විශ්ව බුද්ධ නැමති චීවරධාරියා යළිත් අත්අඩංගුවට

විශ්ව බුද්ධ නමින් පෙනී සිටි චීවරධාරියා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් යළි අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අනුව කළගෙඩිහේන ප්‍රදේශයේදී අදාළ චීවරධාරියා අත්අඩංගුවට ගෙන ඇති බවයි සඳහන් වන්නේ.

බුදු දහම පිළිබඳ ආන්දෝලනාත්මක ප්‍රකාශ නිකුත් කරමින් සහ සමාජ මාධ්‍යය තුළ ආන්දෝලනාත්මක හැසිරීම් සිදු කළ විශ්ව බුද්ධ නම් පුද්ගලයා මීට පෙර ද අධිකරණය හමුවට ඉදිරිපත් කර ඇප මත මුදාහැර තිබුණා.

ශ්‍රී ලංකා – උගන්ඩා ජනපතිවරු හමුවක්

උගන්ඩාවේ නිල සංචාරයක නිරත ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ උගන්ඩා ජනරජයේ ජනාධිපති යොවේරි මුසෙවේනි (Yoweri Museveni) අතර නිල හමුවවක් සිදුව තිබෙනවා.

මෙහිදී උගන්ඩා ජනාධිපතිවරයා විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහව ඉතා මිත්‍රශීලි ලෙස පිළිගත් අතර නායක දෙපළ අතර සුහද කථා බහකින් අනතුරුව ද්විපාර්ශ්වික සාකච්ඡා ආරම්භ කෙරුණු බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

ශ්‍රී ලංකාවේ නව ආර්ථික වැඩපිළිවෙළ පිළිබඳව මෙහිදී නායකයන් සාකච්ඡා කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කළේ.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.

65acae307d99apdf_page_0

සිවිල් ඇඳුමින් වාහන නැවැත්වීම තහනම් කරමින් පොලිසියට නව උපදෙස් මාලාවක්

සිවිල් ඇඳුමින් රාජකාරි සිදු කරන අවස්ථාවලදී රථවාහන පරීක්‍ෂා කිරීමටත්, නැවැත්වීමටත් කටයුතු නොකරන ලෙසට නව උපදෙස් මාලාවක් පොලිසියට නිකුත් කර තිබෙනවා.

මෙම උපදෙස් මාලාව ඊයේ (19) දිනයේ සියලුම පොලිස් ස්ථානවලට යොමු කළ බව වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පවසනවා.

පසුගියදා නාරම්මල ප්‍රදේශයේ දී පොලිස් නිලධාරියෙකු සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයෙක් මිය යාමත් සමඟ මෙම නව උපදෙස් මාලාව ලබා  දුන් බවයි වැඩබලන පොලිස්පතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කරන්නේ.

නාවික හමුදා මෙහෙයුමකින් විෂ මත්ද්‍රව්‍ය රැගත් ධීවර යාත්‍රා දෙකක් අත්අඩංගුවට

නාවික හමුදා බුද්ධි අංශය විසින් සිදු කළ මෙහෙයුමක දී හෙරොයින් යැයි සැක කෙරෙන මත්ද්‍රව්‍ය තොගයක් රැගත් ධීවර යාත්‍රා දෙකක් නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

මෙරට දකුණු මුහුදේ දී බහුදින ධීවර යාත්‍රාවක් සහ එක් දින ධීවර යාත්‍රාවක් මෙලෙස සිය භාරයට ගත් අතර, එම යාත්‍රාවල සිටි පුද්ගලයන්ද අත්අඩංගුවට ගත් බවයි නාවික හමුදාව සඳහන් කරන්නේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් සහ ධීවර යාත්‍රා ගාල්ල වරාය වෙත රැගෙන ආ බව නාවික හමුදාව වැඩිදුරටත් සඳහන් කරනවා.

නාරම්මල වෙඩි තැබීමේ සිද්ධියේ උප පොලිස් පරීක්ෂකවරයා 23 දක්වා රිමාන්ඩ්

නාරම්මල දී ඊයේ (18) ලොරි රථ රියදුරෙකුට වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ උප පොලිස් පරීක්ෂකවරයා ලබන 23 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබෙනවා.

ඒ අනුව නාරම්මල මහෙස්ත්‍රාත් අධිකරණයට ඔහු අද (19) ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබාදී ඇති බවයි සඳහන් වන්නේ.

ඊයේ රාත්‍රියේ නාරම්මල නගරයේ දී ගිරිඋල්ල දෙසට ධාවනය වූ ලොරි රථයක සිටි පුද්ගලයෙකුට අදාළ නිලධාරියා විසින් වෙඩි තබා තිබුණා.

පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ධම්මික පෙරේරා ඉදිරිපත් කිරීමට එකඟ වී නැහැ – ප්‍රසන්න රණතුංග

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා ඉදිරිපත් කිරීමට ඔහු සමඟ එකඟතාවක් ඇති කරගෙන නොමැති බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසනවා.

ඒ අනුව රටේ ජාතික ප්‍රශ්නය විසඳිය හැකි නායකයෙක් ලෙස තවත් එක් අවස්ථාවක් රනිල් වික්‍රමසිංහට ලබාදිය යුතු බවට තමා විශ්වාස කරන බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ.

ආර්ථික අර්බුදය විසඳන තෙක් වත්මන් ජනාධිපතිවරයාට අවස්ථාව ලබාදිය යුතු බවත් ඉන් පසු හොරු අල්ලන සහ කයිවාරු ගසන නායකයින් පත් කරගත හැකි බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

පදිංචිය අත්හැර යන විට සහ අලුතින් පදිංචියට පැමිණෙන විට පොලීසිය දැනුවත් කළ යුතුයි – වැඩබලන පොලිස්පති

ලංකාවේ ග්‍රාම නිලධාරී වසම් 14,022 තුළම ප්‍රජා පොලිස් කමිටු පිහිටුවා ඇති බව වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පවසනවා.

එම කමිටු හරහා සෑම නිවසකම සිටින්නේ කවුරුන්ද යන්න තොරතුරු ලබා ගැනීමට අපේක්ෂා කරන බවයි අද (18) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් වැඩබලන පොලිස්පතිවරයා සඳහන් කළේ.

ඒ අනුව කවුරුන් හෝ පුද්ගලයෙක් අදාළ ග්‍රාම සේවා වසමට අලුතින් පදිංචියට පැමිණෙන්නේ නම් අදාළ කමිටුව හරහා ළඟම ඇති පොලිස් ස්ථානයට වාර්තා කරන බවද ඔහු සඳහන් කළා.

එසේම කවුරුන් හෝ පදිංචිය අතහැර යන්නේ නම් ඉවත්වීම හා යන ස්ථානය සම්බන්ධයෙන් අදාළ ප්‍රජා පොලිස් කමිටු හරහා පොලීසිය දැනුවත් කළ යුතු බවත් එමඟින් විවිධ අපරාධ සිදු කිරීමට අදාළ ස්ථාන භාවිතා කිරීම වැළැක්වීමට අදහස් කරන බවයි වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් වැඩිදුරටත් සඳහන් කළේ.

ලබන ජනාධිපතිවරණයෙන් සජිත් ප්‍රේමදාස ජනාධිපති වෙනවා – රංජිත් මද්දුමබණ්ඩාර

එළඹෙන ජනාධිපතිවරණයෙන් සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස ජනාධිපති ධූරයට පත්වන බව එහි මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර පවසනවා.

ඒ අනුව තම ආණ්ඩුවක් යටතේ ජනතාව සහන සැලසීමට කටයුතු කරන බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ.

තම පක්ෂය ඕනෑම මැතිවරණයකට සූදානම් බවත්, රජයෙන් ඉල්ලා සිටින්නේ හැකි ඉක්මනින් මැතිවරණ පවත්වන ලෙසත් බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

අන්තරේ විරෝධතාවට ජල සහ කඳුළු ගෑස් ප්‍රහාරයක්

අන්තර්විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ විරෝධතාවයක් විසුරුවා හැරීම සඳහා පොලීසිය විසින් ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ලකර තිබෙනවා.

ඒ අනුව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය අසලදී මෙලෙස ජල හා කඳුළු ගෑස් ප්‍රහාරය එල්ල කර ඇති බවයි සඳහන් වන්නේ.

ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට එරෙහිව තවත් පෙත්සමක් ඉදිරිපත් කෙරේ

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ත්‍රස්ත විරෝධි පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැණි යැයි තීන්දු කරන ලෙස ඉල්ලා අන්තර් සමාගම් සේවක සංගමයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ විසින් අද (17) ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනුකර තිබෙනවා.

එම පනත් කෙටුම්පතේ අන්තර්ගත විධිවිධානවලින් යුද හමුදාව, පොලීසිය සහ වෙරළාරක්ෂක බළකායට ඕනෑම පුද්ගලයකු සාධාරණ හේතුවක් නොමැතිව අත්අඩංගුවට ගෙන රඳවා ගැනීමේ බලය ලබාදී තිබෙන බවයි ඔහු පෙන්වා දෙන්නේ.

මේ තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් සහතික කර තිබෙන පුද්ගල නිදහස, අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස ඇතුළු මූලික අයිතීන් උල්ලංඝනය වන බවත්, එබැවින් අදාළ පළාත් කෙටුම්පත සම්මත කිරීමට අවශ්‍ය නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් සහ ජනමත විචාරණයකින් එය අනුමත විය යුතු බවට තීන්දුවක් ලබා දෙන ලෙසයි ඔහු සිය පෙත්සම මඟින් වැඩිදුරටත් ඉල්ලා තිබෙන්නේ.

එහි වග උත්තරකරු ලෙස නීතිපතිවරයා නම් කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.