මහ බැංකුවේ වැටුප් ගැන සමාලෝචනයට ජනපතිගෙන් ස්වාධීන කමිටුවක්

මහ බැංකු නිලධාරීන්ගේ වැටුප් වැඩිවීම සමාලෝචනයට මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ ස්වාධීන කමිටුවක් පත්කර තිබෙනවා.

රාජ්‍ය මුදල් පිළිබඳ කමිටු වාර්තාවේ (CoPF) නිර්දේශ මත පදනම්ව මහ බැංකුවේ (CBSL) වැටුප් වැඩිවීම සම්බන්ධයෙන් මෙම කමිටුව මඟින් සමාලෝචනය කිරීමට නියමිත බවයි වාර්තා වෙන්නේ.

ටෙස්ට් කරන්න නායකයෝ ගේන්න හදන්න එපා – දයාසිරි

පරික්ෂා කිරීම සඳහා නායකයින් ගෙන ඒමට කටයුතු නොකරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

රටක් බාරදීමේදී ෆයිඩ් රයිස් හදන ආකාරයෙන් කල්පනා නොකරන ලෙසයි ජන හමුවක් අමතමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ.

එසේ පරික්ෂා කිරීම සඳහා අවුරුදු 5 කට බලය දුන්නාට මාස 6 න් එය අවසන් වීමටද හැකියාව ඇති බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළා.

අප්‍රේල් මාසයේදී බිත්තරයක් රුපියල් 35ට අඩුවෙන් ලබාදීමට හැකිවේවි – කෘෂිකර්ම ඇමති

අප්‍රේල් මාසය තුළදී දේශීය බිත්තරයක් රුපියල් 35ට වඩා අඩු මිලකට ගෙන ඒමට හැකිවනු ඇති බව අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා

දෛනික දේශීය කුකුළු බිත්තර නිෂ්පාදනය සමස්ත දෛනික අවශ්‍යතාව ඉක්මවා ගොස් තිබෙන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

අවුරුදු මාසයේ දී බිත්තරයක මිල රුපියල් 100 ක් ඉක්මවන බවට ඇතැම් පිරිස් ප්‍රචාර ගෙන ගියද රුපියල් 35කට අඩු මිලකට බිත්තර ලබාදිය හැකි බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා.

ප්‍රාදේශීය ලේකම් ඇතුළු තනතුරු කිහිපයකට අමතර දීමනාවක්

ප්‍රාදේශීය ලේකම් ඇතුළු තනතුරු කිහිපයක් සඳහා මේ මාසයේ සිට ලබන දෙසැම්බර් දක්වා අමතර දීමනාවක් ලබාදීමට පියවර ගෙන ඇති බව පළාත් සභා, පළාත් පාලන සහ පරිසර රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර පවසනවා.

ඒ අනුව, ප්‍රාදේශීය ලේකම්, සහකාර ප්‍රාදේශීය, සහකාර අධ්‍යක්ෂ, ගණකාධිකාරි යන තනතුරු සඳහා එම දීමනාව ලබා දෙන බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.

සංවර්ධන කටයුතු කඩිනම් කිරීමේ අරමුණින් මෙම දීමනාව ලබාදෙන බවද ඔහු වැඩිදුරටත් පවසා සිටියා.

අද සහ හෙට මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් – දුම්රිය දෙපාර්තමේන්තුව

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ගමන් වාර 25ක් අද (30) දිනයේ අවලංගු වනු ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

එසේම අද (30) සහ හෙට (31) දිනවලදී මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනයේ යම් ප්‍රමාදයක් සිදුවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව තවදුරටත් පවසන්නේ.

නාගරික සංවර්ධන අධිකාරිය විසින් වැල්ලවත්ත සහ බම්බලපිටිය දුම්රිය ස්ථාන අතර ඇති නල මාර්ගයක සිදුකරන නඩත්තු කටයුත්තක් හේතුවෙන් වැල්ලවත්ත සහ කොටුව අතර දුම්රිය ධාවනය එක් මංතීරුවකට සීමා කිරීම මීට හේතුවී ඇති අතර හෙට රාත්‍රියෙන් පසු දුම්රිය ධාවනය යථා තත්ත්වයට පත්වනු ඇති බවයි දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසන්නේ.

විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද වෙනුවට නව බද්දක් හඳුන්වාදීමට රජයේ අවධාන​ය

විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ලබන ජනවාරි මාසයේ සිට අහෝසි කිරීමට සිදුකළ යෝජනාව කැබිනට් මණ්ඩලය පිළිගත් බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

දේශීය නිෂ්පාදකයා ආරක්ෂා කිරීමට සහ පාරිභෝගිකයා ආරක්ෂා කිරීමට නව බද්දක් හඳුන්වා දෙන බවයි රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

ආනයන අපනයන බදු සරල කිරීම මෙම තීරණය ගැනීමට එක් හේතුවක් බවයි අද (29) උදෑසන රුවන්වැල්ල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

මාස දෙකක් තුළ රුපියල් මිලියන 983.7ක අපනයන ආදායමක්

ඉකුත් මාස දෙකක කාලය තුළ පමණක් ශ්‍රී ලංකාව රුපියල් මිලියන 983.7ක අපනයන ආදායමක් ලබා තිබෙන බව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර පවසනවා.

එමඟින්ද රට මේ වන විට නිවැරදි ආර්ථික මඟක ගමන් ගන්නා බව තහවුරු කෙරෙන බවයි මාධ්‍ය හමුවකට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.

පාසල තුළදීම ව්‍යවසායක පරිසරයක් නිර්මාණය කිරීම මිනිසුන් ව්‍යවසායකයන් බවට පත් කිරීමට විශාල රුකුලක් සපයන බව ද රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරනවා.

කොළඹ ටයර් කඩයක ගින්නක්

ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ ආමර් වීදියේ ටයර් කඩයක ගින්නක් හටගෙන තිබෙනවා.

ගින්න මැඩපැවැත්වීම සඳහා කොළඹ ගිනි නිවීමේ ඒකකයෙන් මේ වනවිට ගිනි නිවීමේ රථ 5ක් යොදවා ඇති බවයි වාර්තා වන්නේ.

මේ හේතුවෙන් ආමර් වීදියේ වාහන ගමනාගමනය මීගමුව දෙසට එක් මංතීරුවකට සීමා කර ඇති බවයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ.

කෙහෙළිය ඇතුළ පිරිස යළි අප්‍රේල් 8 දක්වා රිමාන්ඩ්

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු සැකකරුවන් 9 දෙනා අප්‍රේල් මස 08 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

නඩුව අද (28) යළිත් මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය ලබාදී ඇති බවයි වාර්තා වෙන්නේ.

ආන්දෝලානාත්මක ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මෙරටට ආනයනය කිරීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් ඔහුට එරෙහිව චෝදනා එල්ලවී තිබෙනවා.

චීන – ශ්‍රී ලංකා සහයෝගීතාවයෙන් ගිවිසුම් 9කට අත්සන් තබයි

චීනය හා ශ්‍රී ලංකාව අතර නව ගිවිසුම් 9ක් අත්සන් තබා තිබෙනවා.

චීන අග්‍රාමාත්‍ය ලී ක්වැන්ග් හා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් මෙම ගිවිසුම් අත්සන් කර ඇති බවයි සඳහන් වෙන්නේ.

චීනයේ සංචාරයක නිරත අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන හා චීන අග්‍රාමාත්‍ය ලී ක්වැන්ග් අතර ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වා ඇති අතර එහිදී ආර්ථික සහයෝගිතාවයට අමතරව සමාජයීය, සංස්කෘතික, අධ්‍යාපන සහ කෘෂි ක්ෂේත්‍රයන්හි සමස්ථ සහයෝගිතාව ඇති කිරීම පිළිබඳව වැඩි අවධානය යොමුකර තිබෙනවා.

දෙරට අතර අත්සන් කෙරුණු අවබෝධතා ගිවිසුම් නවයක් මඟින් ශ්‍රී ලංකාව සහ චීනය අතර දීර්ඝකාලීන මිත්‍රත්වය සහ සහයෝගීතාවයේ නව පරිච්ඡේදයක් ඇතිවන බව දෙරටේ අග්‍රාමාත්‍යවරු මෙහිදී සනාථ කර ඇති බවයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ.