මැයි රැළි සඳහා අවසරයකින් තොරව ඩ්‍රෝන යානා භාවිතය තහනම් – පොලීසිය

පැවැත්වීමට නියමිත මැයි රැළි ආවරණය කිරීම සඳහා නිසි අවසරයකින් තොරව ඩ්‍රෝන යානා භාවිත කිරීම තහනම් බව පොලීසිය පවසනවා.

එලෙස ඩ්‍රෝන යානා භාවිත කිරීමට අවශ්‍ය නම් ඒ සඳහා පූර්ව අවසරයක් ලබාගත යුතු බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව පවසා සිටින්නේ.

මෙම නීතිය දිවයින පුරා පැවැත්වෙන සියලුම මැයි රැළි සඳහා අදාළ බව වැඩිදුරටත් සඳහන්.

පාඨලී හෙට CIDයට කැඳවයි

එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක හෙට (30) උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා තිබෙනවා.

රත්නපුර ප්‍රදේශයේ පැවැති පක්ෂ රැස්වීමක දී සිදුකරන ලදැයි කියන කතාවක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා ඔහු මෙලෙස කැඳවා ඇති බවයි වාර්තා වෙන්නේ.

හිටපු ඇමති ෆවුසිට නොතීසි නිකුත් කෙරේ

හිටපු ආපදා කළමනාකරණ අමාත්‍ය ඒ.එච්.එම්. ෆවුසිට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුව මැයි මස 22 වනදා දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණය අද (29) නියෝග කර තිබෙනවා.

නෙදර්ලන්ත රජය විසින් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වෙත ලබාදුන් ජීප් රථයක් සිය පෞද්ගලික පරිහරණය සඳහා යොදාගැනීම තුළින් රජයට රුපියල් මිලියනයකට අධික පාඩුවක් සිදු කළේ යැයි ඔහුට චෝදනා එල්ල වී තිබෙනවා.

මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කර ඇති බවයි වාර්තා වෙන්නේ.

එම අවස්ථාවේදී විත්තිකාර ෆවුසි අධිකරණය හමුවේ පෙනී නොසිටි අතර, නඩුව නැවත මැයි මස 22 වනදා දක්වා කල්තැබූ මහාධිකරණ විනිසුරුවරයා එදින විත්තිකරුට අධිකරණයේ පෙනී සිටින ලෙස දන්වා නොතිසි නිකුත් කරන ලෙසද නියෝග කර තිබෙනවා.

ජනාධිපතිවරණය ජය ගන්න රාජ්‍ය දේපළ ඉතාම නරක අන්දමින් භාවිතා කරනවා – පැෆරල්

පළාත් පාලන ඡන්ද විමසීම මේ වන විටත් තාක්ෂණික වශයෙන් ක්‍රියාත්මකව ඇති බැවින් එම ආයතනවලට අදාළව පත්වීම්, උසස් කිරීම්, ස්ථාන මාරු කිරීම් සිදුකිරීමට ආණ්ඩුවට නොහැකි බව පැෆරල් සංවිධානය පවසනවා.

පළාත් පාලන ආයතනවල සේවකයින් 8,400 දෙනෙකුට ස්ථිර පත්වීම් ලබාදීම පිළිබඳව පසුගියදා පැවති ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී අවධානය යොමුවී තිබූ අතර දාළ සේවකයන්ට කඩිනමින් ස්ථිර පත්වීම් ලබාදීමට අපේක්ෂා කරන බවයි රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර එම රැස්වීමෙන් අනතුරුව සඳහන් කළේ.

මේ වන විට පළාත් පාලන මැතිවරණය සඳහා නාම යෝජනා කැඳවා ඇති බවත් එම මැතිවරණය පැවැත්වීම සඳහා මැතිවරණ කොමිසම මූලික කටයුතු ආරම්භ කර තිබූ පසුබිමක ආණ්ඩුව මුදල් ලබා නොදීම හේතුවෙන් එම මැතිවරණය තාවකාලිකව යටපත්වීමක් සිදුව ඇති බවයි පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි ප්‍රකාශ කළේ.

ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීම සඳහා රාජ්‍ය දේපළ හා රාජ්‍ය බලය ඉතාමත් නරක අන්දමින් භාවිතා කරන ස්වරූපයක් පෙනෙන්නට ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

කාටත් සාධාරණව නීතිය ඉටුවන රටක් හැදිය හැක්කේ ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක​ට විතරයි – අනුර

රට ගොඩනැගීමට නම් මෙරට දේශපාලන සංස්කෘතිය වෙනස් කළ යුතු බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පවසනවා.

ඊයේ (27) ස්වීඩනයේ ශ්‍රී ලාංකික ජනහමුවක් අමතමින් ඔහු සඳහන් කළේ වර්තමානයේ රටේ පාලකයන් සිටින්නේ නීතියට වඩා ඉහළින් බවත්, ඒ ආකාරයෙන් රටේ දේශපාලනය ඉදිරියට ගෙන යා නොහැකි බවයි.

උදාහරණ ලෙස, ප්‍රසන්න රණතුංග කප්පම් ගැනීමේ වරදකට අධිකරණයෙන් වැරදිකරු වූ නමුත්, අද ඔහු ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක බවද, පුද්ගල ඝාතනයක් සම්බන්ධයෙන් ප්‍රේමලාල් ජයසේකර ජීවිතාන්තය දක්වා සිර දඬුවමක් ලැබූ නමුත්, අද ඔහු රටේ රාජ්‍ය අමාත්‍යවරයෙක් බවද, මෙවන් පසුබිමක අපේ රටේ නීතියක් තිබේද යන්න ප්‍රශ්නයක් බවයි ඔහු පෙන්වා දෙන්නේ.

සෑම පුරවැසියෙකුම, බලය ධනය තිබේදයැයි භේදයකින් තොරව පොදු නීතියට යටත් විය යුතු බවද, සැමට සාධාරණව නීතිය ඉටුවන රටක් ගොඩනැගිය හැක්කේ, බේරාගැනීමට ආපරාධකාරයින් හෝ දූෂිතයින් නොමැති, ජාතික ජන බලවේගයට පමණක් බවයි ඔහු වැඩිදුරටත් අවධාරණය කළේ.

662df34263c4c 662df3414ba04

මෛත්‍රිපාලගේ සභාපතිත්වය යටතේ අසාධාරණයට ලක්වූ අය සම්බන්ධයෙන් සොයා බැලීමට කමිටුවක්

මෛත්‍රීපාල සිරිසේන සභාපතිත්වය දරන කාලයේ අත්තනෝමතික ලෙස ලබා දුන් ආසන සංවිධායක ධූර සම්බන්ධයෙන් සොයා බලන බව ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන මහ ලේකම් දුමින්ද දිසානායක පවසනවා.

පක්ෂයේ පුරප්පාඩු වී ඇති ආසන සංවිධායක ධුර කඩිනමින් පිරවීමට කටයුතු කරන බවයි ඔහු සඳහන් කළේ.

මෛත්‍රිපාල සිරිසේනගේ සභාපතිත්වය යටතේ අසාධාරණයට ලක්වූ අය සම්බන්ධයෙන් සොයා බැලීමට කමිටුවක් පත් කිරීමටද ශ්‍රී ලංකා නිදහස් පක්ෂ දේශපාලන මණ්ඩලය තීරණය කර තිබෙනවා.

අමාත්‍ය මහින්ද අමරවීර, අමාත්‍ය ලසන්ත අලගියවන්න, වීර කුමාර දිසානායක හා නීතිඥ ෆයිසර් මුස්තාපා යන අය එම කමිටුවට පත් කළ බවත්, එහි සභාපතිත්වය තමන් විසින් හොබවන බවත් දුමින්ද දිසානායක මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කරනවා.

විශ්ව විද්‍යාල අනධ්‍යයන කාර්ය මණ්ඩලයන් අඛණ්ඩ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක

සියළු විශ්ව විද්‍යාල අනධ්‍යයන කාර්ය මණ්ඩලයන් අඛණ්ඩව වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වීමට තීරණය කළ බව විශ්ව විද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව පවසනවා.

එළෙඹෙන මැයි දෙවැනිදා දහවල් 12 සිට එම වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක බවයි එහි සම සභාපති ධම්මික එස් ප්‍රියන්ත පවසා සිටින්නේ.

2016 වසරේදී අනධ්‍යයන සේවකයින්ගේ වැටුප 15% කින් කප්පාදු කිරීමේ හේතුව නිසා ගැටළු මතුව ඇති බවත්, පසුගිය කාලයේදී විශ්ව විද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවල නිරත වූයේ එම වැටුප් ගැටළුව නිවැරදි කරන ලෙසත් බවයි සඳහන් වන්නේ.

ජනපති හා ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් අතර හමුවක්

ආණ්ඩු පක්ෂයේ විශේෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමක් ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පවත්වා තිබෙනවා.

මෙම සාකච්ඡාව සඳහා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඇතුළු ආණ්ඩු පක්ෂයේ සියලු මන්ත්‍රීවරුන් සහභාගී වී ඇති බවයි වාර්තා වෙන්නේ.

එහිදී රජයේ ඉදිරි වැඩපිළිවෙළ, සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සහ සියලු මැතිවරණ කොට්ඨාස සඳහා සංවර්ධන සැලසුම් සකස් කිරීම කෙරෙහි විශේෂ අවධානයක් යොමුවී තිබෙනවා.

ඉදිරි මැතිවරණවලදී දේශපාලන පක්ෂ වශයෙන් ගනු ලබන තීන්දු තීරණ සහ නිශ්චිත එකඟතාවලට එළැඹීම සම්බන්ධයෙන් ද මෙහිදී අවධානය යොමුවී තිබෙනවා.

පාස්කු ප්‍රහාරය පිළිබඳ තුන් දින කල් තැබීමේ විවාදයේ අවසන් දිනය අද

පාස්කු ප්‍රහාරය පිළිබඳ පාර්ලිමේන්තුවේ පැවැත්වෙන තුන් දින කල් තැබීමේ විවාදයේ අවසන් දිනය අදයි.

ඒ අනුව අද පෙරවරු 9.30 ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත අතර කල් තැබීමේ විවාදය පස්වරු 5.30 දක්වා පැවැත්වීමට නියමිතයි.

ඊයේ හා පෙරේදා ආණ්ඩු පක්ෂයේ මෙන්ම විපක්ෂයේ දේශපාලඥයින් රැසක් විවාදයේදී අදහස් පළ කර තිබුණා.

මහින්ද අමරවීරගෙන් මිලියන 1000 ක වන්දියක් ඉල්ලා මෛත්‍රීගෙන් එන්තරවාසියක්

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් විසින් අමාත්‍ය මහින්ද අමරවීර වෙත එන්තරවාසියක් යොමුකර තිබෙනවා.

මාධ්‍ය ඔස්සේ සිදුකරන ලද ප්‍රකාශයක් හේතුවෙන් සිදුවූ අපහාසය වෙනුවෙන් වන්දි මුදලක් ඉල්ලා සිටිමින් මෙම එන්තරවාසිය යොමුකර ඇති බවයි වාර්තා වෙන්නේ.

එම කරුණු හරහා සිදුවූ අලාභය හෝ වන්දි මුදල වන රුපියල් මිලියන 1000ක මුදලක් දින 14ක් තුළ මෛත්‍රීපාල සිරිසේන වෙත ගෙවන ලෙසයි දැනුම්දී ඇත්තේ.