මත්ද්‍රව්‍ය තොගයක් සමඟ ධීවර යාත්‍රාවක් නාවික හමුදා භාරයට

හෙරොයින් බවට සැකකෙරෙන මත්ද්‍රව්‍ය විශාල තොගයක් රැගත් මෙරටට අයත් බහුදින ධීවර යාත්‍රාවක් ගැඹුරු මුහුදේදී නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

රාජ්‍ය බුද්ධි සේවාවට ලද බුද්ධි තොරතුරකට අනුව සිදුකළ මෙහෙයුමකදී මෙම යාත්‍රාව නාවික හමුදාව සිය භාරයට ගෙන ඇති බවයි සඳහන් වන්නේ.

එම බහුදින ධීවර යාත්‍රාව සහ සැකකරුවන් ඉදිරි විමර්ශන කටයුතු සඳහා මේ වනවිට කොළඹ වරාය වෙත රැගෙන එමින් පවතින බවයි නාවික හමුදාව සඳහන් කළේ.

ධීවරයින්ට කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්

තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව මධ්‍ය – බටහිර බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී ඉදිරි පැය 12 තුළ දී සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙමින් උතුරට බරව ඊසාන දෙසට ගමන් කරමින් බංග්ලාදේශ වෙරළ වෙත ගමන් කරනු ඇති බවයි සඳහන් වන්නේ.

උතුරු අක්ෂාංශ 14 සහ 20 සහ නැගෙනහිර දේශාංශ 84 සහ 92 අතර මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැ.කි.මී 40 – 45ත් අතර එම මුහුදු ප්‍රදේශ රළු හෝ ඉතා රළු වන අතර මේ සම්බන්ධයෙන් අවධානයෙන් කටයුතු කරන ලෙස ධීවර ප්‍රජාවගෙන් කාලගුණ දෙපාර්තමේන්තුව ඉල්ලා සිටිනවා.

එසේම මේ සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලබන ඉදිරි අනාවැකි පිළිබඳව අවධානයෙන් සිටින ලෙසයි වැඩිදුරටත් දැනුම්දෙන්නේ.

653643e7c1da1pdf_page_0

විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ යෝජනාව ලබන සතියේ කැබිනට් මණ්ඩලයට

ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළ යෝජනා ලබන සතියේදී කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව විදුලිබල අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

ඒ අනුව මෙම සතිය තුළ ඒ අවශ්‍ය නිශ්කාෂණය ලබාදීම සඳහා කටයුතු කරන බවට නීතිපතිවරයා දැනුම්දී ඇති බවද අමාත්‍යවරයා සඳහන් කළා.

ජලාශ තිබෙන සමනල වැව, වික්ටෝරියා, රන්දෙණිගල වැනි ප්‍රධාන ජලාශ තිබෙන සීමාවලට නිසි වර්ෂාපතනයක් නොලැඹෙන බවත් ජලාශවල තිබෙන ධාරිතාවෙන් මේ වනවිට භාවිතා කිරීමට හැක්කේ 65.81% ක් බවද ඔහු සඳහන් කළා.

එය පෙර වසර සමඟ සැසඳීමේදී 20% ක පමණ පහත යාමක් බවයි අමාත්‍ය කංචන විජේසේකර වැඩිදුරටත් සඳහන් කළේ

හරීන් සහ මනුෂගේ පෙත්සම් විභාගය 27 වනදා දක්වා කල්තැබේ

සිය පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීමට සමගි ජන බලවේගය ගත් තීරණය නීතියට පටහැනි යැයි ප්‍රකාශ කරන ලෙස ඉල්ලා හරීන් ප්‍රනාන්දු සහ මනුෂ නානායක්කාර යන අමාත්‍යවරු ඉදිරිපත් කළ පෙත්සම් විභාගය මේ මස 27 වනදා දක්වා කල්තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබෙනවා.

ඒ අනුව අද පෙත්සම් කැඳවූ අවස්ථාවේදී පෙර දින මෙම පෙත්සම් විභාගයට සහභාගි වූ විනිසුරු මඩුල්ල නිසියාකාරව සංයුක්ත වී නොමැති හෙයින් එම පෙත්සම් පිළිබඳ විභාගය ලබන 27 වනදා දක්වා කල් තැබීමට අධිකරණය නියෝග කර ඇති බවයි සඳහන් වන්නේ.

කිසිදු සාධාරණ පරීක්ෂණයකින් තොරව සිය පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීමට සමගි ජන බලවේගය ගත් තීරණය සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බවයි පෙත්සම්කරුවන් සිය පෙත්සම් මඟින් පෙන්වාදෙන්නේ.

ක්ෂේත්‍ර රැසක වෘත්තීය සමිති අද කොළඹදී විරෝධතාවල

ක්ෂේත්‍ර රැසක වෘත්තීය සමිති අද (23) කොළඹ දී විරෝධතා ක්‍රියාමාර්ගයක් සංවිධානය කර තිබෙනවා.

ඒ අනුව රාජ්‍ය අංශයේ විධායක නිලධාරී සේවා ගණයට අයත් ඉංජිනේරුවරුන්, වෛද්‍යවරුන්, පශු වෛද්‍යවරුන්, විශේෂඥ හා තාක්ෂණික නිලධාරීන් ඇතුළු ක්ෂේත්‍ර රැසක වෘත්තීය සමිති මේ සඳහා එක්වන බවයි සඳහන් වන්නේ.

සිය ගැටලුවලට විසඳුම් ලබාදීමට රජය අපොහොසත් වීම හේතුවෙන් මෙම විරෝධතා සංවිධානය කර ඇති බව රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුවේ සභාපති ඒ.එච්.එල් උදයසිරි වැඩිදුරටත් සඳහන් කළේ.

විදුලි ගාස්තු වැඩි කිරීමට එරෙහිව ප්‍රදේශ කිහිපයක රාත්‍රී විරෝධතා

විදුලි ගාස්තු වැඩි කිරීමට එරෙහිව ප්‍රදේශ කිහිපයක ඊයේ (22) රාත්‍රියේ විරෝධතා පවත්වා තිබෙනවා.

ඒ අනුව පානදුර, අම්බලන්තොට, අනුරාධපුර, තලවකැලේ, යක්කල, මහනුවර, උඩුගම හා පේරාදෙණිය හන්දිය යන ප්‍රදේශවල ජාතික ජන බලවේගය හා සමගි ජන බලවේගය විසින් මෙම විරෝධතා සංවිධානය කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය ලේකම්වරුන් සමඟ රැස්වීම් පැවැත්වීම ගැන චක්‍රලේඛයක්

දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය ලේකම්වරුන් සමඟ රැස්වීම් පැවැත්වීම සම්බන්ධයෙන් වන චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ දිස්ත්‍රික් ලේකම්වරුන් හෝ ප්‍රාදේශීය ලේකම්වරුන් සම්බන්ධ කරගනිමින් සිදුකරනු ලබන රැස්වීම් සතියේ අඟහරුවාදා සහ සිකුරාදා යන දින දෙක තුළ පමණක් සිදුකරන ලෙස රාජ්‍ය පරිපාලන ලේකම්වරයා දැනුම්දී ඇත්තේ.

වැඩකරන වේලාව තුළ මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ රැස්වීම් සඳහා නිරන්තරයෙන් සහභාගීවීමට සිදුවීම හේතුවෙන් නිලධාරීන් මුණගැසීමට පැමිණෙන මහජනතාවට ගැටලු රැසකට මුහුණපෑමට සිදුවීම හේතුවෙන් මෙම තීරණය ගෙන තිබෙනවා.

අදාළ චක්‍රලේඛය පහතින්.

6535ee81e0e18pdf_page_0

මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් අද වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක

දිවයින පුරා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් අද (23) දිනයේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව වෘත්තීය ගැටලු කිහිපයක් මුල්කර ගනිමින් අසනීප නිවාඩු වාර්තා කර මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය සිදුකරන බවයි එම සංගමයේ ලේකම් ශානක බෝපිටියගේ සඳහන් කළේ.

කෝටි 400ක හෙරොයින් තොගයක් සමඟ සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට

හෙරොයින් තොගයක් සමඟ සැකකරුවන් පස්දෙනෙක් දෙවුන්දර මුහුදේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අනුව රුපියල් කෝටි 400 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 200 කට අධික තොගයක් සමග මෙරට බහුදින ධීවර යාත්‍රාවක් ද මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි සඳහන් වන්නේ.

නාවික හමුදාව හා පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශය එක්ව ගැඹුරු මුහුදේ සිදුකළ මෙහෙයුමකින් අනතුරුව මොවුන් අත්ඩංගුවට ගෙන තිබෙනවා.

ප්‍රේමසිරි හේවාවසම් අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පි ප්‍රේමසිරි හේවාවසම් මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

අද (22) අලුයම ඇතිවූ හදිසි රෝග තත්ත්වයක් හේතුවෙන් ඔහු අභාවප්‍රාප්තවී ඇති අතර මියයන විට ඔහු 64 වන වියේ පසු වුණා.

ප්‍රේමසිරි හේවාවසම් මෙරට ජනප්‍රිය ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පියෙක් ලෙස කටයුතු කර තිබෙන අතර ඔහු රූපලාවණ්‍ය ක්ෂේත්‍රය වෙනුවෙන් නවක පිරිස් දයාද කිරීමටද කටයුතු කර තිබෙනවා.