සමගි ජන බලවේගයේ විරෝධතාවට ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක්

සමගි ජන බලවේගයේ විරෝධතා රැළියට පොලීසියෙන් ජල සහ කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

විරෝධතාව සඳහා විපක්ෂ නායකවරයාද මේ වන විට එක්වී ඇති බවයි වාර්තා වන්නේ.

සමාජ මාධ්‍ය ක්‍රියාකාරී පියත් නිකේෂල හෙට දක්වා රිමාන්ඩ් කෙරේ

සමාජ මාධ්‍ය ක්‍රියාකාරී පියත් නිකේෂල හෙට (31) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

අත්අඩංගුවට ගත් ඔහු අද (30) කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ හමුවට අද ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබාදී ඇති බවයි වාර්තා වන්නේ.

ඔහු විසින් YouTube සමාජ මාධ්‍යයෙහි පළ කර තිබූ වීඩියෝවක් සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට අදාළව ඔහු අත්අඩංගුවට ගෙන තිබුණා.

මම රනිල් එක්ක උගන්ඩාත් ගියා මගේ සහයෝගය ඒ මනුස්සයාට තමයි – චාමර සම්පත්

ඉදිරි ජනාධිපතිවරණයේදී තමාගේ සහයෝගය හිමි වන්නේ වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහට බව රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක පවසනවා.

ඒ අනුව තමා පසුගිය දිනවල ජනාධිපතිවරයා සමඟ උගන්ඩා සංචාරයටද එක්වූ බවත් තමාගේ සහයෝගය හිමිවන්නේ වත්මන් ජනාධිපතිවරයාට බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ.

තමන් කතාකරන විදිය හෝ හැසිරෙන විදිය අදාළ නොවන බව සඳහන් කළ රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ, පළාතේ ජනතාවගේ දුකේදි සැපේදී සිටිනවා නම් සමාජ මාධ්‍යවල පළවනදෑ වලින් වැඩක් නොවන බවයි.

උදේ හවස ප්‍රාර්ථනා කරනවා මැරියන් මැරියන් කියලා, ඒ අයද රට ගොඩනගන්නේ? – විමලවිර

පසුගියදා සම්මත කළ Online Safety පනත බලගතු මදි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විමලවිර දිසානායක පවසනවා.

දේශපාලඥයින් අනෙකා වෙනුවෙන් කෙතරම් පරිත්‍යාගයක් සිදුකළේද යන්න දැන ගැනීමට  අභ්‍යන්තරය කියවා බැලිය යුතු බවයි අද (29) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ.

සමාජ මාධ්‍යවල උදේ සවස නිවන් සුව ප්‍රර්ථනා කරන බව සඳහන් කළ මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේ, රට ගොඩනගන්නේ ඔවුන්ද යන්න සම්බන්ධයෙන් ගැටලුවක් ඇති බවයි.

යුනිෆෝම් එකක් ඇඳන් ඉන්නවා නම් ගැහුවොත් ගහන්න ඕනෙ අනිත් පැත්තට – ටිරාන්

තමාට ප්‍රථමයෙන් සිදු කිරීමට සිදුවූයේ පොලිස් නිලධාරීන්ව ශක්තිමත් කිරීම බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් පවසනවා.

රාජකාරී නිල ඇඳුම ඇඳ සිටින්නේ නම් කවුරුන් හෝ පහරදීමට පැමිණෙන්නේ නම්, පෙරළා පහරදිය යුතු බවත්, නැතහොත් අදාළ නිල ඇඳුමෙන් ප්‍රයෝජනයක් නොමැති බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

තමාට දැඩි තීරණ ගැනීමට සිදුවූ බවත්, එම තීරණ ගැනීමට හැකිවූයේ ජනාධිපතිවරයා තමන්ට ලබාදුන් ශක්තිය නිසා බවයි උත්සවයක් අමතමින් අමාත්‍යවරයා සඳහන් කළේ.

එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන්ද මෙම මෙහෙයුම සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කර ඇති බව සඳහන් කළ අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ, තමා අමාත්‍ය ධූරයේ සිටිනතාක් ජාත්‍යන්තරයට අවශ්‍ය ආකාරයෙන් තමා වැඩ නොකරන බවයි.

හිටපු ක්‍රීඩා ඇමති නිකුත් කළ ගැසට් නිවේදනයක් වත්මන් ක්‍රීඩා ඇමති අවලංගු කරයි

ශ්‍රී ලංකා කරාතේ දෝ සම්මේලනය සහ ශ්‍රී ලංකා මෝටර් රථ ක්‍රීඩා සංගමයේ ලියාපදිංචිය අවලංගු කර එහි කටයුතු පවත්වාගෙන යාම  සදහා පත්කර තිබූ අතුරු කමිටු විසුරුවා හැරීමට ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පියවරගෙන තිබෙනවා.

ඒ අනුව අදාළ අතරු කමිටු විසුරුවා හැරීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇති බවයි සඳහන් වන්නේ.

එවකට ක්‍රීඩා අමාත්‍යවරයා ලෙස කටයුතු කළ රොෂාන් රණසිංහ විසින් කරාතේ දෝ සම්මේලනයේ සහ ශ්‍රී ලංකා මෝටර් රථ ක්‍රීඩා සංගමයේ ලියාපදිංචිය අත්හිටුවා අතුරු කමිටු පත් කිරීමට කටයුතු කර තිබුණා.

අදාළ ගැසට් නිවේදන පහතින්.

සනත් නිශාන්ත අමාත්‍යවරයාගේ රියදුරු රිමාන්ඩ් භාරයට

සනත් නිශාන්ත රාජ්‍ය අමාත්‍යවරයා අනතුරට පත් රථයේ රියදුරා වන 28 හැවිරිදි ප්‍රභාත් එරංග නමැති පුද්ගලයා පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහු පෙබරවාරි මස 5 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසට වැලිසර මහෙස්ත්‍රාත්වරයා විසින් නියෝග කර ඇති බවයි වාර්තා වන්නේ.

අනතුරින් තුවාල ලබා රාගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින රථය පැදවූ රියදුරා මෙම මාරක රිය අනතුර සම්බන්ධයෙන් පොලීසියට කරුණු දක්වා තිබෙන බවද සඳහන්.

උමාඔය ව්‍යාපෘතියෙන් ලබන මාසයේ සිට විදුලිය ලබාදෙනවා – ශෂීන්ද්‍ර රාජපක්ෂ

උමාඔය ව්‍යාපෘතිය යටතේ මෙගාවොට් 120ක විදුලි ධාරිතාවක් ලබන මාසයේ සිට ජාතික විදුලි පද්ධතියට එක් කිරීමට නියමිත බව වාරිමාර්ග රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ පවසනවා.

වාරිමාර්ග අමාත්‍යාංශය හරහා මහා පරිමාණ බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘති ගණනාවක් දැනට ක්‍රියාත්මක වන බවත්, ඒ යටතේ ආරම්භ කළ උමා ඔය ව්‍යාපෘතියෙහි වැඩ කටයුතු අවසන් අදිරයට පැමිණ ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කරනවා.

උමාඔය ව්‍යාපෘතියට සමගාමීව කුඹුරු හෙක්ටයාර් 4500කට සහ නව කුඹුරු හෙක්ටයාර් 1500කට ජලය සැපයීමට ද නියමිත බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

දුම්රිය ආපනශාලා හදිසි පරික්ෂාවන්ට ලක් කිරීමේ තීරණයක්

දුම්රිය තුළ පිහිටුවා ඇති ආපනශාලා හදිසි පරික්ෂාවන්ට ලක් කිරීමට තීරණයක් ගෙන ඇති බව ශ්‍රී ලංකා මහජන පරික්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් ශානක බෝපිටිය පවසනවා.

පසුගියදා මීනගයා දුම්රියේ ආපනශාලාව පරීක්ෂාවට ලක්වූ අතර, එහිදී එම ආපනශාලාව අපිරිසිදු ලෙස පවත්වාගෙන යන බව නිරීක්ෂණය වීමත් සමග ඉහත තීරණය ගත් බවයි ඔහු සඳහන් කළේ.

මේ අතර, පරීක්ෂාවට ලක්වූ මීනගයා දුම්රිය ආපනශාලා මැදිරිය අධිකරණ නියෝගයක් මත තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන තිබෙනවා.

විදුලි බිල නොගෙවීම නිසා බම්බලපිටිය දුම්රිය ස්ථානයේ විදුලිය විසන්ධි කෙරේ

විදුලි බිල නොගෙවීම හේතුවෙන් බම්බලපිටිය දුම්රිය ස්ථානයේ විදුලිය විසන්ධි කර තිබෙනවා.

විදුලිය නොමැතිව දින දෙකක් පමණ දුම්රිය ස්ථානයේ කටයුතු කුප්පි ලාම්පු හා වෙනත් ආධාරක මඟින් පවත්වාගෙන ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මේ සම්බන්ධයෙන් දුම්රිය ස්ථානාධිපති සංගමයෙන් සිදුකළ විමසීමකදී ඔවුන් සඳහන් කළේ, මේ වන තෙක් විදුලි සැපයුම නැවත ලබාදීමක් සිදුකර නොමැති බවයි.