මෛත්‍රීට නිවසක් දීමට අමාත්‍ය මණ්ඩලය ගත් තීරණය ශ්‍රේෂ්ඨාධිකරණ​ය බලරහිත කරයි

මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී පදිංචිව සිටි කොළඹ, මහගමසේකර මාවතේ පිහිටි නිවස ඔහු විශ්‍රාම යාමෙන් පසුවත් ඔහුටම ලබාදීමට අමාත්‍ය මණ්ඩලය ගනු ලැබූ තීරණයෙන් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වීම සිදුවන බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබෙනවා.

ඒ අනුව අදාළ නිවස ලබාදීම සඳහා 2019 වසරේ ඔක්තෝම්බර් මස 15 වනදා ගනු ලැබූ අමාත්‍ය මණ්ඩල තීරණය බලරහිත කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර ඇති බවයි වාර්තා වෙන්නේ.

විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය සහ එහි විධායක අධ්‍යක්ෂ ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු විසින් ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාග කළ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය ලබාදී ඇති බවයි සඳහන් වෙන්නේ.

මෛත්‍රිපාල සිරිසේන අමාත්‍ය මණ්ඩලයේ ප්‍රධානියා වශයෙන් කටයුතු කරමින් තමන්ට හිමි වරප්‍රසාද පිළිබඳ තීන්දු තීරණ ගැනීම තුළින් ඔහු මහජන විශ්වාසය කඩකර ඇති බවත් ඒ තුළින් ඔහු මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට තීන්දු කරන ලෙස ඉල්ලා මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණා.

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල විසින් සිය නීතිඥවරු මාර්ගයෙන් අද (29) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව තමන්ව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කිරීම තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් ඒ වෙනුවෙන් රුපියල් මිලියන 100 ක වන්දියක් අය කර දෙන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල විසින් සිය නීතිඥවරු මාර්ගයෙන් අද (29) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළේය.

නීතිඥ සනත් විජේවර්ධන මාර්ගයෙන් ගොණුකර තිබෙන එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස පොලිස්පතිවරයා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා ඇතුළු පිරිසක් නම් කරනු ලැබ සිටිති.

පෙත්සම්කාර රඹුක්වැල්ල මහතා කියා සිටින්නේ ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමේ සිද්ධියට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා තමන් ඉකුත් පෙබරවාරි මස 02 වනදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටි බවයි.

එහිදී ප්‍රකාශයක් සටහන් කර ගැනීමෙන් පසුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් තමන්ව අත්අඩංගුවට ගෙන මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කොට රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කටයුතු කළ බවත් පෙත්සම්කරු සඳහන් කළේය.

තමන්ව අත්අඩංගුවට ගෙන පොදු දේපළ පනත යටතේ රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ගත් තීරණය සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බවත් ඒ තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබා දෙන ලෙසත් පෙත්සම්කරු අධිකරණයෙන් ඉල්ලා සිටී.

එමෙන්ම පොදු දේපළ පනත යටතේ තමන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම වැළැක්වීමේ අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසත් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වීම වෙනුවෙන් වග උත්තරකරුවන්ගෙන් රුපියල් මිලියන 100 ක වන්දියක් අයකර දෙන නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කාර රඹුක්වැල්ල ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වැඩිදුරටත් ඉල්ලා තිබේ. (aruna)

උණුසුම් කාලගුණ තත්ත්වය අඩු වැඩි වශයෙන් මැයි මාසය වන තෙක් පවතීවි – කාලගුණ දෙපාර්තමේන්තුව

පවතින උණුසුම් කාලගුණ තත්ත්වය අඩුවැඩි වශයෙන් මැයි මාසය වන තෙක් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව මැයි මාසයේ නිරිත දිග සුළං ප්‍රවාහය දිවයින හරහා ස්ථාපිත වන තෙක් මෙම තත්ත්වය පවතිනු ඇති බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් එම දෙපාර්තමේන්තුවේ දේශගුණ විපර්යාස හා පර්යේෂණ අධ්‍යක්ෂිිිකා අනූෂා වර්ණකුලසූරිය සඳහන් කළේ.

මේ දිනවල පවතින සුළං ප්‍රවාහය අඩුවීම, මිනිස් සිරුරට උණුසුම දැනෙන මට්ටම ඉහළ යාමට හේතුවී ඇති බවයි ඇය වැඩිදුරටත් සඳහන් කළේ.

2024 පළමු මාස 02 තු​ළ මිනීමැරීම් සිද්ධි වලින් පුද්ගලයින් 83 ක් මරුට – පොලිස් මාධ්‍ය ප්‍රකාශක

ජනවාරි පළමුවනදා සිට මේ දක්වා කාලය තුළදී මිනීමැරීම් හා සම්බන්ධ සිදුවීම් 76 ක් පමණ සිදුව ඇති බවත්, එම සිදුවීම් වලින් පුද්ගලයන් 83 දෙනෙකු පමණ මියගොස් ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව පවසනවා.

එසේම එම කාලයේදී ගෙවල් බිඳුම් සම්බන්ධ සිද්ධි 1,180 ක් වාර්තා වී ඇති බවත්, මංකොල්ලකෑම් 310 ක් වාර්තා වන බවයි මාධ්‍ය හමුවකට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

එසේම ජනවාරි පළමුවනදා සිට මේ දක්වා කාලය තුළදී වෙඩි තැබීමේ සිදුවීම් 20ක් පමණ සිදුව ඇති බවත්, ඒවායින් 10 ක් පමණ සංවිධානාත්මක අපරාධකරුවන්ගේ මැදිහත්වීමෙන් සිදුව ඇති බවට අනාවරණය වී ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසා සිටියා.

කෙසේ වෙතත් මෙම වාර්තාවීම් පසුගිය වර්ෂවලට සාපේක්ෂව අඩුවීමක් බවයි ඔහු වැඩිදුරටත් පවසා සිටියේ.

අධික උණුසුම් කාලගුණය නිසා පාසැල් සිසුන්ට රෝගාබාධ වැළඳීමේ ප්‍රවණතාවය ඉහළට

මේ දිනවල පවතින අධික උණුසුම් කාලගුණික තත්ත්වය හේතුවෙන් පාසල් සිසුන්ට යම් යම් රෝගාබාධ වැළඳීමේ ප්‍රවණතාවය ඉහළ ගොස් ඇති බව බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දිපාල් පෙරේරා පවසනවා.

අධික උණුසුම් තත්ත්වයෙන් ළමුන් රෝගී වීම වළක්වා ගැනීම සඳහා අවශ්‍ය පියවර ගන්නැයි ඔහු ඉල්ලා සිටිනවා.

අධික උණුසුම් කාලගුණික තත්ත්වය හමුවේ ඇති විය හැකි අහිතකර තත්ත්වයන්ගෙන් පාසල් සිසුන් ආරක්ෂා කරගැනීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශයද විශේෂ උපදෙස් මාලාවක් නිකුත් කර තිබුණා.

වැටුප් වැඩි කිරීම පිළිබඳ​ව ශ්‍රී ලංකා මහ බැංකු විධායක නිලධාරීන්ගේ සංගමයෙන් නිවේදනයක්

ශ්‍රී ලංකා මහ බැංකුවේ සේවක වැටුප් සංශෝධනය අරභයා සමාජය තුළ ඇතිව ඇති විවේචනාත්මක කතිකාවත අතිශයින්ම ඒකපාර්ශවීය මෙන්ම කරුණු නිසියාකාරව නොදැන හෝ පෞද්ගලික න්‍යාය පත්‍ර මත ගෙන එන ලද්දක් වන බව ශ්‍රී ලංකා මහ බැංකු විධායක නිලධාරීන්ගේ සංගමය පවසනවා.

ඒ අනුව ආයතනික යහපාලන පරිචයන් සලකා බලා රජයේ ඇතැම් ආයතනයන්හි මෙන්ම ශ්‍රී ලංකා මහ බැංකුවේද වැටුප් සංශෝධනය සෑම වසර තුනකට වරක් සිදුකිරීම දශක කිහිපයක සිට සිදුවන බවයි එම සංගමය පෙන්වා දෙන්නේ.

පසුගිය වසර තුළ ශ්‍රී ලංකා මහ බැංකුවට එහි සේවය කළ පළපුරුදු නිලධාරීන් 100 කට ආසන්න පිරිසක් අහිමිවීම හා ඔවුන් අතරින් ඇතැමෙක් ලෝක බැංකුව හා ඊට අනුබද්ධිත ආයතන, එංගලන්ත මහ බැංකුව සහ පොදු රාජ්‍ය මණ්ඩලීය ලේකම් කාර්යාලය ඇතුළු ජාත්‍යන්තර ආයතන කිහිපයක සේවයට සම්බන්ධ වී ඇති බවද ඔවුන් පෙන්වා දෙනවා.

මෙම වැටුප් සංශෝධනය සිදුනොවුනේ නම් ඉතිරි නිලධාරීන්ගෙන්ද සැලකිය යුතු ප්‍රමාණයක් ශ්‍රී ලංකා මහ බැංකුව මෙන්ම, රටද හැරයාම තවදුරටත් තීව්‍ර වී බැංකුවේ කටයුතු අඩාල වීමට හැකියාව තිබූ බවත්, වර්තමානයේ එල්ලවන විවේචනයන් සිදුවන්නේ මෙකී යථාර්ථය සහමුලින්ම නොසලකා හරිමින් වීම කණගාටුදායක බවයි බව ශ්‍රී ලංකා මහ බැංකු විධායක නිලධාරීන්ගේ සංගමය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.

65dc7a16e4dbf 65dc7a166ab2a

අද දින පෙරවරු 11.05 ට පමන ගල්කිස්ස සිට අලුත්ගම බලා ධාවනය වූ දුම්රියට බේරුවල සහ හෙට්ටිමුල්ල උප දුම්රිය ස්ථානය අසල බෞද්ධ භික්ෂුණියක් දුම්රියේ වැදී මිය ගොස් ඇත

අද දින පෙරවරු 11.05 ට පමන ගල්කිස්ස සිට අලුත්ගම බලා ධාවනය වූ අංක 8788 දරන දුම්රියට බේරුවල සහ හෙට්ටිමුල්ල උප දුම්රිය ස්ථානය අතර සැතපුම් 36 කණුව අසල බෞද්ධ භික්ෂුණියක් දුම්රියේ වැදී මිය ගොස් ඇති අතර එම මළ සිරුර දුම්රිය ප්‍රධාන නියාමක විසින් අලුත්ගම දුම්රිය ස්ථානයට භාරදී ඉන් අනතුරුව අලුත්ගම ප්‍රාදේශීය රෝහල වෙත බාර දී ඇත.

අනන්‍යතාවය තහවුරු කර ගැනීමට කිසිවක් නොමැති අතර
මේ පිලිබදව අලුත්ගම පොලිස් ස්ථානයේ නිලධාරීන් වැඩි දුර පරීක්ෂණ සිදු කරනු ලබයි

ගල්පාත චන්දන පෙරේරා

කොළඹ ජම්පටාවීදියේ වෙඩි තැබීමක්

කොළඹ ජම්පටාවීදිය ප්‍රදේශයේ වෙඩිතැබීමක් සිදුව තිබෙනවා.

ඒ අනුව වෙඩිවැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයෙකු රෝහල්ගතකර ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් මහ බැංකුවෙන් පැහැදිළි කිරීමක්

ශ්‍රී ලංකා මහ බැංකු සේවකයින්ගේ වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් මහ බැංකුව නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව පාර්ලිමේන්තු සැසිවාරවල දී මන්ත්‍රීවරු කිහිප දෙනෙක් සිදුකළ අදහස් දැක්වීම් සම්බන්ධයෙන් සිය අවධානය යොමුවූ බවයි මහ බැංකුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

එම වැටුප් වැඩි කිරීම ශ්‍රී ලංකා මහ බැංකු පාලක මණ්ඩලයේ අනුමැතිය සහිතව වෘත්තිය සමිති හා එළැඹ ඇති එකඟතා ගිවිසුමට අනුකූලව සිදුකර ඇති බවයි සඳහන් වෙන්නේ.

මේ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීම සඳහා ලිඛිතව අවස්ථාව ඉල්ලන ලෙස පාලක මණ්ඩලය කළ දැනුම්දීම අනූව මුදල් අමාත්‍යවරයා ලෙස ද කටයුතු කරන ජනාධිපතිවරයා වෙත 22 වනදා මහ බැංකු අධිපති ලිපියක් යොමු කළ බවත් එම අවස්ථාව ලැබුණු පසු සුදුසු පාර්ලිමේන්තු කමිටුවක් ඔස්සේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ව දැනුවත් කිරීමට මහ බැංකුව සූදානමින් පසුවන බවයි එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

අදාළ නිවේදනය පහතින්.

65daf6e29a03epdf_page_0

මත්ද්‍රව්‍ය භාවිතා කර රිය ධාවනය කළ රියැදුරන් 125 ක් අත්අඩංගුවට

මත්පැන් හා මත්ද්‍රව්‍ය භාවිතා කර රිය ධාවනය කළ රියැදුරන් 125 දෙනෙකු මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න පවසනවා.

මත්ද්‍රව්‍ය භාවිතා කර රථවාහන ධාවනය කරන රියැදුරන් හඳුනා ගැනීමේ විශේෂ වැඩපිළිවෙළ දකුණු පළාතේ ද, අධිවේගී මාර්ගවල ද මේ වනවිට ක්‍රියාත්මක බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

ඒ අනුව එම වැඩ පිළිවෙලෙහි සාර්ථකත්වය මත එය දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවද ඔහු වැඩිදුරටත් පවසා සිටියා.