අපිත් මහ පාරේ ගත්තා නම් පාර පුරාවට සෙනඟ පෙන්නන්න තිබුණා – නාමල්

මැයි රැළිය පැවැත්වීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණද මහා මාර්ගයක් තෝරා ගත්තා නම් සෙනඟ පෙන්වීමට හැකියාව තිබූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතින් වැරැද්දක් සිදුවූයේ නම් ඒ පිට්ටනියක් තෝරා ගැනීම බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මැයි දිනය පැවැත්වූ බොරැල්ල කැම්බල් පිටියේ ඇතුළේ සිටියාට වඩා හතර පස් ගුණයක් එළියේ සිටි බවද මන්ත්‍රීවරයා ප්‍රකාශ කළා.

ඊයේ (01) දින පැවැත්වූ මැයි දින රැළි අතරින් සාර්ථකම මැයි දින රැළිය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් පැවැත්වූ බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ වැඩිදුරටත් සඳහන් කළේ.

UNP මැයි දින සැමරුම ආරම්භ වෙයි

එක්සත් ජාතික පක්ෂයේ මැයි දින රැළිය මේ වන විට ප්‍රදීපා මාවත පරිශ්‍රයේදී ආරම්භ වී තිබෙනවා.

ඒ අනුව පක්ෂ සමාජිකයින් හා පාක්ෂිකයින්ගේ සහභාගීත්වයෙන් එම මැයි දින රැළිය මේ වන විට පැවැත්වෙනවා.

ජනතාවගේ දැවැන්ත විශ්වාසයත් බලයත් ජාතික ජන බලවේගය වටා එකතු වෙලා තියෙනවා – අනුර

අද වන විට ජනතාවගේ දැවැන්ත විශ්වාසයත් බලයත් ජාතික ජන බලවේගය වටා එකතු වී ඇති බව එහි නායක අනුර කුමාර දිසානායක පවසනවා.

අද (01) මාතර පැවති ජාතික ජන බලවේගයේ මැයි රැළිය අමතමින් ඔහු සඳහන් කළේ, මෙය ජයග්‍රහණය කළ හැකි සටනක් බවයි.

තවත් ඉතිරිව ඇත්තේ මාස තුනක පමණ කාලයක් බවත් අගෝස්තු වන විට මැතිවරණ කටයුතු ආරම්භ වන බවයි ජන රැළිය අමතමින් ඔහු සඳහන් කළේ.

ජාතික ජන බලවේගය වටා එකතු වී ඇති ජනතා පිරිස අනුව ඉදිරි ජයග්‍රහණය පැහැදිලිව පෙන්නුම් කරන බවද, සතුරාගේ කලබලවීම හමුවේද එය හොඳින් පෙන්නුම් කරන බවද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළා.

මැයි දිනය වෙනුවෙන් හෙට මත්පැන් අලෙවිසැල් වැසේ

මැයි දිනය වෙනුවෙන් හෙට (01) දිවයිනේ මත්පැන් අලෙවිසැල් වසා තැබිය යුතු බව ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

ඒ අනුව, අද (30) දින මත්පැන් අලෙවිසැල් වසා දමන වේලාවේ සිට මැයි 02 වන දින විවෘත කරනු ලබන වේලාව දක්වා මත්පැන් අලෙවිසැල් වසා තැබිය යුතු බවයි එම දෙපාර්තමේන්තුව දන්වා සිටින්නේ.

මැයි රැළි සඳහා අවසරයකින් තොරව ඩ්‍රෝන යානා භාවිතය තහනම් – පොලීසිය

පැවැත්වීමට නියමිත මැයි රැළි ආවරණය කිරීම සඳහා නිසි අවසරයකින් තොරව ඩ්‍රෝන යානා භාවිත කිරීම තහනම් බව පොලීසිය පවසනවා.

එලෙස ඩ්‍රෝන යානා භාවිත කිරීමට අවශ්‍ය නම් ඒ සඳහා පූර්ව අවසරයක් ලබාගත යුතු බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව පවසා සිටින්නේ.

මෙම නීතිය දිවයින පුරා පැවැත්වෙන සියලුම මැයි රැළි සඳහා අදාළ බව වැඩිදුරටත් සඳහන්.

පාඨලී හෙට CIDයට කැඳවයි

එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක හෙට (30) උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා තිබෙනවා.

රත්නපුර ප්‍රදේශයේ පැවැති පක්ෂ රැස්වීමක දී සිදුකරන ලදැයි කියන කතාවක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා ඔහු මෙලෙස කැඳවා ඇති බවයි වාර්තා වෙන්නේ.

හිටපු ඇමති ෆවුසිට නොතීසි නිකුත් කෙරේ

හිටපු ආපදා කළමනාකරණ අමාත්‍ය ඒ.එච්.එම්. ෆවුසිට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුව මැයි මස 22 වනදා දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණය අද (29) නියෝග කර තිබෙනවා.

නෙදර්ලන්ත රජය විසින් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වෙත ලබාදුන් ජීප් රථයක් සිය පෞද්ගලික පරිහරණය සඳහා යොදාගැනීම තුළින් රජයට රුපියල් මිලියනයකට අධික පාඩුවක් සිදු කළේ යැයි ඔහුට චෝදනා එල්ල වී තිබෙනවා.

මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කර ඇති බවයි වාර්තා වෙන්නේ.

එම අවස්ථාවේදී විත්තිකාර ෆවුසි අධිකරණය හමුවේ පෙනී නොසිටි අතර, නඩුව නැවත මැයි මස 22 වනදා දක්වා කල්තැබූ මහාධිකරණ විනිසුරුවරයා එදින විත්තිකරුට අධිකරණයේ පෙනී සිටින ලෙස දන්වා නොතිසි නිකුත් කරන ලෙසද නියෝග කර තිබෙනවා.

ජනාධිපතිවරණය ජය ගන්න රාජ්‍ය දේපළ ඉතාම නරක අන්දමින් භාවිතා කරනවා – පැෆරල්

පළාත් පාලන ඡන්ද විමසීම මේ වන විටත් තාක්ෂණික වශයෙන් ක්‍රියාත්මකව ඇති බැවින් එම ආයතනවලට අදාළව පත්වීම්, උසස් කිරීම්, ස්ථාන මාරු කිරීම් සිදුකිරීමට ආණ්ඩුවට නොහැකි බව පැෆරල් සංවිධානය පවසනවා.

පළාත් පාලන ආයතනවල සේවකයින් 8,400 දෙනෙකුට ස්ථිර පත්වීම් ලබාදීම පිළිබඳව පසුගියදා පැවති ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී අවධානය යොමුවී තිබූ අතර දාළ සේවකයන්ට කඩිනමින් ස්ථිර පත්වීම් ලබාදීමට අපේක්ෂා කරන බවයි රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර එම රැස්වීමෙන් අනතුරුව සඳහන් කළේ.

මේ වන විට පළාත් පාලන මැතිවරණය සඳහා නාම යෝජනා කැඳවා ඇති බවත් එම මැතිවරණය පැවැත්වීම සඳහා මැතිවරණ කොමිසම මූලික කටයුතු ආරම්භ කර තිබූ පසුබිමක ආණ්ඩුව මුදල් ලබා නොදීම හේතුවෙන් එම මැතිවරණය තාවකාලිකව යටපත්වීමක් සිදුව ඇති බවයි පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි ප්‍රකාශ කළේ.

ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීම සඳහා රාජ්‍ය දේපළ හා රාජ්‍ය බලය ඉතාමත් නරක අන්දමින් භාවිතා කරන ස්වරූපයක් පෙනෙන්නට ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

කාටත් සාධාරණව නීතිය ඉටුවන රටක් හැදිය හැක්කේ ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක​ට විතරයි – අනුර

රට ගොඩනැගීමට නම් මෙරට දේශපාලන සංස්කෘතිය වෙනස් කළ යුතු බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පවසනවා.

ඊයේ (27) ස්වීඩනයේ ශ්‍රී ලාංකික ජනහමුවක් අමතමින් ඔහු සඳහන් කළේ වර්තමානයේ රටේ පාලකයන් සිටින්නේ නීතියට වඩා ඉහළින් බවත්, ඒ ආකාරයෙන් රටේ දේශපාලනය ඉදිරියට ගෙන යා නොහැකි බවයි.

උදාහරණ ලෙස, ප්‍රසන්න රණතුංග කප්පම් ගැනීමේ වරදකට අධිකරණයෙන් වැරදිකරු වූ නමුත්, අද ඔහු ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක බවද, පුද්ගල ඝාතනයක් සම්බන්ධයෙන් ප්‍රේමලාල් ජයසේකර ජීවිතාන්තය දක්වා සිර දඬුවමක් ලැබූ නමුත්, අද ඔහු රටේ රාජ්‍ය අමාත්‍යවරයෙක් බවද, මෙවන් පසුබිමක අපේ රටේ නීතියක් තිබේද යන්න ප්‍රශ්නයක් බවයි ඔහු පෙන්වා දෙන්නේ.

සෑම පුරවැසියෙකුම, බලය ධනය තිබේදයැයි භේදයකින් තොරව පොදු නීතියට යටත් විය යුතු බවද, සැමට සාධාරණව නීතිය ඉටුවන රටක් ගොඩනැගිය හැක්කේ, බේරාගැනීමට ආපරාධකාරයින් හෝ දූෂිතයින් නොමැති, ජාතික ජන බලවේගයට පමණක් බවයි ඔහු වැඩිදුරටත් අවධාරණය කළේ.

662df34263c4c 662df3414ba04

මෛත්‍රිපාලගේ සභාපතිත්වය යටතේ අසාධාරණයට ලක්වූ අය සම්බන්ධයෙන් සොයා බැලීමට කමිටුවක්

මෛත්‍රීපාල සිරිසේන සභාපතිත්වය දරන කාලයේ අත්තනෝමතික ලෙස ලබා දුන් ආසන සංවිධායක ධූර සම්බන්ධයෙන් සොයා බලන බව ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන මහ ලේකම් දුමින්ද දිසානායක පවසනවා.

පක්ෂයේ පුරප්පාඩු වී ඇති ආසන සංවිධායක ධුර කඩිනමින් පිරවීමට කටයුතු කරන බවයි ඔහු සඳහන් කළේ.

මෛත්‍රිපාල සිරිසේනගේ සභාපතිත්වය යටතේ අසාධාරණයට ලක්වූ අය සම්බන්ධයෙන් සොයා බැලීමට කමිටුවක් පත් කිරීමටද ශ්‍රී ලංකා නිදහස් පක්ෂ දේශපාලන මණ්ඩලය තීරණය කර තිබෙනවා.

අමාත්‍ය මහින්ද අමරවීර, අමාත්‍ය ලසන්ත අලගියවන්න, වීර කුමාර දිසානායක හා නීතිඥ ෆයිසර් මුස්තාපා යන අය එම කමිටුවට පත් කළ බවත්, එහි සභාපතිත්වය තමන් විසින් හොබවන බවත් දුමින්ද දිසානායක මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කරනවා.