කළුබෝවිලදී වෙඩි තැබීමක්

කොහුවල පොලිස් වසමේ කළුබෝවිල පන්සල පාරේ පිහිටි නිවසකට වෙඩි තැබීමක් සිදුකර තිබෙනවා.

ඒ අනුව අද (15) අලුයම් කාලයේදී එම වෙඩි තැබීම සිදුකර ඇති අතර සැකකරුවන් විසින් නිවසේ ගේට්ටුවට හා නිවස දෙසට වෙඩි තබා ඇති බවයි සඳහන් වෙන්නේ.

යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති අතර වෙඩි තැබීමෙන් ජිවිත හානි හෝ තුවාල කිසිවක් සිදුව නොමැති බව පොලීසිය සඳහන් කළේ.

ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය හා කොහුවල පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.

බෝම්බ බියක් නිසා Air India යානයක් ආපසු හරවයි

අද (13) උදෑසන බෝම්බ තර්ජනයක් පිළිබඳව වාර්තා වීමෙන් පසු තායිලන්තයේ ෆුකෙට් සිට නවදිල්ලිය බලා පිටත් වූ Air India ගුවන් යානයක් (AI379) ආපසු ගුවන් තොටුපොළ වෙත හරවා යවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ අනුව, ගුවන් යානයට ඇති බෝම්බ තර්ජනයක් පිළිබඳව යානයේ නියමුවා එරට වේලාවෙන් උදෑසන 09:30ට ගුවන් ගමනාගමන පාලක මැදිරියට දැනුම් දුන් බව ෆුකෙට් ජාත්‍යන්තර ගුවන්තොටුපළ සඳහන් කර තිබෙනවා.

ගුවන් යානය හදිසි ගොඩබෑමට අවසර ලබා දෙන ලෙස ඔහු ඉල්ලා තිබෙනවා.

මගීන් 156 දෙනෙකු රැගත් ගුවන් යානය එරට වේලාවෙන් උදෑසන 09:15 ට ගුවන්ගත වී ඇති අතර, එය උදෑසන 11:38ට ආරක්ෂිතව ගොඩ බස්වා තිබෙනවා.

තද සුළං සහ රළු මුහුද පිළිබඳව අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක්

තද සුළං සහ රළු මුහුද පිළිබඳව අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව හලාවත සිට පුත්තලම මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශය සහ ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශය සඳහා මෙම අනතුරු ඇඟවීම නිකුත් කර ඇති බවයි සඳහන් වන්නේ.

එම ප්‍රදේශවලට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළංගේ වේගය විටින් විට පැ.කි.මී 60-70 පමණ දක්වා වැඩි වන අතර, මුහුදු ප්‍රදේශ විටින් විට ඉතා රළු විය හැකි බවත්, එම මුහුදු ප්‍රදේශවලට නැවත දැනුම්දෙන තුරු යාත්‍රා නොකරන ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ.

අදාළ නිවේදනය පහතින්.

කෙහෙළියට සහ ජයම්පති බණ්ඩාරට එරෙහි නඩුව විභාගයට දින නියම කෙරේ

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සහ රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති ජයම්පති බණ්ඩාර හීන්කෙන්ද යන අයට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනු කර තිබෙන නඩුව සැප්තැම්බර් මස 25 වැනිදා විභාගය සඳහා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියෝග කර තිබෙනවා.

ඒ අනුව ජනමාධ්‍ය අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී සිය පෞද්ගලික ජංගම දුරකථනයේ බිල වන රුපියල් 240,000කට ආසන්න මුදලක් රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ අරමුදල් වලින් ගෙවීම තුළින් රජයට පාඩුවක් සිදු කළේ යැයි ඔවුන්ට එරෙහිව චෝදනා එල්ල වී ඇති බවයි සඳහන් වෙන්නේ.

මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු සුජීව නිශ්ශංක ඉදිරියේ කැඳවනු ලැබූ අතර, එහිදී විත්තිකාර කෙහෙළිය රඹුක්වැල්ල වෙනුවෙන් පෙනී සිටින ජ්‍යෙෂ්ඨ ජනාධිපති නීතිඥවරයා අසනීප තත්ත්වයෙන් පසුවන හෙයින් නඩු විභාගය සඳහා වෙනත් දිනයක් ලබා දෙන ලෙස ඔහුගේ කනිෂ්ඨ නීතිඥවරු විසින් මෝසමක් ඉදිරිපත් කර තිබෙන බව දැනුම් දුන්නා.

අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරිය සඳහන් කළේ මෙය 2015 වසරේ ගොනු කළ නඩුවක් බවත්, නඩුව විභාගය සඳහා කෙටි දිනයක් ලබාදෙන ලෙසයි.

ඒ අනුව නඩු විභාගය සැප්තැම්බර් මස 25 වැනිදා දක්වා කල් තැබීමට නියෝග කළ මහාධිකරණ විනිසුරුවරයා එදින සාක්ෂිකරුවන්ට අධිකරණයේ පෙනී සිටින ලෙස දන්වා සිතාසි නිකුත් කරන ලෙසට නියෝග කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

ඉන්දීය ගුවන් අනතුර : ගුවන් යානයේ කළු පෙට්ටිය සොයාගනී

මගීන් සහ කාර්ය මණ්ඩලය ඇතුළුව පුද්ගලයින් 242 ක් සමඟ ඉන්දියාවේ අහ්මදාබාද් හිදී ඊයේ ගුවන් යානයක් අනතුරට ලක්වුණා.

<span style=’color:#e64d4d’><strong>නවතම තත්ත්වය පහතින් : 3.00 PM</strong></span>

* ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි අද (13) උදෑසන අහමදාබාද් හි ගුවන් අනතුර සිදුවූ ස්ථානයට පැමිණ නිරීක්ෂණය කර තිබෙනවා.

* අනතුර සිදුවූ ස්ථානය නැරඹීමෙන් පසු, අග්‍රමාත්‍යවරයා රෝහල වෙත ගොස්, එහි තුවාල ලැබූවන් කිහිප දෙනෙකු සමඟ සාකච්ඡා කළ අතර, අනතුරෙන් දිවි ගලවාගත් රමේෂ් විශ්වස්කුමාර් ද හමුවී තිබෙනවා.

* අනතුරින් දිවි ගලවාගත් රමේෂ් විශ්වස්කුමාර් මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කර ඇත්තේ, තමන් නිරුපද්‍රිතව එළියට පැමිණියේ කෙසේදැයි තමන් නොදන්නා බවත්, අනතුර සිදුවන අවස්ථාවේ තමන් මිය යනු ඇති බවට සිතුනු බවත්, පසුව තමන් දෑස් විවරකර බලන විට තමන් ජීවතුන් අතර සිටි අතර, තමන්ගේ ආසන පටිය ඉවත් කර ඉවතට පැමිණි බවයි.

* ගුවන් අනතුරෙන් මියගිය මගීන් 241කගේ මළ සිරුරු මේ වන විට අහමදාබාද් හි රෝහලේ තැන්පත් කර ඇති අතර, ඇතැම් මළ සිරුරු මේ වන විට ඥාතීන් විසින් හඳුනාගෙන ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.

* අනතුර සිදුවූ ගුවන් යානයේ කළු පෙට්ටි දෙකෙන් එකක් සොයාගෙන ඇති බවද ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

* ගුවන් යානයේ ඉන්දියානු ජාතිකයන් 169 ක්, බ්‍රිතාන්‍ය ජාතිකයන් 53 ක්, පෘතුගීසි ජාතිකයන් හත් දෙනෙකු සහ කැනේඩියානු ජාතිකයෙකු සිටි බව එයාර් ඉන්දියා සමාගම සඳහන් කළා.

* යානය පැදවූ ප්‍රධාන නියමුවා වන කපිතාන් සුමීත් සබර්වාල් පැය 8200 ක පියාසර අත්දැකීම් ඇති නිලධාරියෙක් බවත්, මාස කීපයකින් විශ්‍රාම ගැනීමට නියමිතව සිටි බවයි සඳහන් වෙන්නේ.

news images

ඉන්දීය ගුවන් අනතුර : එක් ගුවන් මගියෙක් දිවි ගලවා ගනියි

අනතුරට පත්වු එයාර් ඉන්දියා ගුවන් යානයේ සිටි එක් මගියෙකු දිවි බේරා ගැනීමට සමත් වී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

ඒ අනුව රමේෂ් විශ්වස්කුමාර් බුචර්වාද නම් පුද්ගලයා මෙලෙස මාරාන්තික අනතුරෙන් ආශ්චර්යමත් ලෙස දිවි ගලවාගෙන ඇති බවයි සඳහන් වෙන්නේ.

ගුවන් යානයේ අසුන්ගෙන සිටි 38 හැවිරිදි රමේෂ් සිද්ධිය අතරතුර ගුවන් යානයෙන් පැන අතර පසුව ඔහු මුද‍ාගෙන රෝහල් ගත කිරීමට කටයුතු කර ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කරන්නේ.

එම අනතුරෙන් ගුවන් යානයේ ගමන් ගත් අනෙකුත් මගීන් සියලු දෙනා ජීවිතක්ෂයට පත්ව ඇති බවයි ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

ඉන්දීය ගුවන් අනතුර : ගුවන් යානය ගැටී ඇත්තේ වෛද්‍ය නේවාසිකාගාරයක

මගීන් 232 ක් හා කාර්ය මණ්ඩලයේ 12 ක් සමඟ සමඟ ඉන්දියාවේ අහ්මදාබාද් හිදී ගුවන් යානයක් අද පස්වරුවේ අනතුරට ලක්වී තිබුණා.

නවතම තත්ත්වය පහතින් :

* ගුවන් යානය වෛද්‍ය නේවාසිකාගාරයක ගැටී ඒ මතට කඩා වැටී තිබෙනවා.

* වෛද්‍යවරුන් කිහිප දෙනෙකුගේ මහල් නිවාසවලට හානි සිදුවී ඇති අතර, බොහෝ පිරිසක් බේරා ගැනීමට කටයුතු කර තිබෙනවා.

* ගුවන් අනතුරෙන් දිවි ගලවා ගත් කිසිවෙකු නොමැති බවයි අහමදාබාද්හි පොලිස් ප්‍රධානියා සඳහන් කරන්නේ.

* එසේම ගුවන් යානාව කඩා වැටුණු ප්‍රදේශයේද ඇතැම් පුද්ගලයින් මියගොස් ඇති බවද ඔහු පවසනවා.

* ඉන්දීය විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක රන්දීර් ජයිස්වාල් සඳහන් කරන්නේ මෙම අනතුරෙන් බොහෝ පිරිසක් අහිමි වූ බවත්, ගලවා ගැනීමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක බවයි.

* ගුවන් යානයේ බ්‍රිතාන්‍ය ජාතිකයින් 53 ක් ගමන් කර ඇති අතර ඉන්දීය ජාතිකයින් 169 ක් ගමන් කර තිබෙනවා.

* අනතුර සිදුවු අහමදාබාද් හි ‘සර්දාර් වල්ලභභායි පටෙල්’ ජාත්‍යන්තර ගුවන්තොටුපළේ මෙහෙයුම් තාවකාලිකව නතර කර තිබෙනවා.

* අනතුර සම්බන්ධයෙන් X පණිවිඩයක් නිකුත් කරමින් එයාර් ඉන්දියා සභාපති නටරාජන් චන්ද්‍රසේකරන් පවසන්නේ මෙම ඛේදනීය අනතුරට මුහුණදුන් පවුල්වලට ශෝකය ප්‍රකාශ කරන බවත්, මේ මොහොතේ මූලික අරමුණ වන්නේ බලපෑමට ලක් වූ සියලුම පුද්ගලයින්ට සහ ඔවුන්ගේ පවුල්වලට සහාය වීම බවයි.

news images

news images

news images

බලංගොඩ පාසලක ගොඩනැගිල්ලක් මතට ගසක් කඩා වැටී එක් සිසුවෙක් මියගොස්, 17 ක් තුවාල ලබයි

බලංගොඩ රජවක මහ විද්‍යාලයේ ගොඩනැගිල්ලක් මතට ගසක් කඩා වැටී එක් සිසුවෙක් මියගොස් තවත් සිසුන් 17 ක් තුවාල ලබා තිබෙනවා.

ඒ අනුව අද දහවල් පැවති සුළං තත්ත්වයත් සමඟ ගසක් කඩා වැටීම නිසා මෙම අනතුර සිදුව ඇති බවයි සඳහන් වෙන්නේ.

තුවාල ලැබූ සිසුන් රෝහල්ගත කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

Correction : අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නගරයට ඇඳිරි නීතිය පනවයි

අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් හි විරෝධතා උත්සන්න වීමත් සමඟ එහි කොටසකට ඇඳිරිනීතිය පැනවීමට ලොස් ඇන්ජලීස් නගරාධිපතිවරයා විසින් තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

‍එරට පොලීසිය විසින් විරෝධතාකරුවන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරමින් ඇති අතර පසුගිය දින හතර තුළ අවම වශයෙන් පුද්ගලයින් 378 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.

ජාතික ආරක්ෂාවට සහ මහජන ආරක්ෂාවට තර්ජනයක් වන අන්තර්ජාතික අපරාධ සහ නීති විරෝධී සංක්‍රමණවලින් එක්සත් ජනපදය ආරක්ෂා කිරී‍මේ ආයතනය වන ආගමන හා රේගු බලාත්මක කිරීමේ (ICE) ආයතනයට සහ ට්‍රම්ප් පරිපාලනයට එරෙහිව ක්‍රියාත්මක මෙම විරෝධතා මේ වන විට නිව්යෝර්ක්, චිකාගෝ, සියැටල්, ඩෙන්වර්, සැන් ෆ්‍රැන්සිස්කෝ, ඇට්ලන්ටා සහ තවත් බොහෝ ප්‍රධාන නගරවලට ව්‍යාප්ත වී ඇති ඇති බවද සඳහන්.

ආගමන හා රේගු බලාත්මක කිරීමේ (ICE) ආයතනය මඟින් සිදුකරන වැටලීම්වලදී එරට පොලීසිය ඔවුන්ගේ සේවා ස්ථානවලට ඇතුළුවී පුද්ගලයින් රැසක් අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීමට කටයුතු කිරීමත් සමඟ පසුගිය සිකුරාදා මෙම විරෝධතා ආරම්භවී තිබුණා.

\මෙම විරෝධතාවයට හේතුව ලෙස අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් රටවල් 12 ක පුද්ගලයින්ට එරටට ඇතුලුවීම තහනම් කරමින් පැනවූ නියෝගයට එරෙහිව බවට අප මීට පෙර වාර්තා කරන ලද පුවතේ සඳහන් කර තිබූ අතර නව පුවත මඟින් එය නිවැරදි කර තිබෙනවා.

ගැරඬිඇල්ල අනතුරට එරෙහිව ගමනාගමන මණ්ඩලයට හා මාර්ග සංවර්ධන අධිකාරියට නඩු පැවරීමට නිර්දේශ කෙරේ

ගැරඬිඇල්ල අනතුරට හේතු වී ඇත්තේ අධික තෙහෙට්ටුව මත රියදුරුට ඇතිවූ නිදිමත ස්වභාවය බව අනතුර සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කළ කමිටුවේ සභාපති ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසනවා.

කෙසේ නමුත් මෙහිදී අනතුර සම්බන්ධයෙන් කිසිඳු වගකීමක් එම රියදුරුට පැවරීමක් සිදු නොකරන බවයි අද (11) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළේ.

‍අනතුරට හේතුව සම්බන්ධයෙන් කළ සොයා බැලීමේදී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ විශේෂඥ කණ්ඩායමක් විසින් සිදුකළ පරික්ෂාවේදී අදාළ බස් රථයේ කිසිඳු දෝෂයක් නොතිබූ බවට සඳහන් කර තිබෙනවා.

අනතුර සිදුවන අවස්ථාවේදී රියදුරු විසින් කිසිඳු මත්ද්‍රව්‍යයක් භාවිතා කර නොතිබුණු බවටත්, ඔහුට හෘදයාබාධයක් වැළඳී නොතිබූ බවටත් රියදුරුගේ මරණ පරීක්ෂණය සිදුකළ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා සහ රජයේ රස පරීක්ෂකවරයා තහවුරු කර ඇති බවත් ඔහු සඳහන් කළා.

රාත්‍රී 10.00 ට කතරගම ඩිපෝවෙන් පිටත්වන බස් රථයේ දිනක සම්පූර්ණ ගමන් කාලය පැය නවය හමාරක් පමණ වන අතර, බස් රථයේ කොන්දොස්තරගේ සහ රියදුරුගේ දිනක සේවා කාලය පැය දහතුන හමාරක් පමණ වන බවට නිරීක්ෂණය වූ බවත්, ඒ අනුව අනතුරට හේතුව ලෙස නිරීක්ෂණය වන්නේ රියදුරාට ඇතිවූ තෙහෙට්ටුව හේතුවෙන් නින්ද යාම නිසා බවයි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළේ.

මාර්ගයේ ගමන් කිරීම සඳහා නීතියේ ආකාරයට ගමනාගමන කොමිෂන් සභාවෙන් නිසි අවසරයක් ලබ‍ා නොගැනීම නිසා මෙම අනතුර සම්බන්ධයෙන් බස් රථයේ හිමිකාරීත්වය දරන ජාතික ගමනාගමන මණ්ඩලයට එරෙහිව නඩු පැවරීමට සිය වාර්තාව මඟින් නිර්දේශ කර ඇති බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසා සිටියා.

එසේම, අනතුර සිදුවූ ස්ථානයේ මාර්ගයේ යකඩ වැට, කොන්ක්‍රීට් කණු න‍ොමැතිවීම හා මාර්ග ආලෝකකරණය නොමැති වීම සම්බන්ධයෙන් මාර්ග සංවර්ධන අධිකාරියට ද නඩු පැවරීමට නිර්දේශ කරන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ.