උපුල් ශාන්ත සන්නස්ගල​ට ඇප

මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් ජනප්‍රිය උපකාරක පන්ති ගුරුවරයෙකු සහ YouTube වැඩසටහන් නිර්මාණකරුවෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල ඇප මත මුදාහැර තිබෙනවා.

ඔහු වැලිසර අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබාදී ඇති බවයි වාර්තා වෙන්නේ.

කොළඹ මාර්ග කිහිපයක රථ වාහන තදබදයක්

කොළඹ මාර්ග කිහිපයක රථ වාහන තදබදයක් හටගෙන තිබෙනවා.

ඉරාන ජනාධිපතිවරයාගේ සංචාරය හේතුවෙන් කොළඹ මාර්ග කිහිපයක් විටින් විට වසා දැමෙන බව පොලීසිය නිවේදනය කර තිබුණා.

ඒ අනුව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූවගෙන් මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී සඳහන් කළේ, මාර්ග වසා දමන අවස්ථාවල යම් වාහන තදබදයක් ඇතිවීමේ හැකියාව පවතින බවයි.

අද රාත්‍රී 8.30 න් පසුව කොටුව සිට කොල්ලුපිටිය දක්වා වූ ගාලු පාරද, ධර්මපාල මාවත, ග්‍රීන්පාත්, හෝටන් පෙදෙස හරහා බේස්ලයින් මාර්ගයද, බොරැල්ල, දෙමටගොඩ, ඔරුගොඩවත්ත දෙස සිට අධිවේගී මාර්ගය දක්වාත් අධිවේගී මාර්ගය පෑලියගොඩ සිට කටුනායක දක්වාත්, ඉරාන ජනාධිපතිවරයා ගමන් ගන්නා අවස්ථාවේදී වසා තැබෙන බවයි පොලීසිය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

මම ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනවා – සජිත්

එළැඹෙන ජනාධිපතිවරණය සඳහා තමන් ඉදිරිපත්වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

අද (24) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මේ බව සඳහන් කළා.

මැලේසියාවේ හමුදා හෙලිකොප්ටර් දෙකක් ගුවනේදී ගැටී පුද්ගලයින් 10 ක් මරුට

මැලේසියාවේ හමුදා පුහුණුවීමක් අතරතුර හෙලිකොප්ටර් යානා දෙකක් අනතුරට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

අනතුරෙන් පුද්ගලයින් 10 දෙනෙකු මියගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කළේ.

එරට නාවික හමුදාවේ සැමරුම් උත්සවයක් සඳහා පෙරහුරුවීමක් අතරතුර හෙලිකොප්ටර් යානා දෙකක් එලෙස ගුවනේදී ගැටී අනතුර සිදුව තිබෙනවා.

දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා අභාවප්‍රාප්ත වෙයි

දුම්රිය සාමාන්‍යාධිකාරී එච්.එම්.කේ.ඩබ්ලිව්. බණ්ඩාර මහතා අද (23) උදෑසන හදිසියේම අභාවප්‍රාප්තවී තිබෙනවා.

හදිසියේ ඇති වූ රෝගාබාධයක් හේතුවෙන් ඔහු අනුරාධපුර රෝහලට ඇතුළත් කර සිටියදී එලෙස අභාවප්‍රාප්ත ඇති බවයි වාර්තා වෙන්නේ.

Lyrids උල්කාපාත වර්ෂාව අද දිස්වෙයි

Lyrids උල්කාපාත වර්ෂාව අද (22) මධ්‍යම රාත්‍රියේ උපරිම අවස්ථාවට පත්වීමට නියමිත බව අභ්‍යවකාශ විද්‍යාඥ ඉංජිනේරු ගිහාන් වීරසේකර පවසනවා.

මෙම උල්කාපාත වර්ෂාව සෑම වසරකම අප්‍රේල් 15 සිට අප්‍රේල් 29 දක්වා සක්‍රීයව පවතින බවයි සඳහන් වෙන්නේ.

මෙය නිරීක්ෂණය කිරීම සඳහා හොඳම වේලාව වන්නේ අද අලුයම 4-5 දක්වා කාලයේ දී බවත්, උතුරු දිශාව ආශ්‍රිතව මෙය පියවි ඇසින් නිරීක්ෂණය කළ හැකි බවත් ඔහු වැඩිදුරටත් පවසා සිටිනවා.

Foxhill ධාවන තරගාවලියේ අනතුර සම්බන්ධයෙන් රියදුරන් 2 ක් අත්අඩංගුවට

Foxhill ධාවන තරගාවලිය අතරතුර සිදුවූ අනතුර සම්බන්ධයෙන් මෝටර් රථ රියදුරන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අනතුරින් ඔවුන් දෙදෙනා ද තුවාල ලබා රෝහලගත කර ප්‍රතිකාර ලබමින් සිටියදී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වෙන්නේ.

අනතුරෙන් පුද්ගලයින් 7 දෙනෙකු මියගොස් තවත් පිරිසක් තුවාල ලබා තිබුණා.

දියතලා​ව Foxhill ධාවන තරගාවලි​ය අතරතුර සිදුවූ අනතුරකින් පුද්ගලයින් 5 ක් මරුට

දියතලාවේ පැවැත්වෙන Foxhill මෝටර් රථ ධාවන තරගාවලිය අතරතුරදී සිදුවූ අනතුරකින් පුද්ගලයින් 5 දෙනෙකු මියගොස් තිබෙනවා.

ධාවන තරගය අතරතුරදී මෝටර් රථයක් ධාවන පථයෙන් ඉවතට පැන මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වෙන්නේ

අනතුරින් පුද්ගලයින් 21කට ආසන්න පිරිසක් තුවාල ලබා රෝහල්ගතකර ඇති බව පොලීසිය වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

පාස්කු ප්‍රහාරය හරහා පාලකයින්ගේ වගකීම් විරහිත ස්භාවය මනාව පැහැදිළි වුණා – ජූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන්

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය හරහා මෙරට පාලකයින්ගේ වගකීම් විරහිත ස්භාවය මනාව පැහැදිලි වූ බව ජූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් පවසනවා.

එම ප්‍රහාරයට වගකිව යුත්තන් සොයා ගැනීමට මෙතෙක් අපොහොසත්වීම කණගාටුදායක බවයි පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ මියගිය අය සිහිපත් කිරීමේ අවස්ථාව ඇමතූ උන්වහන්සේ සඳහන් කළේ.

මෙහි සත්‍ය වසන් කිරීමට ඉඩ ලබා නොදිය යුතු බවත් මිය ගිය අය වෙනුවෙන් යුක්තිය ඉටුවිය යුතු බව ජූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් වැඩිදුරටත් ප්‍රකාශ කළා.

ඊශ්‍රායලයේ සිටින ලාංකිකයන් පිළිබඳව නිරන්තරයෙන් විමසිලිමත්ව සිටිනවා – ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය එරට සිටින ලාංකිකයන් පිළිබඳව නිරන්තරයෙන් විමසිලිමත්ව සිටින බව ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර පවසනවා.

මේ වන විට ඊශ්‍රායලයේ පවතින ගැටුම්කාරී තත්ත්වය හමුවේ ශ්‍රී ලාංකිකයින් පිළිබඳව ගැටලුවක් ඇති නොවන බවයි තානාපතිවරයා තහවුරු කළේ.

ඊශ්‍රායලයේ උතුරු  කලාපයේ ලෙබනන් මායිම හරහා විටින් විට ෂෙල් ප්‍රහාර වාර්තා වුව ද, ඒ කලාපයේ සිටි ලක්ෂ එකහමාරකට වැඩි පිරිස එම කලාපයෙන් වෙනත් ස්ථානවලට තාවකාලිකව යොමුකර ඇති බවද, ඒ අතර සිටි ශ්‍රී ලාංකිකයන්ද නව ස්ථානවලට ගොස් ඇති බවද තානාපතිවරයා සඳහන් කළා.

පවතින තත්ත්වය මත ගැටලුකාරී පසුබිමකට මුහුණ දෙන පුද්ගලයින් ඇත්නම් තානාපති කාර්යාලය සම්බන්ධ කර ගන්නා ලෙසයි වැඩිදුරටත් දැනුම් දෙන්නේ.