බිහිසුණු අපරාධයක් බවත්, එය යුද අපරාධයක් බවයි.

කෙසේ නමුත් ඊශ්‍රායලය සඳහන් කරන්නේ තමන් විසින් මෙම ප්‍රහාරය එල්ල නොකළ බවත් පලස්තීනයේම වෙනත් පාර්ශවයක් විසින් එල්ල කර ඇති බවයි.

652f615be9136 652f615be1e53 652f615b26373

දකුණු ලෙබනනයේ සිටින ශ්‍රී ලාංකිකයින්ට දැනුම්දීමක්

දකුණු ලෙබනනයේ සේවයේ නිරතව සිටින සියලු ශ්‍රී ලාංකිකයින් වෙත එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

ඒ අනුව දකුණු ලෙබනනයේ සිටින ශ්‍රී ලාංකිකයින් තමන්ගේ නම සහ දුරකථන අංක හැකි ඉක්මණින් එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වෙත දැනුම්දෙන ලෙසයි තානාපති කාර්යාලය ඉල්ලා සිටින්නේ.

ඒ අනුව 70386754, 71960810 යන දුරකථන අංක දෙකට Whatsapp පණිවිඩයක් හෝ slemb.beirut@mfa.gov.lk යන විද්‍යුත් ලිපිනයට යොමු කරන ලෙසයි වැඩිදුරටත් දැනුම් දෙන්නේ.

ජනපති චීනයේ Huawei සමාගමේ නිරීක්ෂණ චාරිකාවක

ශ්‍රි ලංකාවේ මෘදුකාංග හා දෘඩාංග ඉංජිනේරුවන් වාර්ෂිකව බිහි කිරීමේ අධ්‍යයන වැඩසටහනක් වෙනුවෙන් සහාය ලබාදීමට තම සමාගම සූදානම් බව චීනයේ හුවාවි (Huawei) සමාගමේ නියෝජ්‍ය සභාපති සයිමන් ලින් (Simon Lin) පවසනවා.

තම සමාගම දැනටමත් තාක්ෂණ හා යටිතල පහසුකම් සැපයිමේ කාර්යයට අමතරව ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල කිහිපයක් සමගම අධ්‍යයන කාර්යයන්ට සම්බන්ධ ආධාර උපකාර සැපයීමේ ක්‍රියාවලියක් ආරම්භ කර තිබෙන බවයි ඔහු සඳහන් කළේ.

චීනයේ සිව් දින නිල සංචාරයක නිරත ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ දූත පිරිස අද (17) පෙරවරුවේ බීජිං නුවර හුවාවි සමාගමේ පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානයේ සංචාරයක නිරත වූ අතර එහිදී සයිමන් ලින්ග් මේ බව සඳහන් කළා.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ සඳහන් කළේ තමන් මෙවර හුවාවි කේන්ද්‍රස්ථානයට පැමිණියේ ශ්‍රී ලංකාවේ අනාගතය පිළිබඳව සාකච්ඡා කිරීමට බවත් ඩිජිටල් අධ්‍යාපන ක්‍රමවේදය සහ හරිත බලශක්ති නිෂ්පාදනය සම්බන්ධයෙන් චීන රජයේ මෙන්ම හුවාවි සමාගමේ සහාය ද ශ්‍රී ලංකාවට ඉතා වැදගත් බව ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.

652e60ae563ebpdf_page_0

අයහපත් කාලගුණ තත්ත්වය ඉදිරි දින කිහිපයේත් පැවතිය හැකියි – කාලගුණ දෙපාර්තමේන්තුව

පවතින අයහපත් කාලගුණ තත්ත්වය ඉදිරි දින කිහිපයේත් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව දහවල් 2.00 පමණ පසු වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

අයහපත් කාලගුණ තත්ත්වයත් සමඟ සුළං තත්ත්වයේ සහ අකුණුවල වැඩිවීමක් අපේක්ෂා කරන බවයි වැඩිදුරටත් සඳහන් කළේ.