අනිද්දා දක්වා විශේෂ බස් සේවා ක්‍රියාත්මකයි – ලංගම

අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලා ගිය ජනතාවට නැවත කොළඹට පැමිණීම සඳහා අනිද්දා (17) දක්වා විශේෂ බස් සේවා ක්‍රියාත්මක බව, ලංකා ගමනා ගමන මණ්ඩලය පවසනවා.

මේ අතර ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න සඳහන් කළේ, පවතින පෞද්ගලික බස් රථ වලින් 25% ක පමණ බස් රථ ප්‍රමාණයක් ධාවනයට එක්කරන බවයි.

ඉරානයෙන් ඊශ්‍රායලයට ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාර දියත් කරයි

ඊයේ (13) රාත්‍රී ඉරානය විසින් ඊශ්‍රායලයේ හඳුනාගත් ස්ථානවලට ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාර එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

පසුගිය අප්‍රේල් මස පළමුවන දින සිරියාවේ ඉරාන කොන්සල් කාර්යාලයට එල්ල වූ ප්‍රහාරයට ප්‍රතිප්‍රහාරයක් ලෙස ඉරානය විසින් මෙම ප්‍රහාරය දියත් කර ඇති බවයි වාර්තා වෙන්නේ.

මෙම යුධමය තත්ත්වය පිළිබදව අමෙරිකාව ඇතුළු රටවල් රැසක අවධානය යොමුව ඇති අතර අමෙරිකානු ජනාධිපතිවරයා ධවල මන්දිරයේ විශේෂ සාකච්ඡාවක් ද කැදවා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කරන්නේ.

Kristalina Georgieva යළිත් IMF කළමණාකාර අධ්‍යක්ෂ ධූරයට

දෙවන වරටත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමණාකාර අධ්‍යක්ෂිකාව ලෙස සේවය කිරීම සඳහා Kristalina Georgieva තෝරාපත් කරගෙන තිබෙනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලයේ ඒකමතික තිරණයකට අනුව මෙම පත් කිරීම සිදුකර ඇති බවයි වාර්තා වෙන්නේ.

ඒ අනුව Kristalina Georgieva ට ලබන ඔක්තෝම්බර් 1 වනදා සිට තවත් අවුරුදු 05ක් එම ධූරය හිමි වනවා.

පොලිස් නිලධාරීන් සීමාව ඉක්මවා බලය පාවිච්චි කළොත් ඒවාට පුද්ගලිකව වගඋත්තර බඳින්න වෙනවා – පොලිස්පති

පොලිස් නිලධාරීන් රාජකාරී කිරීමේදී සීමාව ඉක්මවා බලය පාවිච්චි කළහොත් ඔවුන්ට ඒ සම්බන්ධයෙන් පුද්ගලිකව වගඋත්තර බඳින්නට සිදුවන බව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පවසනවා.

මැදවච්චිය පොලීසියේ නිලධාරීන් පිරිසක් සිදුකළ පහරදීමක් හේතුවෙන් තරුණයෙකුගේ වෘෂණ කෝෂයක් සැත්කමකින් ඉවත් කිරීමට සිදුවීමට අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අදහස් පළ කරමින් පොලිස්පතිවරයා මේ බව සඳහන් කළා.

මේ වන විට එම සිදුවීමට අදාළ පොලිස් නිලධාරීන්ගේ වැඩ තහනම් කර, අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බවත්, අදාළ චෝදනාව එල්ල කරන අයද නීතිවිරෝධී මත්පැන්, මත්ද්‍රව්‍ය සහ වෙනත් කටයුතු සම්බන්ධව පෙර වැරදි ගණනාවක් ඇති පවුලක අය බවයි පොලිස්පතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කළ පුද්ගලයෙක් අත්අඩංගුවට

ව්‍යාජ ලෙස මුදල් නෝට්ටු මුද්‍රණය කළ අයෙකු අහංගම ප්‍රදේශයේදී ගාල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්‌යාංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු සතුව තිබූ ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය සඳහා යොදාගත් ලැප්ටොප් පරිගණකයක්, මුද්‍රණ යන්ත්‍රයක් සහ නෝට්ටු මුද්‍රණය කරන ලද කඩදාසි තොගයක් පොලිස් භාරයට ගත් බවයි පොලීසිය සඳහන් කළේ.

සැකකරු 47 හැවිරිදි ඉමදුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ.

අද උණුසුම් කාලගුණය පිළිබඳව අවධානය යොමුකළ යුතු ප්‍රදේශ

අද (12) දිනයේ මිනිස් සිරුරට දැනෙන උණුසුම “අවධානය” යොමු කළ යුතු මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

උතුරු සහ වයඹ පළාත්වලත් අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලත් මෙම තත්ත්වය පවතින බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ඒ අනුව ප්‍රමාණවත් ලෙස ජලය පානය කරමින් නිසි සෞඛ්‍ය උපදෙස් අනුගමනය කරන ලෙසයි සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

අදාළ නිවේදනය පහතින්.

6618883b93b2d 6618883b816f1

අවුරුදු සමයේ අඛණ්ඩව ඉන්ධන සැපයීමට පියවර

සිංහල දෙමළ අලුත් අවුරුදු උත්සව සමය තුළ සිපෙට්කෝ ඉන්ධනහල් මගින් අඛණ්ඩ ඉන්ධන සැපයුමක් සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇති බව ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා.

රටේ ඉන්ධන ඉල්ලුම සපුරාලීම සඳහා අවශ්‍ය ඉන්ධන තොග ආනයනය කර ප්‍රධාන පර්යන්ත හරහා ගබඩාවල ප්‍රමාණවත් සංචිත පවත්වාගෙන යාමට පියවර ගෙන ඇති බවයි එම සංස්ථාව සඳහන් කළේ.

ඉන්ධන තොග පවත්වාගෙන යාම සම්බන්ධයෙන් සියලු ඉන්ධනහල් හිමියන් දැනුවත් කිරීමට ද කටයුතු කර තිබෙනවා.

මෙම කාලපරිච්ඡේදය තුළ ලංකා ඛණිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගම විසින් ඉන්ධන බෙදාහැරීමේ කටයුතු සඳහා ප්‍රමාණවත් ටැංකි රථ යෙදවීමට ද තීරණය කර ඇති බවයි ඛණිජ තෙල් සංස්ථාව වැඩිදුරටත් සඳහන් කළේ.

වීසා කාලය ඉක්මවූ 2,400 කට අධික විදේශිකයන් පිරිසක් ශ්‍රී ලංකාවේ රැඳී සිටිනවා – ආගමන විගමන දෙපාර්තමේන්තුව

වීසා කාලය ඉක්මවූ 2,400 ඉක්මවූ විදේශිකයන් පිරිසක් මෙරට තුළ සිටින බව ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසනවා.

සංචාරක ක්ෂේත්‍රය ආශ්‍රිතව මෙරට තුළ ව්‍යාපාරවල නිරතවන විදේශිකයන් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ පැවති රාජ්‍ය ගිණුම් පිළිබඳ කාරක සභාවේදී යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් ඔවුන් මේ බව සඳහන් කර තිබෙනවා.

දකුණු පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා සමග මේ සතියේ අදාළ ගැටලුව පිළිබඳ සාකච්ඡා කිරීමට නියමිත අතර, ඒ අනුව පොලීසියේ මැදිහත්වීම මත ඉතා ඉක්මනින් මෙයට ප්‍රතිචාර දැක්වීමට බලාපොරොත්තු වන බවයි ආගමන විගමන දෙපාර්තමේන්තුවේ, අධ්‍යක්ෂ ජනරාල් අයි.එස්.එච්.ජේ. ඉළුක්පිටිය සඳහන් කළේ.

විදුලිය තාවකාලිකව විසන්ධි කිරීම ලබන 22 වැනි දා දක්වා අත්හිටුවයි

එළඹෙන උත්සව සමයට පෙර නඩත්තු කටයුතු සඳහා විදුලිය විසන්ධි කිරීම තාවකාලිකව අත්හිටුවා තිබෙන බව විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ පවසනවා.

ඒ අනුව ලබන 22 වනදා දක්වා විදුලිය විසන්ධි කිරීම තාවකාලිකව අත්හිටුවන බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.

අලුත් අවුරුදු සමය තුළ විවිධ උත්සව සංවිධානය කිරීම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

උත්සව සමයේ ගිනිකෙළි හා මාර්ග අනතුරු අවම කර ගැනීමට කටයුතු කරන්න – සෞඛ්‍ය අංශ

එළැඹෙන සිංහල දෙමළ අලුත් අවුරුදු උත්සව සමයේ මාර්ග හා ගිනිකෙළි අනතුරු අවම කර ගැනීමට සැලකිලිමත් වන ලෙස සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

උත්සව සමයේ හදිසි අනතුරුවලින් 36%ක් ගිනිකෙළි භාවිතය නිසා සිදුවන අතර, 17%ක් අක්ෂි ආබාධ වාර්තා වන්නේ අපරික්ෂාකාරී රතිඤ්ඤා සහ ගිනිකෙළි භාවිතය නිසා බවට සමීක්ෂණ වාර්තාවලින් අනාවරණය වී ඇති බවයි වාර්තා වෙන්නේ.

මෙරට සිදුවන මාරක අනතුරුවලින් වැඩි ප්‍රමාණයක් අධිවේගී මාර්ගවලින් පිටත සිදුවීම හේතුවෙන් රියදුරන් අවධානයෙන් කටයුතු කළ යුතු බවයි විශේෂඥ ශල්‍ය වෛද්‍ය සජිත් රණතුංග වැඩිදුරටත් ප්‍රකාශ කළේ.