රැජිණි සෙල්වනායගම් අභාවප්‍රාප්ත වෙයි

මෙරට ජ්‍යේෂ්ඨතම නර්තනවේදිනියක් වන කලාශූරී රැජිණි සෙල්වනායගම් මහත්මිය අභාවප්‍රාප්ත වී තිබෙනවා.

ඇය රෝගාතුරව සිටියදී අභාවප්‍රාප්ත වී ඇති අතර මියයනවිට ඇය 71 වන වියේ පසුවුණා.

ශ්‍රී ලංකාවේ දැනට සිටින ජ්‍යෙෂ්ඨතම නර්තන ආචාර්යවරිය වන රැජිණි සෙල්වනායගම් කලාකීර්ති සහ විශ්වකලා කීර්ති සම්මානවලින්ද පිදුම් ලබා තිබෙනවා.

ලබන වසරේ සිට දෛනික ඉන්ධන මිල සංශෝධන ක්‍රමයක්

දෛනිකව ඉන්ධන මිල ගණන් තීරණය කෙරෙන මිල සූත්‍ර ක්‍රමයක් හඳුන්වාදීමට සැලසුම් කර ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

ඒ  අනුව 2024 වසරේ පෙබරවාරි මාසයේ සිට එම ක්‍රමය හඳුන්වාදීමට කටයුතු කරන බවයි උත්සවයක් අමතමින් අමාත්‍යවරයා සඳහන් කළේ.

රජය විසින් නිවේදනයක් නිකුත් කරනවාට වඩා ඉන්ධන බෙදා හරින ආයතන විසින්ම ඔවුන්ට පාඩුවක් නොවන ආකාරයට ස්වයංක්‍රීයව සිදුවන මෙම ක්‍රමවේදය හඳුන්වාදීමට බලාපොරොත්තු වන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

ලබන වසරේ ජනාධිපතිවරණය පැවැත්වීමට කටයුතු කරනවා – ජනපති

Smart රටක් ලෙස ශ්‍රී ලංකාව ගොඩනඟමින් රටේ ආර්ථිකය ඉහළට ඔසවා තැබීම තම අරමුණ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමෙන් අනතුරුව ව්‍යවස්ථාවට අනුව ලබන වසරේ ජනාධිපතිවරණය පැවැත්වීමට කටයුතු කරන බවයි එක්සත් ජාතික පක්ෂයේ විශේෂ මහා සම්මේලනය අමතමින් ජනාධිපතිවරයා සඳහන් කළේ.

ඉන් අනතුරුව පාර්ලිමේන්තු මැතිවරණය ද පවත්වා 2025 මුල් භාගයේ දී පළාත් සභා මැතිවරණය ද පැවැත්වීමට හැකි වනු ඇති බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.

6534716631ed1pdf_page_0

6534716649a62pdf_page_1

ඔන්ලයින් ආරක්ෂණ පනත් කෙටුම්පත ගැන තීන්දුව කතානායකට යොමු කරයි

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ඔන්ලයින් ආරක්ෂණ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනුකර තිබූ පෙත්සම් විභාගය අවසන් කර තිබෙනවා.

ඒ අනුව එහි රහසිගත තීන්දුව කතානායකවරයා වෙත යොමුකර ඇති බවයි ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල සඳහන් කළේ.

සමාජ මාධ්‍යයේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සඳහා බලපෑම් කිරීමට අදාළව ඔන්ලයින් ආරක්ෂණ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් පෙත්සම් රැසක් ඉදිරිපත්වී තිබුණා.

විදුලි ගාස්තු වැඩි කිරීමට සියලු දෙනා එරෙහි විය යුතුයි – ඇල්ලේ ගුණවංශ හිමි

විදුලි ගාස්තු වැඩි කිරීමට සියලු දෙනා එරෙහිවිය යුතු බව පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් පවසනවා.

රජයේ එකම විසඳුම වන්නේ වැඩි කිරීම බවත් රටේ දේශපාලඥයින් සිදුකරන පරිත්‍යාග කුමක්ද යන්න ගැටලුවක් පවතින බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් උන්වහන්සේ සඳහන් කළේ.

මෙම ගාස්තු වැඩි කිරීම සම්බන්ධයෙන් යළි සලකා බලන ලෙස රජයෙන් ඉල්ලා සිටින බවත් ජනතාවගේ ඉවසීමේ සීමාව ඉක්මවා යමින් ඇති බවයි පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් වැඩිදුරටත් සඳහන් කළේ.

IMF දෙවන වාරිකය සඳහා කාර්යමණ්ඩල මට්ටමේ එකඟතාවයකට පැමිණෙයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකා බලධාරීන් සමඟ කාර්යමණ්ඩල මට්ටමේ එකඟතාවයකට පැමිණි බව එම අරමුදල පවසනවා.

ඒ අනුව ශ්‍රී ලංකාවට ලබාදෙන විස්තීර්ණ ණය පහසුකමට අදාළව ක්‍රියාවට නංවා ඇති වැඩසටහන පිළිබඳ සිදුකරන ලද පළමු සමාලෝචනයෙන් පසුව මෙම එකඟතාවට පැමිණ ඇති බවයි සඳහන් වන්නේ.

මේ යටතේ අමෙරිකානු ඩොලර් මිලියන 330 ක් හිමිවන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැඩිදුරටත් සඳහන් කරනවා.

මේ ර​​ටේ සියලු සම්පත් ආණ්ඩුව සමඟ බද්ධ වූ කුඩා කණ්ඩායමක් භුක්ති විඳිනවා – අනුර දිසානායක

රට තුළ ඇති සියලු සම්පත් ආණ්ඩුව සමඟ බද්ධ වූ කුඩා කණ්ඩායමක් විසින් භුක්ති විඳිමින් සිටින බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පවසනවා.

මහජනතාව රෝහල්වල බෙහෙත් නොමැතිව මිය යන සමයක සහ ජනගහණයෙන් 68% ක් වේල් තුන ආහාර ගැනීමේ දුෂ්කරතාවලින් පෙළෙන සමයක, කෙතරම් අර්බුධ මධ්‍යයේ වුවද එම කුඩා කණ්ඩායම ඉතාමත් සුඛ විහරණ සහිත ජීවිත ගත කරන බවද ඔහු පෙන්වා දෙනවා.

ජාතික ජන බලවේගයේ පාලනයක් තුළ රටේ ආර්ථිකය ප්‍රසාරණය කර, සෑම පුරවැසියෙකුටම ආර්ථිකයට ප්‍රවිෂ්ට වීම සඳහා ඇති සාධාරණ අයිතිය ලබාදෙන බවද, පුරවැසියන් වෙත ප්‍රතිලාභ ගලා එන්නේ එසේ කළහොත් පමණක් බවද ඔහු අවධාරණය කරනවා.

හරක් කටාට අවශ්‍ය ආහාර සුපිරි වෙළෙඳසැලකින් ලබා ගැනීමට අවසර

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන නඳුන් චින්තක නොහොත් හරක් කටාට අවශ්‍ය ආහාර සුපිරි වෙළෙඳසැලක් මගින් ලබාගැනීමට අද (19) අධිකරණය අවසර ලබාදී තිබෙනවා.

හරක් කටා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් මෝසමක් මාර්ගයෙන් අධිකරණයෙන් කළ ඉල්ලීමක් සලකාබැලීමෙන් අනතුරුව කොටුව මහෙස්ත්‍රාත්වරයා විසින් මෙම නියෝගය ලබාදී ඇති බවයි සඳහන් වන්නේ.

ඒ අනුව සැකකාර හරක් කටාට ඔහු රඳවා සිටින ස්ථානය භාර ස්ථානාධිපතිවරයා නම්කරන නිලධාරියෙකු හරහා අවශ්‍ය ආහාර සුපිරි වෙළෙඳසැලෙන් ලබාගැනීමට අවසර ලබාදී ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

කොළඹ ප්‍රදේශ කිහිපයකට සති අන්තයේ පැය 15 ක ජල කප්පාදුවක්

අත්‍යවශ්‍ය වැඩි දියුණු කිරිමේ කටයුත්තක් හේතුවෙන් කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බවට ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.

සෙනසුරාදා (21) දින පස්වරු 5.00 සිට ඉරිදා පෙරවරු 8.00 දක්වා පැය 15ක කාලයක් සදහා මෙලෙස ජල සැපයුම අත්හිටුවන බවයි සඳහන් වන්නේ.

ඒ අනුව මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ලබන්නේ, කොළඹ 11, 12, 13, 14 සහ 15 ප්‍රදේශ සඳහා බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

විජයකලා මහේෂ්වරන් නිදහස් කෙරේ

ඇප මත මුදාහැර සිටි හිටපු රාජ්‍ය ඇමතිනී විජයකලා මහේෂ්වරන් නීතිපති උපදෙස් මත නිදහස් කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (19) නියෝග කර තිබෙනවා.

2018 වසරේ කොටි සංවිධානය යළි නගා සිටුවිය යුතු බවට ප්‍රකාශයක් සිදුකළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය ඇමතිනී විජයකලා මහේෂ්වරන්ට චෝදනා එල්ල වූ අතර එය සම්බන්ධයෙන් මීට පෙර ඇප නියම කර තිබුණා.

මෙම සැකකාරියට එරෙහිව නඩු කටයුත්තක් පවත්වාගෙන යාමට ප්‍රමාණවත් කරුණු නොමැති බවට නීතිපතිවරයා විසින් උපදෙස් ලබාදී ඇති බව මීට පෙර පොලීසිය අධිකරණයට දැනුම් දී තිබුණා.