පසුගිය වසරේදී ළමා අපයෝජන සිද්ධීන් ගැන පැමිණිලි 9000ක් – ජාතික ළමා ආරක්ෂක අධිකාරිය

ළමා අපයෝජන සිද්ධීන් සම්බන්ධයෙන් වූ පැමිණිලි 9,000කට වැඩි සංඛ්‍යාවක් පසුගිය වසරේ දී ජාතික ළමා ආරක්ෂක අධිකාරිය වෙත ලැබී ඇති බව එහි සභාපති ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය උදය කුමාර අමරසිංහ පවසනවා.

ඒ අනුව 2023 ජනවාරි 01 සිට දෙසැම්බර් 31 දක්වා කාලය තුළ ළමා ආරක්ෂක අධිකාරිය වෙත පැමිණිලි 9,434ක් ලැබී ඇති බවයි ඔහු පවසන්නේ.

මෙම පැමිණිලි සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම සඳහා මේ වන විටත් අදාළ අංශ වෙත යොමුකර ඇති බවත්, ළමා අපයෝජන වළක්වා ගැනීම සඳහා දැනට පවතින ඇතැම් නීති සංශෝධනය කිරීමට ද සාකච්ඡා සිදුකරමින් පවතින බවත් සභාපතිවරයා වැඩිදුරටත් පවසා සිටියා.

Online Safety පනත ගැන සමන්තා පවර්ගෙන් ජනපතිට ඉල්ලීමක්

USAD ආයතනයේ පරිපාලක සමන්තා පවර් සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතර හමුවක් සිදුව තිබෙනවා.

ඒ අනුව නිදහසේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සහ රැස්වීම යන අංශ කෙරෙහි අමෙරිකාව සිය සහාය දෙන බවයි ඇය එහිදී පෙන්වාදී තිබෙන්නේ.

Online Safety පනත ගැන මතුව ඇති ගැටලු සහ නිදහසේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට ඇතිවන බලපෑම සම්බන්ධයෙන් සොයා බලන ලෙසත්, එම පනත මගින් ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථිකයට ඇතිවිය හැකි බලපෑම සම්බන්ධයෙන් ද අවධානය යොමුකරන ලෙසයි ඇය එහිදී ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇත්තේ.

මෙරට ආර්ථික අභියෝගයන් ජයගැනීම සඳහා අවශ්‍ය සහාය ලබාදෙන බවද ඇය එහිදී පොරොන්දුවී ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

සෞඛ්‍ය වැඩ වර්ජනය හෙට අවසන්

සෞඛ්‍ය වැඩ වර්ජනය හෙට (15) උදෑසන 06.30 සිට අවසන් බව සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය පවසනවා.

වෛද්‍යවරුන්ට ලබාදෙන දීමනාවට සමාන දීමනාවක් තමන්ට ද ලබාදෙන ලෙස ඉල්ලා සෞඛ්‍ය වෘත්තීය සමිති 72ක් ඊයේ (13) උදෑසන 06.30 සිට වැඩ වර්ජනයක් ආරම්භ කර තිබුණා.

2024 සාමාන්‍ය පෙළ විභාග අපේක්ෂකයින්ට දැනුම්දීමක්

2024 මැයි මස අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයට (2023) පෙනී සිටීමට ජාතික හැඳුනුම්පත් ලබාගැනීමට ඉල්ලුම් කර ඇති පුද්ගලයින්ට පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

ඒ අනුව ජාතික හැඳුනුම්පත ලබා ගැනීමට ඉල්ලුම් කරන ලද 2005.02.01 සිට 2008.01.31 දක්වා උපන් අයඳුම්කරුවන් වෙත නිකුත් කරන තොරතුරු තහවුරු කිරීමේ ලිපිය මේ වන විට සියලුම ඉල්ලුම්කරුවන්ට යොමු කර ඇති බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ඉල්ලුම්පත්‍රයේ නිවැරදිව ලිපියන සඳහන් නොකරන ලද හෝ වෙනත් හේතුවෙක් නිසා මෙතෙක් එය නොලැබුණු ඉල්ලුම්කරුවන්ට www.drp.gov.lk වෙබ් අඩවියෙන් භාගත කර ගැනීමේ පහසුකම ලබාදී ඇති බවයි පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරන්නේ.

අදාළ නිවේදනය පහතින්.

65cb5964f3e8e

සෞඛ්‍ය වෘත්තීය සමිතිවල වැඩවර්ජනය හෙට දිනයේත් පැවැත්වෙයි

සෞඛ්‍ය වෘත්තීය සමිති හෙට (14) දිනයේත් වැඩවර්ජනයේ නිරත වන බව ප්‍රකාශයට පත්කර තිබෙනවා.

වෛද්‍යවරුන්ට ලබාදෙන දීමනාවට  සමාන දීමනාවක් තමන්ට ද ලබාදෙන ලෙස ඉල්ලා සෞඛ්‍ය වෘත්තීය සමිති 72ක් අද (13) උදෑසන 06.30 සිට වැඩවර්ජනයක් ආරම්භ කළා.

සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ වර්ජකයින්ගෙන් ඉල්ලා සිටින්නේ ජනතාව වෙනුවෙන් සේවය පත්වාගෙන යාමට යළි සේවයට වාර්තා කරන ලෙසයි.

5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව අභියාචනා හෙට සිට මාර්ගගත ක්‍රමයට බාර ගැනේ

2023 වර්ෂයට අදාළව 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව අභියාචනා අයදුම්පත් යොමු කිරීම මාර්ගගත ක්‍රමයට සිදුකළ හැකි බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා.

ඒ අනුව හෙට (13) දින සිට පෙබරවාරි 29 දින දක්වා අධ්‍යාපන අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවිය වන www.moe.gov.lk වෙත පිවිස මාර්ගගත ක්‍රමයට අභියාචනා යොමු කිරීමට හැකි බවයි ඔවුන් දැනුම් දෙන්නේ.

එසේම http://g6application.moe.gov.lk/#/  යන සබැඳිය ඔස්සේ සෘජුවම අභියාචනා යොමු කිරීමේ හැකියාව පවතිනවා.

උණුසුම් කාලගුණයත් සමඟ චර්ම රෝග වැඩිවෙලා – විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා

මේ දිනවල පවතින අධික වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් චර්ම රෝගවල ව්‍යාප්තියක් දක්නට ලැබෙන බව ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා පවසනවා.

ඒ අනුව දරුවන්ට දිනකට දෙවරක් හෝ ස්නානය කිරීමට අවස්ථාව ලබාදිය යුතු බවත්, චර්ම රෝග ඇති අයෙක් නම් උදෑසනට හා රාත්‍රීයට විනාඩි 20ක පමණ කාලයක් ජලයේ සිටීමෙන් එම තත්ත්වය යම් දුරකට පාලනය කරගත හැකි බවයි වෛද්‍යවරයා සඳහන් කළේ.

එමෙන්ම නිසි පරිදි ජලය හා දියර වර්ග පානය කිරීමට කටයුතු කළ යුතු බවද විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා වැඩිදුරටත් සඳහන් කරනවා.

විදුලි ගාස්තුව ගැන සමීක්ෂණ අයාතනයේ කරුණු පිළිගන්න බැහැ – කංචන විජේසේකර

දකුණු ආසියාවේ වැඩිම විදුලි ගාස්තුවක් අය කරන රට ශ්‍රී ලංකාව බවට වෙරිටේ රිසර්ච් ආයතනය ඉදිරිපත් කළ කරුණු පිළිගත නොහැකි බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

ඒ අනුව එම සමීක්ෂණය සඳහා තොරතුරු පාදක කරගෙන තිබුණේ ජනතාව නොමග යවන ආකාරයට බවයි මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ.

මෙම සමීක්ෂණ සිදුකරන්නේ මැතිවරණයක් පවතින අවස්ථාවක යම් කණ්ඩායමගේ අවශ්‍යතාවයකටදැයි ගැටලුවක් පවතින බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේදී එය පෞද්ගලික අංශයට ලබාදෙනවාද යන්න සම්බන්ධයෙන් තවමත් කිසිඳු තීරණයක් ගෙන නොමැති බවත් ප්‍රතිව්‍යුහගත කිරීමේ අරමුණ වන්නේ පවතින සේවාවන් කාර්යක්ෂම කිරීම, ගුණාත්මක විදුලිබලයක් ලබාදීම හා පවතින කාර්යන් විනිවිද භාවයෙන් සිදුකිරීම බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

හංගේරියානු ජනාධිපතිවරිය ඉල්ලා අස්වෙයි

හංගේරියානු ජනාධිපති Katalin Novak සිය ධුරයෙන් ඉල්ලා අස් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ළමා ලිංගික අපයෝජන සිද්ධියක් වසන් කිරීමේ චෝදනාවට වරදකරු වූ පුද්ගලයෙකුට සමාව දීමට ගත් තීරණය හේතුවෙන් තමා සිය ධුරයෙන් ඉල්ලා අස් වන බවයි ඇය සිය ඉල්ලා අස්වීම නිවේදනය කරමින් කළේ.

ළමා නිවාසයක අධ්‍යක්ෂවරයෙකුට එරෙහි ව එල්ල වී තිබූ ලිංගික අපයෝජන චෝදනයක් සම්බන්ධයෙන් වූ පැමිණිල්ල ඉල්ලා අස්කර ගන්නා ලෙසට ළමුන්ට බලකිරීම සම්බන්ධයෙන් සිරගත වූ පුද්ගලයෙකුට ජනාධිපති කැටලීන් නොවැක් පසුගිය සතියේ ජනාධිපති සමාව ලබාදී තිබුණා.

ඒ සම්බන්ධයෙන් හංගේරියාවේ විරෝධතා පැවති අතර, විරෝධතාකරුවන් සඳහන් කළේ, ජනාධිපතිවරිය සිය ධුරයෙන් ඉල්ලා අස් විය යුතු බවයි. ඒ අනුව අදාළ පුද්ගලයාට සමාව ලබාදීමේ දී තමා වරදක් කළ බව පවසමින් හංගේරියානු ජනාධිපති කැටලින් නොවැක් ජනතාවගෙන් සමාව අයැද සිට ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් වාර්තා කරන්නේ.

ව්‍යවසායකත්ව අදහස් අගයන Mora Ventures 6 වන අදියර සඳහා අයදුම්පත් භාරගැනීම ඇරඹේ

මොරටුව විශ්ව විද්‍යාලය සංවිධානය කරන Mora Ventures නව්‍ය ව්‍යාපාරික අදහස් ඇගයීමට ලක් කිරීමේ තරඟාවලියෙහි 6 වන අදියර සඳහා අයදුම්පත් භාර ගැනීම මේ වන විට ආරම්භ කර තිබෙනවා.

මෙරට නව ව්‍යවසායකයින් සහ නවෝත්පාදකයින් උදෙසා වේදිකාවක් තනා දෙන මෙම තරඟාවලිය සඳහා වයස් සීමාවකින් තොරව ඕනෑම ක්ෂේත්‍රයක අයෙකුට හෝ කණ්ඩායමකට අයදුම් කළ හැකි බවයි එම තරඟාවලිය සංවිධානය කරන මොරටුව විශ්විද්‍යාලයේ ව්‍යවසායකයින්ගේ සංගමය පවසන්නේ.

අයදුම්පත් භාරගැනීම පෙබරවාරි 25 වැනිදා මධ්‍යම රාත්‍රියෙන් අවසන් වන අතර වැඩි විස්තර entrepreneurship.uom@gmail.com යන ඊමේල් ලිපිනයෙන් ලබාගත හැකි බව ඔවුන් දැනුම් දෙනවා.

අයඳුම්පත් මෙතැනින් යොමු කළ හැකියි.