රනිල්ගේ පෞද්ගලික විදේශ සංචාර සම්බන්ධයෙන් CID විමර්ශන අරම්භ කරයි

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ පුද්ගලික විදේශ සංචාර සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන ආරම්භ කර ඇති බව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබෙනවා.

ඒ අනුව, ඒ සම්බන්ධයෙන් වන වාර්තාවක් ගොනු කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුරට මේ බව දැනුම් දී ඇති බවයි සඳහන් වෙන්නේ.

හිටපු ජනාධිපතිවරයාට එරෙහිව සිදු කරනු ලබන විමර්ශන පොදු දේපල පනත ප්‍රකාරව සිදු කරනු ලබන බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

රුසියානු ජනපති හා ඉරාන විදේශ ඇමති අතර හමුවක්

රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් සහ ඉරාන විදේශ අමාත්‍ය Abbas Araghchi අතර සාකච්ඡාවක් අද (23) පවත්වා තිබෙනවා.

ඉරානයට එල්ල කරන ලද ප්‍රහාරය කිසිඳු පදනමක් සහ සාධාරණීකරණයක් නොමැති ප්‍රහාරයක් බව එහිදී රුසියානු ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.

මෙහිදී අදහස් දක්වා ඇති ඉරාන විදේශ අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ ඊශ්‍රායලය සහ අමෙරිකා එක්සත් ජනපදය විසින් සිදු කරන ලද ප්‍රහාර ජාත්‍යන්තර නීති සහ සම්මතයන් උල්ලංඝනය කිරීමක් බවයි.

චෝදනාවට ලක්වන විශේෂඥ වෛද්‍යවරිය අපේ සාමාජිකාවක් නොවෙයි – GMOA

සෞඛ්‍ය පද්ධතිය තුළ සිටින කවුරුන් හෝ රෝගී සත්කාරක සේවාවන් අඩපණ වන ලෙස කටයුතු කරන්නේ නම් හෝ මූල්‍යමය වංචා චෝදනාවන්ට ලක්වන්නේ නම්, ඒ සඳහා අවශ්‍ය පරීක්ෂණ සිදුකර තීන්දු තීරණ ගත යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

ඒ අනුව එම සිදුකරන පරීක්ෂණ සදහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මැදිහත්වීමට බලාපොරොත්තු නොවන බවත්, ඒ පරීක්ෂණ සඳහා අවශ්‍ය සහයෝගය ලබාදීමට ද සූදානම් බවයි අද (23) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ සඳහන් කළේ.

මෙම සිදුවීම සම්බන්ධයෙන් අවශ්‍ය නීතිමය පරීක්ෂණ, විනය පරීක්ෂණ යන සියල්ලම වහාම විධිමත් ලෙස සිදුකර, අවශ්‍ය තීන්දු තීරණ ගන්නා ලෙසට ඉල්ලා සිටින බවද ඔහු පවසා සිටියා.

වැරදි කරන පුද්ගලයින් රැකීමට තම සංගමය සූදානම් නොමැති බවද ඔහු කියා සිටියා.

අදාළ චෝදනාවට ලක්වන විශේෂඥ වෛද්‍යවරිය රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සාමාජිකාවක් නොවන බවයි එහි මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

මැද පෙරදිග තත්ත්වය සමනය කිරීමට ක්‍රියාමාර්ග ගන්නා ලෙස ශ්‍රී ලංකාවෙන් ඉල්ලීමක්

මැද පෙරදිග කලාපයේ තත්ත්වය සමනය කිරීම සඳහා ස්ථිර ක්‍රියාමාර්ග ගන්නා ලෙස ශ්‍රී ලංකාව සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටිනවා.

මැද පෙරදිග කලාපයේ වත්මන් තත්ත්වය පිළිබඳව ශ්‍රී ලංකාව දැඩි කනස්සල්ලට පත්ව ඇති බවයි නිවේදනයක් නිකුත් කරමින් විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය සදහන් කරන්නේ.

මැද පෙරදිග කලාපයේ ස්ථාවරත්වය සහතික කිරීමේ අරමුණින්, සාමය ස්ථාපිත කොට පවත්වා ගැනීම සඳහා, අදාළ සියලු පාර්ශ්වයන් නැවත සංවාදයට පැමිණ, නොපසුබට රාජ්‍ය තාන්ත්‍රික ප්‍රයත්නවල නිරත විය යුතුයි එම නිවේදනයේ වැඩිදුරටත් දක්වා තිබෙන්නේ.

අදාළ නිවේදනය පහතින්.

news images

වනාතවිල්ලුව ප්‍රාදේශීය සභා රැස්වීම පැවැත්වීම වළක්වාලමින් නියෝගයක්

වනාතවිල්ලුව ප්‍රාදේශීය සභාව සඳහා හෙට දින පැවත්වීමට නියමිත සභා රැස්වීම පැවැත්වීම වළක්වාලමින් අභියාචනාධිකරණය විසින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා.

ඉකුත් පළාත් පාලන ඡන්ද විමසීමේදී අදාළ ප්‍රාදේශීය සභාව සඳහා තරග වැදුණු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කණ්ඩායම් නායක සමන්ත මුණසිංහ විසින් ඉදිරිපත් කළ පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව, අභියාචනාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු විසින් මෙම නියෝගය නිකුත් කර ඇති බවයි සඳහන් වෙන්නේ.

අනතුරුව වග උත්තරකරුවන්ට නොතීසි නිකුත් කරන ලෙස නියෝග කළ විනිසුරුවරයා, පෙත්සම යළි ජූලි 16 වැනිදා කැඳවන ලෙස නියම කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

අදාළ ප්‍රාදේශීය සභාවේ එක් එක් පක්ෂ ලැබූ ඡන්ද සංඛ්‍යාව අනුව කාන්තා නියෝජනයට අදාළ මන්ත්‍රී ධුර වෙන් කිරීමේදී තම පක්ෂයට දැඩි අසාධාරණයක් සිදුව ඇති බවත්, අදාළ මන්ත්‍රී ධුර වෙන් කිරීමේදී තේරීම් භාර නිලධාරියා ගනු ලැබූ තීරණය සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බවත්, ඒ පිළිබඳව මැතිවරණ කොමිසමට ලිඛිතව පැමිණිලි කර සිටිය ද ඔවුන්ගෙන් මේ දක්වා කිසිදු ප්‍රතිචාරයක් ලැබී නොමැති බවත් එහිදී පෙත්සම්කාර පාර්ශ්වය පෙන්වා දී තිබෙනවා.

අනුරාධපුර බන්ධනාගාර අධිකාරීවරයා ඇප මත මුදා හැරීමට නියෝග

අනුරාධපුර බන්ධනාගාර අධිකාරීවරයා ඇප මත මුදා හැරීමට අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය අද (23) නියෝග කර තිබෙනවා.

ඒ අනුව, නඩුව අද (23) කැඳවූ අවස්ථාවේදී ඔහු රුපියල් ලක්ෂ 05 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමටත්, ඔහුට විදෙස් ගමන් තහනමක් පැනවීමටත් නියෝග කර ඇති බවයි සඳහන් වෙන්නේ.

නඩුව එළැඹෙන අගෝස්තු 04 වැනිදා යළි කැඳවීමට නියෝග කර තිබෙනවා.

අල්ලස් ගත් අම්පාරේ පොලිස් සැරයන්වරුන් දෙදෙනෙක් අත්අඩංගුවට

අල්ලස් ගැනීමේ චෝදනා මත පොලිස් සැරයන්වරුන් දෙදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ප්‍රවාහනය කිරීමේ ව්‍යාපාර කටයුතු බාධාවකින් තොරව සිදු කිරීමට සහ ව්‍යාපාරය සම්බන්ධයෙන් නීත්‍යානුකූලව කටයුතු නොකර සිටීම සඳහා පුද්ගලයෙකුගෙන් රුපියල් 25,000 ක මුදලක් ලබා ගැනීමට තැත් කිරීමේ චෝදනා මත ඔවුන් අත්අඩංගුවට ගෙන ඇති බවයි සඳහන් වෙන්නේ.

අම්පාර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයට අනුයුක්තව රාජකාරී කරනු ලැබූ පොලිස් සැරයන්වරුන් දෙදෙනෙක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඉරානයේ රැඳී සිටින ශ්‍රී ලාංකිකයින් සම්බන්ධයෙන් දැනුම්දීමක්

ඉරානයේ සිටින ශ්‍රී ලාංකිකයින් සම්බන්ධව තොරතුරු විදේශ කටයුතු විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය විසින් නිකුත් කර තිබෙනවා.

ඉරානය තුළ ශ්‍රී ලාංකිකයින් 41 දෙනෙකු සිටි බවත් ඉන් සිව් දෙනෙකු මේ වන විට රටින් පිටව ගොස් ඇති බවත් මේ වන විට ඉරානය තුළ ශ්‍රී ලාංකිකයින් 37 දෙනෙකු සිටින බවයි විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේ.

මෙම රැඳි සිටින ශ්‍රී ලාංකිකයින් අතරින් සිව් දෙනෙකු හෙට (23) දිනයේදී තුර්කි දේශසීමාව හරහා පිටත්වීමට නියමිත බවයි විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

ඊශ්‍රායල – ඉරාන යුද ගැටුම : ගැටුම ඉක්මනින් පාලනයෙන් මිදීමේ අවදානමක් ඇති බවට UN අනතුරු අඟවයි

ඊශ්‍රායලය විසින් ඉරානයට ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කිරීමත් සමඟ දෙරට අතර යුධමය තත්ත්වයක් ඇතිවූ අතර, මේ වන විට එය තීරණාත්මක ස්ථානයකට පැමිණ තිබෙනවා.

එහි නවතම තත්ත්වය : 11.15 AM

* ඉරානයේ නටාන්ස්, ඉස්ෆහාන් සහ ෆෝඩෝ යන න්‍යෂ්ටික මධ්‍යස්ථාන තුනකට ඇමෙරිකාව ප්‍රහාර එල්ල කර තිබෙනවා.

* ප්‍රහාරයෙන් පසුව ජාතිය අමතමින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කළේ, මෙහෙයුම සාර්ථකවීම සම්බන්ධයෙන් අමෙරිකානු හමුදාවට ප්‍රශංසා කරන බවත් ඉක්මනින් සාමය ඇති කර ගැනීමට හෝ වඩා විශාල ප්‍රහාරවලට මුහුණදීමට සූදානම්වන ලෙස අනතුරු අඟවන බවයි.

* මේ අතර සිය රටට ප්‍රහාර එල්ල වූ බව ඉරානය විසින් පිළිගෙන ඇති අතර සිදුවූ හානිය සම්බන්ධයෙන් ඔවුන් මේ වන තෙක් කිසිවක් ප්‍රකාශ කර නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.

* කෙසේ නමුත් ඉරාන රාජ්‍ය මාධ්‍ය වාර්තා කරන්නේ, ඩොනල්ඩ් ට්‍රම්ප් ෆෝඩෝ න්‍යෂ්ටික භූමිය විනාශ කිරීම ගැන අසත්‍ය ප්‍රකාශ කරන බවත් ෆෝඩෝ පිවිසුමේ සහ පිටවීමේ උමං මාර්ග දෙකකට පමණක් හානි සිදුවී ඇති බවයි.

* ‍ප්‍රහාරයෙන් අනතුරුව නිවේදනයක් නිකුත් කරන එක්සත් ජාතීන්ගේ සංවිධානය සඳහන් කරන්නේ, මෙය භයානක තත්ත්වයක් බවත් මෙම ගැටුම ඉක්මනින් පාලනයෙන් මිදීමේ අවදානමක් ඇති අතර මේ සඳහා ඇති එකම විසඳුම වන්නේ මිලිටරි යුද්ධයක් නොව රාජ්‍ය තාන්ත්‍රිකභාවය බවත් එකම බලාපොරොත්තුව සාමය බවයි.

* හමාස් සංවිධානය අමෙරිකාවේ ප්‍රහාරය හෙළා දකිමින් නි‍වේදනයක් නිකුත් කර තිබෙනවා.

* ඉරාන විදේශ අමාත්‍ය සෙයිඩ් අබ්බාස් අරග්චි, ප්‍රහාරය සම්බන්ධයෙන් සඳහන් කරන්නේ, ඉරානය තමන්ව ආරක්ෂා කර ගැනීම සඳහා සියලු පියවර ගෙන ඇති බවත් අද උදෑසන සිදුවීම් ප්‍රකෝපයට පත් කරන බවත් සදාකාලික ප්‍රතිවිපාක ඇති කරනු ඇති බවත් එක්සත් ජනපදය එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය “බරපතල ලෙස උල්ලංඝනය කර ඇති බවයි.

* ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථාන තුනකට පහර දීමෙන් පසු පිටත විකිරණ මට්ටම්වල වැඩිවීමක් නොමැති බව එක්සත් ජාතීන්ගේ න්‍යෂ්ටික නිරීක්ෂණ ආයතනය හා  ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සිය පවසනවා.

යාවත්කාලීන කිරීම් බලාපොරොත්තු වන්න.

බදුල්ල බස් රථ අනතුරෙන් මියගිය සංඛ්‍යාව 3 දක්වා ඉහළට

බදුල්ල – මහියංගනය ප්‍රධාන මාර්ගයේ දුන්හිඳ ප්‍රදේශයේදී බස් රථයක් මාර්ගයේ පෙරළීයාමෙන් ඊ‍යේ (21) පුද්ගලයින් තිදෙනෙක් මියගොස් තවත් 34 දෙනෙක් තුවාල ලබා තිබෙනවා.

වන්දනාකරුවන් පිරිසක් ප්‍රවාහනය කරමින් තිබූ බස් රථයක් බදුල්ල – මහියංගනය ප්‍රධාන මාර්ගයේ දුන්හිඳ 4 කණුව ප්‍රදේශයේදී විදුලි කණුවක ගැටී බස් රථය පෙරළී ගොස් ඊයේ මෙලෙස අනතුරට පත්ව තිබෙනවා.

අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු සහ රිය සහායක බදුල්ල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති අතර අනතුර සිදුවන අවස්ථාවේදී රථය පදවා ඇත්තේ රියදුරු සහායක විසින් බවයි පොලීසිය විසින් සිදුකළ විමර්ශනයේදී අනාවරණය වී තිබෙන්නේ.

news images

news images

news images