ප්‍රකාශයක් ලබාදී රනිල් CIDයෙන් පිටව යයි

අද (11) පස්වරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුව මීට සුළු මොහොතකට පෙර ඉන් පිටව ගොස් තිබෙනවා.

ඖෂධ ගෙන්වීම සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල කළ පැමිණිල්ලකට අදාළව ප්‍රකාශයක් ලබා දීම සඳහා හිටපු ජනාධිපතිවරයා මෙලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කැඳවා ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අද දින (11/06)නිකුත් කරන කාලගුණ වාර්තාවට අනුව බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

සටහන –
කොලින් හරිශ්චන්ද්‍ර

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අද දින (11/06)නිකුත් කරන කාලගුණ වාර්තාවට අනුව බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 100 ට වැඩි තද වැසි ඇතිවිය හැක.

උතුරු පළාතේත් අනුරාධපුරය දිස්ත්‍රික්කයේත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැක.

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද, බස්නාහිර, සබරගමුව, වයඹ සහ දකුණු පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙත් විටින් විට හමන පැ.කි.මී. (50-60) ක පමණ තද සුළං ඇතිවිය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

මුහුදුබඩ ප්‍රදේශ සඳහා කාලගුණ අනාවැකිය මෙසේය.

වැසි තත්ත්වය:

පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි ඇති වේ.
සුළඟ:

සුළං නිරිත දිශාවෙන් හමා එයි.
හලාවත සිට පුත්තලම සහ මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා සහ ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැ.කි.මී. (35-45) පමණ වන අතර විටින් විට පැ.කි.මී. (60-70) පමණ දක්වා ඉහළ යා හැක.

දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැ.කි.මී. (30-40) පමණ වේ.
හලාවත සිට කොළඹ හරහා ගාල්ල දක්වා සහ කන්කසන්තුරේ සිට මුලතිව් හරහා ත්‍රිකුණාමලය දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. (50-55) පමණ දක්වා ඉහළ යා හැක.
මුහුදේ ස්වභාවය:

හලාවත සිට පුත්තලම සහ මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා සහ ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට ඉතා රළු වේ. මෙම මුහුදු ප්‍රදේශයට නැවත දැනුම්දෙන තුරු යාත්‍රා නොකරන ලෙස නාවික සහ ධීවර ප්‍රජාවන්ට දැනුම්දෙනු ලැබේ.

හලාවත සිට කොළඹ හරහා ගාල්ල දක්වා සහ කන්කසන්තුරේ සිට මුලතිව් හරහා ත්‍රිකුණාමලය දක්වා වන මුහුදු ප්‍රදේශ විටින් විට රළු වේ.

මන්නාරම සිට පුත්තලම, කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල මුහුදු රළ උස මීටර් (2.5 – 3.0) ක් පමණ ඉහළ යාමේ හැකියාවක් පවතී. (මෙය ගොඩබිමට එන රළ උස නොවේ).

මේ පිළිබඳ සිය අවධානය යොමු කරන ලෙස ධීවර හා නාවික ප්‍රජාවගෙන් ඉල්ලා සිටිනු ලැබේ.
ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව ඉතා රළු විය හැක.

කොළඹ සිට මුම්බායි වෙත ගමන් කරමින් තිබූ නෞකාවක පිපිරීමක් සිදුවෙයි

කේරළ වෙරළට ඔබ්බෙන් වූ මුහුදේ දී සිංගප්පූරු ධජය සහිත බහාලුම් නෞකාවක පිපිරීමක් සිදුව ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

ඒ අනුව MV Wan Hai 503 නම් වූ මීටර් 270ක් දිගින් යුත් මෙම යාත්‍රාව පසුගිය ජුනි 07 වැනි දින කොළඹ වරායෙන් පිටත් වී මුම්බායි බලා යමින් තිබූ අතර, එය මුම්බායි ‘නවා ශෙවා’ වරාය වෙත ජුනි 10 වැනි දින පැමිණීමට නියමිතව තිබූ බවයි සඳහන් වෙන්නේ.

මෙම නෞකාවේ කාර්ය මණ්ඩලයේ 22 දෙදෙනෙකු සිට ඇති අතර, ඉන් 18 දෙනෙකු බෝට්ටු මාර්ගයෙන් නැව අතහැර දමා ගොස් ඇති බවත්, පිපිරීම සිදුවන අවස්ථාවේදී කාර්ය මණ්ඩලයේ ඇතැම් පිරිස් තුවාල ලබා ඇති බවත් සඳහන්.

ඉන්දීය වෙරළාරක්ෂක බළකාය සහ ඉන්දීය නාවික හමුදාව ගලවා ගැනීමේ කණ්ඩායම් යොදවා තුවාල ලැබූ කාර්ය මණ්ඩලය රෝහල් වෙත ඇතුළත් කිරීමට පියවර ගෙන තිබෙනවා.

ආණ්ඩුවේ උද්දච්චකමයි, වැඩ බැරි ටාසන්ලා ටිකයි එක්ක තමයි ආණ්ඩුවට දුවන්න වෙලා තියෙන්නේ – දයාසිරි

ඉතිහාසයේ කිසිඳු දිනක මේ ආකාරයෙන් වැරදි ලෙස සිරකරුවන් නිදහස් කිරීමේ සිදුවීම් වාර්තා වී නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පවසනවා.

සිරකරුවන් නිදහස් කිරීමේදී අනුගමනය කරන ක්‍රමවේදයක් ඇති බවත්, එහිදී වැරදි සිදුවීමේ හැකියාවක් නොමැති බවයි අද (09) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ.

ආණ්ඩුවේ තිබෙන උද්දච්චකම හා තමන් වැඩ දන්නා බවට සිතා සිටින වැඩ බැරි ‍ටාසන්ලා පිරිසක් සමඟ ආණ්ඩුව කරගෙන යාමට සිදුව ඇති බව ‍ඇති බවද ඔහු ප්‍රකාශ කර සිටියා.

මෙම සිදුවීමට හේතුව වන්නේ ආණ්ඩුවේ නොසැලකිලිමත්භාවය බවත්, රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කළ පරිදි මොවුන් ‘L බෝඩ්කරුවන්’ බවත්, වැඩක් කරන අයෙකුට මේවා මෙලෙස විසඳීමේ අවශ්‍යතාවක් නොමැති බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර වැඩිදුරටත් සඳහන් කළේ.

බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ වැඩ බැලීම සඳහා අතිරේක ලේකම්වරයෙක් පත් කෙරේ

බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ වැඩ බැලීම සඳහා අතිරේක ලේකම්වරයෙක් පත් කර තිබෙනවා.

ඒ අනුව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ අතිරේක ලේකම් නිෂාන් ධනසිංහ මෙලෙස පත්කර ඇති බවයි සඳහන් වෙන්නේ.

බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙනියගේ වැඩ තහනම් කිරීමට අද (09) පස්වරුවේ කැබිනට් මණ්ඩලය තීරණය කිරීමත් සමඟ මෙම පත්කිරීම සිදුකර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

ජනපති 11 වැනිදා ජර්මනියේ නිල සංචාරයක

ජනාධිපති අනුර කුමාර දිසානායක ලබන 11 වැනිදා සිට 13 වැනිදා දක්වා ජර්මනියේ සංචාරයක නිතර වීමට නියමිතව තිබෙනවා.

ජර්මානු ජනාධිපති ෆ්‍රෑන්ක් වෝල්ටර් ස්ටයින්මියර්ගේ ආරාධනාවකට අනුව සිදු කෙරෙන මෙම සංචාරයේදී ජර්මානු ජනාධිපතිවරයා, ෆෙඩරල් රජයේ ප්‍රධාන අමාත්‍යවරුන් සහ අනෙකුත් සම්භාවනීය අමුත්තන් සමග ද්වි-පාර්ශ්වික සාකච්ඡා පවත්වනු ඇති බවයි විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේ.

රජයේ ප්‍රමුඛතා මත පදනම්ව වෙළෙඳ, ඩිජිටල් ආර්ථිකය, ආයෝජනය සහ වෘත්තිය පුහුණු අවස්ථා ඇතුළු සහයෝගීතාව සඳහා නව මාර්ග පිළිබඳව මෙහිදී සාකච්ඡා කිරීමට නියමිතව ඇති බවද පැවසෙනවා.

මෙම සංචාරය සඳහා ජනාධිපතිවරයා සමග විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් සහ රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක්ද එක්වීමට නියමිතයි.

අදාළ නිවේදනය පහතින්.

news images

ප්‍රකාශයක් ලබාදීමට බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා CID යට පැමිණෙයි

ප්‍රකාශයක් ලබාදීමට බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා අද (08) දෙවැනි දිනටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබෙනවා.

ඒ අනුව ජනපති සමාව ලැබුණු බව පවසමින්, අනුරාධපුර බන්ධනාගාර රැඳවියෙකු නිදහස් කිරීම සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණවලට අදාළව ඔහු මෙලෙස පැමිණ ඇති බවයි සඳහන් වෙන්නේ.

නිදහස් කළ බහාලුම් 323 තුළ නීති විරෝධී හෝ සැක කටයුතු කිසිවක් තිබුණේ නැහැ – රේගුව

බහාලුම් 323 ක්  නිදහස් කිරීම සම්බන්ධව එල්ලවන චෝදනා සම්බන්ධව ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව අද (08) විශේෂ  මාධ්‍ය හමුවක් පවත්වා අනාවරණයක් සිදු කළා.

ඒ අනුව අදාළ බහාලුම් තුළ නීති විරෝධී හෝ සැක කටයුතු කිසිවක් රැගෙන විත් නැති බවයි රේගු මාධ්‍ය ප්‍රකාශක අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ සඳහන් කළේ.

ආනයනය කරපු මේ බහාලුම්වල කර්මාන්ත සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය, ප්ලාස්ටික්, නූල් වර්ග, රසායන ද්‍රව්‍ය, මෝටර් රථ අමතර කොටස්, සත්ව ආහාර, මැෂින් වර්ග, පලිබෝදනාශක, සිමෙන්ති, යකඩ පයිප් වර්ග, පොහොර, සිමෙන්ති, දැව එහි අඩංගුව තිබූ බවත් ඒවා ඉන්දියාව, චීනය, ඉන්දුනිසියාව, හොංකොංග්, සිංගප්පූරුව, මැලේසියාව, ස්විස්ටර්ලන්තය, දකුණු කොරියාව, එක්සත් අරාබි එමීර් රාජ්‍යයයෙන් ආනයනය කර තිබූ බවයි ඔහු සඳහන් කළේ.

බහාලුම් නිදහස් කිරීමේදී අනුගමනය කරන ලද ක්‍රමවේදය හේතුවෙන් මෙම බහාලුම්වල තිබුණේ ආනයනකරුවන් විසින් රේගුවට ප්‍රකාශ කරන ලද භාණ්ඩ පමණක් බවට විශ්වාස කරන බවත් ආනයන සටහන්වල සියලුම ලියකියවිලි පරීක්ෂා කර අදාළ බහාලුම් නිදහස් කිරීමට පියවර ගත් බවයි රේගු මාධ්‍ය ප්‍රකාශක අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ වැඩිදුරටත් සඳහන් කළේ.

වෛද්‍ය රසායනාගාර වෘත්තිකයින්ගේ වර්ජනය අවසන් කෙරේ

වෛද්‍ය රසායනාගාර වෘත්තිකයින්ගේ සංගමය ආරම්භ කළ වැඩවර්ජනය, අද (08) උදෑසන 8.00 ට අවසන් කර තිබෙනවා.

උසස් වීම් ප්‍රමාදය, සම සෞඛ්‍ය විද්‍යා පීඨ උපාධිධාරීන් සේවයට බඳවා නොගැනීම ඇතුලු ගැටලු 5 ක් මුල් කර ගනිමින් පරිපූරක වෛද්‍ය සේවයේ වෘත්තීන් 5 කට අයත් සේවකයින් පසුගිය 5 වනදා සිට වැඩවර්ජනයක් ආරම්භ කර තිබුණා.

ඉන්, වෘත්තීන් 4 කට අයත් පිරිස් ආරම්භ කළ වැඩවර්ජනය ඊයේ (07) උදෑසන 8 ට අවසන් කළ අතර වෛද්‍ය රසායනාගාර වෘත්තිකයින්ගේ සංගමයද සිය වර්ජනය අද උදෑසන අවසන් කර තිබෙනවා.

පොසොන් සතියට අනුරාධපුර පාසල් 12ක් වසා තැබෙයි

පොසොන් සතිය තුළ අනුරාධපුර ප්‍රදේශයේ පාසල් කිහිපයක් අද (07) සිට වසා තැබෙන බව උතුරු මැද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව පාසල් 12ක් මෙම කාලය තුළ වසා තැබීමට පියවර ගෙන ඇති බවයි උතුරු මැද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

පොසොන් සතිය ඊයේ (07) සිට ආරම්භ කෙරුණු අතර එය ලබන 13 වැනිදා දක්වා ක්‍රියාත්මක වනවා.