ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමට අදාළ නාම යෝජනා භාරගැනීමේ කටයුතු අවසන් වෙයි

ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමට අදාළ නාමයෝජනා භාරගැනීමේ කටයුතු අද (12) අවසන් වුණා.

ඒ අනුව සමගි ජන බලවේගය, ජාතික ජන බලවේගය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, පොදුජන එක්සත් නිදහස් පෙරමුණ යන ප්‍රධාන දේශපාලන පක්ෂ මෙන්ම ස්වාධීන කණ්ඩායම්ද නාම යෝජනා භාරදී ඇති බවයි සඳහන් වෙන්නේ.

ඇල්පිටිය ප්‍රදේශිය සභාව සඳහා පිළිගත් දේශපාලන පක්ෂ 10 ක් සහ ස්වාධීන කණ්ඩායම් දෙකක් ඇප මුදල් තැන්පත් කර තිබුණා.

සීනි බදු වංචාව ගැන මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීමට අප්‍රේල් 02 වැනිදා කැඳවීමට නියෝග

පසුගිය පාලන සමයේ ආනයනික සීනි සඳහා පැනවූ බදු අඩු කිරීමේදී රජයට රුපියල් කෝටි 1,590ක් පාඩු වූ බව පවසමින් ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සමක් සලකා බැලීම සඳහා අප්‍රේල් මස 02 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබෙනවා.

ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර ඇති බවයි සඳහන් වෙන්නේ.

මෙම පෙත්සම අද (12) කැඳවූ අවස්ථාවේදී මෙම නඩුවට අදාළ විරෝධතා තිබේනම් ඒවා අද දින සිට සති අටක් තුළ ගොනු කිරීමට පියවර ගන්නා ලෙස පැවසුවා.

ඊට අමතරව සංශෝධනය කරන ලද වගඋත්තරකරුවන්ගේ නාම ලේඛනය අද දින සිට සති හතරක් තුළ ගොනු කිරීමට පියවර ගන්නා ලෙසත් නියෝග කර ඇති අතර ඉන් අනතුරුව අදාළ පෙත්සම සලකාබැලීම සඳහා අප්‍රේල් මස 02 වනදා කැඳවීමට තීරණය කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

IHP අගෝස්තු සමීක්ෂණයෙන් අනුරට 36%ක්, සජිත්ට 32%ක්, රනිල්ට 28%ක් සහ නාමල්ට 3%ක්

ඉදිරි ජනාධිපතිවරණයේදී මෙරට වැඩිහිටියන්ගේ ඡන්ද අභිප්‍රාය පිළිබඳව සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනය (IHP) විසින් අගෝස්තු මාසයේ සිදුකළ මත විමසුම් සමීක්ෂණයක ප්‍රතිඵල වාර්තාව ඊයේ (11) නිකුත් කර තිබෙනවා.

අදාළ සමීක්ෂණයේ ප්‍රතිඵල අනුව ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක 36% ක් ලබා ගනිමින් පෙරමුණ ගෙන ඇති බවයි වාර්තාවේ දැක්වෙන්නේ.

එසේම ජනාධිපති අපේක්ෂකයින් වන සජිත් ප්‍රේමදාස 32% ක ප්‍රතිශතයක් ලබාගනිමින් දෙවන ස්ථානය ද, රනිල් වික්‍රමසිංහ 28% ක් ලබාගනිමින් තෙවන ස්ථානය ද, නාමල් රාජපක්ෂ 3%ක් ලබාගනිමින් සිව්වන ස්ථානය ද ලබාගෙන ඇති බවයි සමීක්ෂණ වාර්තාවේ දැක්වෙන්නේ.

මෙම සමීක්ෂණය අගෝස්තු මාසය තුළ සිදු කරන ලද සම්මුඛ පරීක්ෂණ 1,153 ක් මත පදනම්ව ඇති බවද, සමීක්ෂණ ඇස්තමේන්තුව 3-7% අතර දෝෂ ආන්තිකයක් සමඟ තක්සේරු කර ඇති බවද සමීක්ෂණ වාර්තාවේ සඳහන්.

අදාළ වාර්තාව මෙතැනින්. මාධ්‍ය නිවේදනය මෙතැනින්.

66e2a7fff36f1

බන්ධනාගාර රැඳවියන් 350 කට හෙට නිදහස

සිරකරු දිනය වෙනුවෙන් සුළු වැරදි සඳහා බන්ධනාගාරගත වූ රැඳවියන් 350 ක් පමණ හෙට (12) දිනයේ නිදහස් කිරීමට නියමිත බව බන්ධනාගාර කොමසාරිස් ගාමිණි බී. දිසානායක පවසනවා.

ජනාධිපතිවරයාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 වන වගන්තියෙන් පැවරී ඇති බලතල අනුව සිරකරුවන්ට මෙම විශේෂ රාජ්‍ය සමාව පිරිනමන බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.

අසත්‍ය ප්‍රකාශයක් සම්බන්ධයෙන් මිලියන 100ක වන්දියක් ඉල්ලා හරිනිගෙන් තිස්ස අත්තනායකට නඩුවක්

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායකගෙන් රුපියල් මිලියන 100 ක වන්දියක් ඉල්ලා ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි ආචාර්ය හරිනි අමරසූරිය විසින් කොළඹ දිසා අධිකරණය හමුවේ නඩුවක් ගොනු කර තිබෙනවා.

එම පැමිණිල්ලේ වග උත්තරකරුවන් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක සහ පෞද්ගලික රූපවාහිනී නාලිකාවක් නම් කර ඇති බවයි සඳහන් වෙන්නේ.

පසුගිය අගෝස්තු 19 වනදා මාවනැල්ල ප්‍රදේශයේ පැවති සමගි ජන බලවේගයේ රැස්වීමකදී, ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් ස්ථාපිත කළහොත් ශ්‍රී දළදා පෙරහර නැවැත්වීමට කටයුතු කරන බවට තිස්ස අත්තනායක ප්‍රකාශයක් සිදුකර ඇති බවයි පැවසෙන්නේ.

විත්තිකරු තමාවද සම්බන්ධ කරගනිමින් මෙම ප්‍රකාශය සිදු කර ඇතැයි චෝදනා කරන හරිනි අමරසූරිය මන්ත්‍රීවරිය, එම ප්‍රකාශය සම්පූර්ණයෙන් අසත්‍ය මෙන්ම සාවද්‍ය බවයි සඳහන් කර ඇත්තේ.

මේ තුළින් සිය කීර්තියට වූ හානිය වෙනුවෙන් විත්තිකරුවන්ගෙන් රුපියල් මිලියන 100 ක වන්දියක් අයකර දෙන නියෝගයක් නිකුත් කරන ලෙසයි ඇය දිසා අධිකරණයෙන් ඉල්ලා සිටින්නේ.

ගීතාගේ රාජ්‍ය අමාත්‍ය ධුරය සීතාට

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී සීතා අරඹේපොළ සෞඛ්‍ය සහ කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ධුරය සඳහා පත් කර තිබෙනවා.

ඒ අනුව ඇය දැරූ සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය ධූරයට අමතරව මෙම පත් කිරීම සිදුකර ඇති බවයි සඳහන් වෙන්නේ.

මීට පෙර මෙම රාජ්‍ය අමාත්‍ය ධූරයේ කටයුතු කළේ සමගි ජන බලවේගයට සහාය දැක්වූ ගීතා කුමාරසිංහයි.

මහලේකම් කාර්යාල දුම්රිය නැවතුම අසළ දුම්රිය පීලිපැනීමක්

මහලේකම් කාර්යාල දුම්රිය නැවතුම සහ කොළඹ කොටුව දුම්රිය ස්ථානය අතර දුම්රියක් පීලි පැනීමකට ලක්ව තිබෙනවා.

ඒ අනුව පානදුර සිට මරදාන දක්වා ධාවනය වන මන්දගාමී දුම්රියක් එලෙස පීලි පැනීමට ලක්ව ඇති බවයි සඳහන් වෙන්නේ.

ඒ හේතුවෙන් මුහුදුබඩ දුම්රිය මාර්ගය අවහිර වී ඇති බවත්, මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ධාවනය වීමට නියමිත සියලුම දුම්රියන් බොහෝ වේලා ප්‍රමාද වී ධාවනය වීමට හෝ ධාවනය අවලංගු වීමට ඉඩ ඇති බවයි දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.

මහපොළ ශිෂ්‍යාධාරය 2025 අප්‍රේල් සිට රු.7,500 දක්වා ඉහළ දැමීමට කැබිනට් අනුමැතිය

විශ්ව විද්‍යාල සිසුන්ගේ මහපොළ හා ශිෂ්‍යාධාර 2025 අප්‍රේල් මාසයේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉහල නැංවීම සඳහා අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබාදී තිබෙනවා.

මහපොළ හා ශිෂ්‍යාධාර වාරික 2015 වර්ෂයේ සිට මේ දක්වා වැඩි කර නොමැති බැවින්, එම වාරික මුදල් සංශෝධනය කිරීම සඳහා අමාත්‍යවරුන් දෙදෙනෙකු විසින් ඒකාබද්ධ යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා.

එම යෝජනාව සැලකිල්ලට ගෙන මහපොළ ශිෂ්‍යත්ව වාරිකය රු.7,500 දක්වාත්, ශිෂ්‍යාධාර වාරිකය රු.6,500 දක්වාත් 2025 අප්‍රේල් මස සිට ක්‍රියාත්මක වන පරිදි වැඩි කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබාදී තිබෙනවා.

අදාළ කැබිනට් තීරණය පහතින්.

66e00d8ad36af

සිමෙන්ති සඳහා අඩු කළ සෙස් බද්දෙන් පාරිභෝගිකයාට කිසිදු සහනයක් නෑ – ඉදිකිරීම් සංගමය

ආනයනික සිමෙන්ති සඳහා පනවා තිබූ සෙස් බද්ද අඩු කිරීමෙන් පාරිභෝගිකයාට කිසිදු සහනයක් හිමි නොවන බව ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමය පවසනවා.

යම් භාණ්ඩයක මිල අඩුවීමෙන් පාරිභෝගිකයාට සහන ලබාදීමේ වැඩපිළිවෙලක් වෙළඳ අමාත්‍යංශය විසින් මෙතෙක් ක්‍රියාවට නංවා නොමැති බවයි එම සංගමයේ සභාපති එම්. ඩී. පෝල් සඳහන් කළේ.

රටේ ආර්ථික අර්බුදයෙන් අනතුරුව ඉදිකිරීම් ක්ෂේත්‍රය නගා සිටුවීමට මෙතෙක් කිසිදු වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර නොමැති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

මැතිවරණ පැමිණිලි 3041 ක් දක්වා ඉහළට

ජනාධිපතිවරණය සම්බන්ධයෙන් වන මැතිවරණ පැමිණිලි සංඛ්‍යාව 3041 ක් දක්වා ඉහළ ගොස් ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

ඒ අනුව මැතිවරණ නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් පැමිණිලි 2947 ක්, වෙනත් පැමිණිලි 69 ක් හා ප්‍රචණ්ඩ ක්‍රියා 25 ක් වාර්තා වී ඇති බවයි සඳහන් වෙන්නේ.

ලැබුණු පැමිණිලි අතරින් 2271 ක් විසඳා ඇති අතර, තවත් පැමිණිලි 770 ක් විසඳීමට ක්‍රියා කරමින් ඇති බවයි මැතිවරණ කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කරන්නේ.

අදාළ නිවේදනය පහතින්.

66dfcf2e1c854