හරීන් සහ මනූෂගේ පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීම නීත්‍යානුකූල බව ශ්‍රේෂ්ඨාධිකරණ නියෝග කරයි

හරින් ප්‍රනාන්දු සහ මනුෂ නානායක්කාර යන අයගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීමට ගත් තීන්දුව නීත්‍යානුකූල බව අද (09) ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබෙනවා.

සමගි ජන බලවේගය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පිවිසි ඔවුන් පක්ෂයේ තීන්දුවට පටහැනිව ආණ්ඩුවේ ඇමැති ධුර ලබා ගැනීම හේතුවෙන් ඔවුන්ගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීමට කටයුතු කර තිබුණා.

සමගි ජන බලවේග පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය විසින් ඔවුන් දෙදෙනාගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරිමට එරෙහිව ඔවුන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් ගොනු කර තිබුණා.

අගෝස්තු 11 ගම්පහ ප්‍රදේශ කිහිපයකට පැය 12ක ජල කප්පාදුවක්

විදුලිබල මණ්ඩලයේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් බියගම ජල පවිත්‍රාගාරයට අගෝස්තු මස 11 වැනි ඉරිදා පෙරවරු 9.00 සිට පස්වරු 9.00 දක්වා පැය 12ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන හා ජලාපවාහන මණඩලය පවසනවා.

ඒ අනුව පෑලියගොඩ, වත්තල, ජා ඇල, කටුනායක/සීදූව, නගර සභා බල ප්‍රදේශවලට සහ කැලණිය, වත්තල, බියගම, මහර, දොම්පේ, ජා-ඇල, කටාන, මිනුවන්ගොඩ, ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය මෙන්ම ගම්පහ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ කොටසකට මෙලෙස ජල සැපයුම අත්හිටුවන බවයි එම මණ්ඩලය සඳහන් කළේ.

ජලය අරපිරිමැස්මෙන් පරිභෝජනය කරන ලෙස ද එම මණ්ඩලය පාරිභෝගිකයන්ගෙන් ඉල්ලා සිටිනවා.

ඉදිරි දින 10 තුළ බිත්තර ආනයනය කිරීමට පියවර

ඉදිරි දින 10ක් ඇතුළත බිත්තර ආනයනය කිරිමේ කටයුතු යළි ආරම්භ කරන බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව පවසනවා.

ඒ අනුව ඊට අදාළ ප්‍රසම්පාදන කටයුතු මේ වනවිට සිදුවන බවයි එහි සභාපති ආසිරි වලිසුන්දර සඳහන් කළේ.

දේශීය වෙළෙඳපොළ තුළ බිත්තරයක් රුපියල් 50 ඉක්මවා මිලකට අලෙවි වීම හේතුවෙන් බිත්තර ආනයනය කිරීම සඳහා පසුගියදා කැබිනට් අනුමැතිය හිමි වුණා.

වැලිකඩ සිරකරු ඝාතනවලට මරණීය දණ්ඩනය නියම වූ එමිල් රංජන් ළමාහේවා නිදොස් කොට නිදහස් කෙ​රේ

හිටපු බන්ධනාගාර කොමසාරිස් එමිල් රංජන් ළමාහේවා කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් ලබාදුන් මරණීය දණ්ඩනයෙන් නිදොස් කොට නිදහස් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද (08) තීන්දු කර තිබෙනවා.

ඒ අනුව ඔහු විසින් විසින් ඉදිරිපත් කළ ඇපෑලක් පිළිගැනීමෙන් අනතුරුව පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් එම තීන්දුව ලබාදී ඇති බවයි වාර්තා වෙන්නේ.

2012 වසරේ වැලිකඩ බන්ධනාගාරය තුළ ඇතිවූ ගැටුම්වලින් සිදුවූ සිරකරු ඝාතන චෝදනාවලට ඔහු වරදකරු කරමින් මරණීය දණ්ඩනය නියම කර තිබුණා.

විදර්ශන සාහිත්‍ය ත්‍යාගයේ නවකතා දිගු ලැයිස්තුව ප්‍රකාශයට පත්කෙරේ

‘විදර්ශන සාහිත්‍ය ත්‍යාගය 2024’ සඳහා ඉදිරිපත් වූ නවකතා අත්පිටපත් 95 ක් අතුරින් දීර්ඝ ලැයිස්තුගත වන (Longlist) නිර්මාණ අත්පිටපත් 07 ක් අද ප්‍රකාශයට පත්කෙරුණා.

මෙහි නිර්මාණ ඇගයුම් මණ්ඩල සාමාජිකයන් ලෙස ප්‍රභා මනුරත්න‍, රංජිත් පෙරේරා සහ විදර්ශන කන්නන්ගර කටයුතු කරනවා.

මෙම දීර්ඝ ලැයිස්තුගත අත්පිටපත් 07 න් අවසන් වටය සඳහා නිර්දේශ වන අත්පිටපත් 03 කෙටි ලැයිස්තුගත කිරීම (Shortlist) අගෝස්තු දෙවැනි සතියේදී සිදුකිරීමට නියමිතයි.

‘විදර්ශන සාහිත්‍ය ත්‍යාගය 2024’ ජය මූර්ති ප්‍රදානය සැප්තැම්බර් 01 වන දින පැවැත්වීමට නියමිත අතර මෙහි ඩිජිටල් මාධ්‍ය සහකරු ලෙස හෙළකුරු කටයුතු කරනවා.

දීර්ඝ ලැයිස්තුගත නවකතා නිර්මාණ අත්පිටපත් 07 පහතින්,

66b446cf124ae

රී ලංකාවේ ප්‍රථම රූපවාහිනී ප්‍රවෘත්ති නිවේදිකාව වූ සුමනා නෙල්ලම්පිටිය අභාවප්‍රාප්ත වෙයි

ශ්‍රී ලංකාවේ ප්‍රථම රූපවාහිනී ප්‍රවෘත්ති නිවේදිකාව වූ, ජ්‍යෙෂ්ඨ නිවේදිකා සුමනා නෙල්ලම්පිටිය මහත්මිය අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මිය යන විට ඇය 80 වන වියේ පසු වුණා.

1962 වසරේදී ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ වෙළෙඳ සේවයේ සහය නිවේදිකාවක ලෙස ඇය විසින් ඉදිරිපත් කළ “පිබිදෙන ගායක පරපුර”, “ඕවල්ටීන් පැනපොඩි” සහ “රේඩියෝ සඟරාව” යන වැඩසටහන් රසිකයින් අතර මහත් ජනාදරයට පත් වුණා.

ග්‍රාම නිලධාරීන් වෘත්තීය ක්‍රියා මාර්ගයක​ට සූදානම් වෙයි

අත්තනෝමතික ලෙස ග්‍රාම නිලධාරී සේවා ව්‍යවස්ථාව ගැසට් කිරීමට විරෝධය පළ කරමින් වෘත්තීය ක්‍රියා මාර්ගයක නිරත වන බව ග්‍රාම නිලධාරී වෘත්තීය සමිති සන්ධානය පවසනවා.

ඒ අනුව එළඹෙන සඳුදා සහ අඟහරුවාදා යන දිනයන් හි සේවා කටයුතුවලින් ඉවත්වීමට තීරණය කර ඇති බවයි සමස්ත ලංකා නිදහස් ග්‍රාම සේවා නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් එම්.කේ.ජි. ජගත් චන්ද්‍රලාල් සඳහන් කළේ.

කෙසේ වෙතත්, සිය වෘත්තීය ක්‍රියා මාර්ගය මැතිවරණ කටයුතුවලට බාධාවක් නොවන පරිදි සිදුකරන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

ක්ලබ් වසන්ත​ගේ ඝාතකයන් පළාගිය බස් රථය සොයා ගනී

සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් ක්ලබ් වසන්ත ඝාතනයෙන් අනතුරුව ඝාතකයන් පලා ගිය බස් රථය කතරගම ප්‍රදේශයේ පුද්ගලයෙකුට විකුණා තිබියදී සොයා ගෙන තිබෙනවා.

සැකකරුවන්ගෙන් සිදු කළ දීර්ඝ ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව මෙම බස් රථය සොයා ගත් බවයි පොලිසිය සඳහන් කළේ.

මත්පැන් හල් බලපත්‍ර නිකුත් කිරීම සඳහා අයදුම්පත් භාරගැනීම සහ බලපත්‍ර නිකුත් කිරීම වළක්වමින් නිකුත් කර තිබූ තහනම් නියෝගය දීර්ඝ කෙරේ

සුරාබදු රෙගුලාසිවලට පටහැනි ආකාරයට මත්පැන් හල් බලපත්‍ර නිකුත් කිරීම සඳහා අයදුම්පත් භාරගැනීම සහ බලපත්‍ර නිකුත් කිරීම වළක්වමින් නිකුත් කර තිබූ අතුරු තහනම් නියෝගය දීර්ඝ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබෙනවා.

සුරාබදු රෙගුලාසිවලට පටහැනිව නිකුත් කර තිබෙන මත්පැන් බලපත්‍ර අභියෝගයට ලක් කරමින් මත්පැන්හල් හිමියන් පිරිසක් විසින් ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් 04ක් විභාගයට ගැනීමට අවසර දෙමින් ශ්‍රේෂ්ඨාධිකරණය එම නියෝගය නිකුත් කර ඇති බවයි සඳහන් වෙන්නේ.

මෙම අතුරු තහනම් පෙත්සම් විභාගය අවසන් වන තෙක් බල පැවැත්වෙන බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

බංග්ලාදේශ අන්තර්වාර රජයේ උපදේශකත්වයට මුහම්මද් යුනුස් පත් කෙරේ

නොබෙල් සාම ත්‍යාගලාභී මුහම්මද් යුනුස් බංගලාදේශයේ අන්තර්වාර රජයක ප්‍රධාන උපදේශකවරයා ලෙස පත් කරන බවට ජනාධිපති කාර්යාලය නිවේදනය කර තිබෙනවා.

ජනාධිපති මොහොමඩ් ෂහාබුදීන් සහ සිසුන් කණ්ඩායමේ ප්‍රධානීන් අතර පැවති සාකච්ඡාවකදී මෙම තීරණය ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.

බංගලාදේශ අගමාත්‍යවරිය වූ ෂීක් හසීනා රටින් පළා යාමත් සමඟ ශිෂ්‍ය නායකයින් හමුදා රජයක් පිළි නොගන්නා බවට ප්‍රකාශ කර තිබූ අතර, ඒ අනුව අන්තර්වාර පාලනයකට නායකත්වය දීමට මුහම්මද් යුනුස්ගේ නම යෝජනා වී තිබුණා.

මෙම තනතුර භාර ගැනීමට එකඟ වූ නොබෙල් සාම ත්‍යාගලාභී මුහම්මද් යුනුස් පවසා ඇත්තේ මෙම දුෂ්කර අවස්ථාවේදී සිසුන් කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කළ නොහැකි බවයි.