සහස්පුර ද්විත්ව ඝාතනයේ සැකකාර වෙඩික්කරු අත්අඩංගුවට…

බොරැල්ල පොලිස් වසමේ සහස්පුර සිරිසර උයන ක්‍රීඩාංගණයේදී වෙඩි තබා පුද්ගලයින් දෙදෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියේ වෙඩික්කරු බවට සැකකරන පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය සඳහන් කළේ, අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10යි මිලිග්‍රෑම් 710ක් සහ යතුරුපැදියක් සමග එම සැකකරු අත්අඩංගුවට ගෙන දමන පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇති බවය.

2025.08.07 වන දින බොරැල්ල පොලිස් වසමේ සහස්පුර සිරිසර උයන ක්‍රීඩාංගණයේදී වෙඩි තබා පුද්ගලයින් දෙදෙනෙකු ඝාතනය කර තවත් පුද්ගලයින් තිදෙනෙකුට තුවාල සිදුකිරීමේ අපරාධය සම්බන්ධයෙන්  ජයවර්ධනපුර පොලිස් විශේෂ කාර්ය බළකා විශේෂ වැටලීම් ඒකකය මඟින් විමර්ශන ආරම්භ කර තිබුණි.

ඒ අනුව ඊයේ (12) දහවල් කාලයේ එම ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් දමන පොලිස් වසමේදී මෙම අපරාධයේ වෙඩික්කරු බවට සැකකරන පුද්ගලයාව මෙලෙස අත්අඩංගුවට ගෙන තිබුණි.

සැකකරු වයස අවුරුදු 34ක් වන දමන, අම්පාර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

සැකකරු මීට පෙර ශ්‍රී ලංකා යුද හමුදාවේ රාජකාරි කර 2015 වර්ෂයේ යුද හමුදාවෙන් පලාගොස් ඇති බවට දැනට සිදුකරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇත.

දමන පොලීසිය සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන සිදුකරයි.

මේ අතර 2025.08.24 වන දින බොරලැස්ගමුව පොලිස් වසමේ මාලනී බුලත්සිංහල මාවතේදී ත්‍රිරෝද රථයකින් පැමිණි නාඳුනන පුද්ගලයෙකු විසින් පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ අපරාධයට අධාර අනුබල දුන් සැකකරුවෙකු අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 11ක් සමග අත්අඩංගුවට ගෙන ඇත.

ඒ, බස්නාහිර පළාත දකුණ දිසා අපරාධ කොට්ඨාසය මගින් සිදුකරන විමර්ශනවලට අනුවය.

ඊයේ (12) උදෑසන කාලයේ එම කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් පිළියන්දල පොලිස් වසමේ පැලැන්වත්ත ප්‍රදේශයේදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු වයස අවුරුදු 35ක් වන දෙහිවල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මේ අතර 2025.09.06 වන දින මරදාන පොලිස් වසමේ කෝවිල්වත්ත ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයකින් පැමිණි නාඳුනන පුද්ගලයෙකු විසින් පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ අපරාධය සම්බන්ධයෙන් කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය මගින් විමර්ශන ආරම්භ කර තිබුණි.

මෙම අපරාධයට අත්අඩංගුවට ගත් සැකකරුවෙකුගෙන් අනාවරණය වූ තොරතුරු මත ඊයේ (12) උදෑසන කාලයේ එම කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් කෙසෙල්වත්ත පොලිස් වසමේ ශාන්ත සෙබස්තියන් මාවතේදී මෙම අපරාධය සිදු කිරීමට ආධාර අනුබලදීම, අපරාධයට රැකවරණයදීම හා කුමන්ත්‍රණය කිරීමේ චෝදනාවට සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු වයස අවුරුදු 46 ක් වන කොළඹ 12 ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන සිදුකරයි.

සම්පත් මනම්පේරිට අයත් බව කියන මෝටර් රථයක් සොයාගනී…..

පියල් මනම්පේරි නමැත්තාගේ සහෝදරයෙකු වන සම්පත් මනම්පේරිට අයත් බව කියන මෝටර් රථයක් අද (09) ඇඹිලිපිටිය පොලීසිය විසින් සොයාගෙන තිබේ.

ඒ, ඇඹිලිපිටිය නව නගරයේ ගරාජයක් තුළ තිබියදී ය.

මේ සම්බන්ධයෙන් ගරාජයේ හිමිකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී හෙළිවී ඇත්තේ මීට දින 4කට පෙර පුද්ගලයෙකු පැමිණ මෙම මෝටර් රථය සම්පත් මනම්පේරිට ලබාදෙන ලෙස පවසමින් අදාළ මෝටර් රථය දමා ගිය බවය.

සංවිධානාත්මක අපරාධ කල්ලි සමාජිකයෙකු වූ කෙසෙල්බද්දර පද්මේ නැමැත්තාට අයත් බව කියන මිද්දෙණියේදී හසුවූ අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීම සඳහා යොදා ගන්නා අමුද්‍රව්‍ය අඩංගු බහාලුම් දෙක සඟවා තැබූ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් සම්පත් මනම්පේරිට චෝදනා එල්ලවී තිබේ.

මේ අතර පියල් මනම්පේරි නමැත්තාගේ සහෝදරයෙකු වන සම්පත් මනම්පේරි නමැත්තාගේ පක්ෂ සාමාජිකත්වය තහනම් කිරීමට පසුගියදා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පියවර ගෙන තිබුණි.

රාජකාරියට අනුරාධපුරයට පැමිණි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු අනුරධපුර පුද බිමේ කුඹුරු යායක් ගොඩ කර ඉදිකළ සිව් මහල් හෝටල් සංකීර්ණයක් ගැන පැමිණිල්ලක්…..

අනුරාධපුර පූජා නගරයේ කුඔුරු යායක් ගොඩ කර වර්තමානයේ රුපියල් කෝටි 20 කට අධික වටිනාකමකින් යුතු සිව් මහල් අති සුඛෝපභෝගි හෝටල් සංකීර්ණයක් ඉදි කිරීමට රාජකාරි සඳහා අනුරාධපුරයට පැමිණි උතුරු මැද පළාතේ හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු මෙන්ම වර්තමානයේද දිවයිනේ පළාතක් බාරව රාජකාරි කරන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුට මෙතරම් විශාල මුදලක් ලැබුනේ කෙසේද? යන්න පුළුල් විර්ශනයක් සිදු කරන ලෙස අනුරාධපුර පුරවැසි සංවිධානය එකමුතුව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසන් සභාවට පැමිණිළි කර තිබෙනවා. අනුරාධපුර පුරවැසි සංවිධාන එකමුතුව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසන් සභාවට යොමු කර ඇති එම පැමිණිල්ලේ තවදුරටත් දැක්වෙන්නේ අනුරාධපුර පුද බිමේ පිහිටි තිසාවැවේ ජලයෙන් පෝෂණය වන කුඔුරු යායක් ගොඩ කර ඉදිකර ඇති උතුරු මැද පළාතේ හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුට අයත් මෙම සිව් මහල් හෝටල් සංකීර්ණය ඉදිකිරීමට සැලසුම් අනුමත කල මෛන්ම අනුමැතිය ලබා දුන් සහ බලපත්‍ර හෝ ඔප්පු සහ විදුලි බලය ලබා දීමට අනුමැතිය දුන් රජයේ නිලධාරීන් කවුරුන්ද? යන්න සොයා බැලිය යුතු බවයි. රාජකාරි කිරීමට අනුරාධපුරයට පැමිණි මෙම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට අනුරාධපුර පුද බිමට අයත් කුඔුරු යායක් ගොඩ කර මෙතරම් විශාල සිවි මහල් හෝටල් සංකීර්ණයක් ඉදි කිරීමට මුදල් ලැබුනේ කෙසේද? යන්න සොයා බලන ලෙසද අල්ලස් හෝ දූෂණ විමර්ශන කෙමිසන් සභාවෙන් ඉල්ලා තිබෙනවා. තවද මෙම හෝටල් සංකීර්ණය ඉදිකිරීමට අනුරාධුපර පොලිස් කෙට්ඨාශයේ ගොඩනැගිලි අංශයේ පොලිස් නිලධාරීන් සහ සිවිල් ආරක්ෂක භටයින්ගේ රාජකාරි ශ්‍රම දායකත්වය ලබා ගෙන ඇති බවට පොලිස් තොරතුරු පොත් වල සටහන්ව තිබෙන බවයි අනුරාධපුර පුරවැසි සංවිධාන එකමුතුව යොමු කළ පැමිණිල්ලේ තවදුරටත් දැක්වෙන්නේ මෙම හෝටල් සංකීර්ණය ඉදිකිරීමට අවශ්‍ය සිමෙන්ති ගල් වැලි ටයිල් ඇතුළු අමුද්‍රව්‍ය සිය නිල බලය භාවිතා කොට අදාළ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් උතුරු මැද පළාතේ උසස් පොලිස් නිලධාරීන් මගින් සපයා ගෙන ඇති බවට තොරතුරු ඇති බවද පවසන පුරවැසි සංවිධාන එකමුතුව හෝටලය අයිති ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා අනුරාධපුරයේ රාජකාරි කරන අතරතුර සිය හෝටල් සංකීර්ණයේ පරිපාලන කටයුතු සඳහා යොදවා සිට ඇත්තේද පොලිස් නිලධාරීන් බවද එහි සඳහන් කර තිබෙනවා. අනුරාධපුර පුද බිමේ අනුරාධපුර භික්ෂු විශ්ව විද්‍යාලයත් ඉසුරුමුණියත් අතර ඉදිකර ඇති මෙම සිව් මහල් හෝටල් සංකීර්ණයට නවාතැන් ගැනීමට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයින්ට අදාළ හෝටලයේ නවාතැන් ගෙන සිටින විට අනුරාධපුර පුද බිමේ පිහිටි සිය`එ ස්ථූප මෙන්ම අටමස්ථානයම දිස් වන බැවින් හෝටලයට ස්තූප යන වචනය ඇතුලත් ඊට සුදුසු නමක් යොදා ඇති බවද පුරවැසි සංවිධාන එකමුතුව පවසන්නේ. මෙම හෝටලයේ දිනකට එක් කාමරයක මිළ රුපියල් 27,000 සිට ඉහළට පවතින බව සමාජ මාධ්‍ය ඔස්සේ හෝටලය පිළිබදව සිදු කරන ප්‍රචාරණයට අනුව තහවුරු වන්නේ යැයිද කියා සිටින පුරවැසි සංවිධාන එකමුතුව අදාළ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් මෙම හෝටලය ආසන්නයේ කුඹුරු යායේ පිහිටි තවත් බිම් කොටසක සිව් මහල් හෝටලයට ආසන්නයේ තවත් ඉදිකිරීමක් මේ දිනවල සිදු කෙරෙන බවත් මෙම හෝටලයේ ප්‍රචාරණ පුවරු අනුරාධපුර නගරයට ඇතුල් වන ස්ථාන කිහිපයක සවි කර ප්‍රදර්ශණය කර ඇති බවද පවසයි මසකට රුපියල් ලක්ෂයක පමණ වැටුපක් ලබන මෙම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පෞද්ගලිකව පරිහරණය කරන ලෑන්ඩ් රෝවර් ඩිපෙන්ඩර් ජීප් රථයේ වර්ථමාන මිළ රුපියල් ලක්ෂ 250 කට අධික බවද පවසන පුරවැසි සංවිධාන එකමුතුව කුරුණෑගල හෙට්ටිපොල මාර්ගයේ කිලෝ මීටර් දෙකක් ගිය පසුව හමුවන තට්ටු 3 කින් සමන්විත ලී බඩු සාප්පුව මෙන්ම ගාල්ල මාතර මාවනැල්ල කුරුණෑගල සහ කිරිබත්ගොඩ යන ප්‍රදේශ වලද මෙම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට සහ ඔහුගේ බිරිදට අයත් ලී බඩු සාප්පු සහ නිවාස ඇති බවද කියයි අසීමිත දේපලකට හිමිකම් කියන වර්තමානයේද දිවයිනේ පළාතක් බාරව රාජකාරි කරන මෙම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා සම්බන්ධයෙන් පු`එල් විමර්ශනයක් අරබන ලෙසද අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසන් සභාවෙන් ඉල්ලා ඇති පුරවැසි සංවිධාන එකමුතුව එම විමර්ශනය තුලින් පැහැදිලි වැදගත් තොරතුරු රැසක් අනාවරණ කර ගැනීමට හැකි වනු ඇති බවද සඳහන් කරයි

nethnews.lk

අයිස් අමුද්‍රව්‍ය බවට සැක තවත් රසායන ද්‍රව්‍ය තොගයක් කඳාන නිවසකින් සොයා ගනියි….

මිද්දෙණියෙන් සොයාගත් අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය සඳහා භාවිත කරන බවට සැක කෙරෙන තවත් රසායන ද්‍රව්‍යය තොගයක් සොයා ගැනීමට පොලීසිය සමත්ව තිබේ.

පොලීසිය පැවසුවේ අදාළ රසායනික ද්‍රව්‍ය තොගය කඳාන ප්‍රදේශයේ නිවසක් තුළ තිබී සොයා ගැනීමට කටයුතු කළ බවය.

කළුතර අපරාධ කොට්ඨාසයට ලද තොරතුරක් මත ඊයේ (07) සවස මෙම නිවස සෝදිසි කර ඇති අතර එහිදී එම නිවස තුළ සහ නිවසේ ඉදිරිපිට භූමියේ තිබී මෙම රසායනික ද්‍රව්‍ය තොගය පොලීසිය විසින් සොයා ගෙන ඇත.

සොයාගත් ප්‍රමාණය සම්බන්ධව මෙතෙක් ගණනය කර නොමැති අතර මෙම ලිපිනය සහිත නිවසද වසා දමා තිබූ පාලු නිවසක් වන බවත් සිද්ධිය සම්බන්ධයෙන් කිසිදු සැකකරුවෙකු මේ දක්වා අත්අඩංගුවට ගෙන නොමැති බවත් පොලීසිය පැවසීය.

දෙමහල් නිවසක් වූ මෙම නිවස පසුගිය අගෝස්තු මස 11 වැනි දින මසකට රුපියල් 150,000 ක කුළී පදනම මත ලබා ගත් බවත් එම නිවසේ අයිතිකරු පොලීසිය වෙත පවසා තිබේ.

එමෙන්ම පසුව සැප්තැම්බර් මස 05 වැනි දින එම නිවසේ යතුර දෙමහල් නිවසේ හිමිකරු හට නැවතත් කුළී පදනම මත ලබා ගත් පුද්ගලයා ලබා දී ඇති බවත් එම නිවසේ හිමිකරු පොලීසිය වෙත පවසා ඇත.

සිද්ධිය සම්බන්ධව මේ වන විට  පෑලියගොඩ අපරාධ ස්ථාන පරීක්ෂණ නිලධාරීන් විසින් ස්ථාන පරීක්ෂණය සිදුකරමින් සිදුකරන අතර කළුතර අපරාධ කොට්ඨාසය විසින් වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරනු ලබයි.

අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට ගන්නා බවට සැක රසායන ද්‍රව්‍ය තොගයක් – තංගල්ලේ ඉඩමකින් හමුවෙයි….

තංගල්ල, නෙටොල්පිටිය ප්‍රදේශයේ ඉඩමක තිබී අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට යොදාගන්නා රසායන ද්‍රව්‍ය බවට සැකකෙරන ද්‍රව්‍ය තොගයක් අද (07) පෙරවරුවේ සොයාගැණුනි.

ප්‍රදේශවාසින්ගෙන් ලැබුණ තොරතුරකට අනුව තංගල්ල පොලිස් ස්ථානයේ නිලධාරින්, නටොල්පිටිය වැලිවැන්න හරස් මාවතට යාබදව පිහිටි ඉඩමක අද පෙරවරුවේ විශේෂ වැටලීමක් සිදුකර තිබුණි.

එහිදී එම ඉඩමේ තිබී සුදු පැහැති රසායන ද්‍රව්‍ය තොගයක් සොයාගැණුන අතර එම ද්‍රව්‍ය අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට යොදාගන්නා රසායන ද්‍රව්‍ය බවට සැකකරන බව පොලිස් නිලධාරින් පැවසීය.

මෙම රසායනික ද්‍රව්‍ය ඊයේ මිද්දෙනිය, තලාව ප්‍රදේශයේ ඉඩමක් පරීක්ෂා කිරීමේදී සොයාගත් අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට යොදාගන්නා රසායනික ද්‍රව්‍යට බෙහෙවින් සමාන බව වාර්තා වෙයි.

පද්මේ ගෙන්වූ අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදන රසායනික ද්‍රව්‍ය ගැන පොලිසියෙන් හෙළිදරව්වක්….

මිද්දෙණිය, තලාව ප්‍රදේශයේ නිවසක වළදමා තිබියදී සොයා ගත් කන්ටේනර් දෙකෙන් ලබා ගත් සාම්පල 20න්  5කම අයිස් හෙවත් මෙත් සාන්ද්‍රණයන් ඇතුළත් බවට අනාවරණය වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි එෆ්. යූ වුට්ලර් මහතා පවසයි.

ඔහු මේ බව සඳහන් කළේ පොලිස් මාධ්‍ය කොට්ඨාශ ශ්‍රවණාගාරයේ දී අද (06) පැවති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

එමෙන්ම අදාළ ඉඩමේ එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු ඉදිරි විමර්ශන සඳහා බස්නාහිර පළාත් උතුර අපරාධ විමර්ශන කොට්ඨාශ ඒකකයට භාර දී ඇති බවද මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

අයිස් මත්ද්‍රව්‍ය විදේශයන්ගෙන් ගෙන්වන මත්ද්‍රව්‍යයක් වන බවත් එය ශ්‍රී ලංකාව තුළ නිශ්පාදනයට ගත් ප්‍රබල උත්සහයක් පොලීසිය විසින් ව්‍යර්ථ කළ බවත් එහිදී ඔහු වැඩිදුරටත් පැවසීය.

මෙම අන්තර්ගතයන් පිළිබඳව ඉදිරියේ දී මහජනතාව දැනුවත් කිරීමට කටයුතු කරන බවද මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේය.

එමෙන්ම එහිදී ඔහු සඳහන් කර සිටියේ මෙම සියලු සාර්ථක වැටලීම් පිටුපස මහජනතාව සිටින බවත් එසේ සහයෝගය දක්වන්නන්ට සිය කෘතඥතාව පළ කරන බවත් ය.

කෝටි ගාණක කුෂ් සමඟ ඉන්දීය ජාතිකයෙකු අත්අඩංගුවට…..

රුපියල් කෝටි දහයකට අධික වටිනාකමකින් යුත් කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමග ඉන්දීය ජාතිකයෙකු අත්අඩංගුවට ගැනීමට කටුනායක ගුවන් තොටුපළ රේගු නිලධාරීන් සමත්වී ඇත.

අදාළ සැකකරු අද (05) උදෑසන 7.45ට පමණ එයාර් ඉන්දියා ගුවන් සමාගමට අයත් AI – 277 ගුවන් යානයෙන් මෙරටට පැමිණ තිබේ.

භාරයට ගත් කිලෝග්‍රෑම් 10.75ක් පමණ වන මෙම කුෂ් තොග‍යේ මුළු වටිනාකම රුපියල් දස කෝටි පනස් ලක්ෂයක් වන බව රේගු බලධාරීන් සඳහන් කළේය.

ගුවන් තොටුපොළ රේගු පරිශ්‍රය තුළ මෑතකදී සවි කරන ලද අති නවීන ස්කෑන් යන්ත්‍රයක් භාවිතයෙන් මෙම කුශ් තොගය සොයා ගැනීමට හැකි වී තිබේ.

හබරණදී දුම්රිය ගැටී වනඅලියෙකු තුවාල ලබයි….

හබරණ පුවක්පිටිය ප්‍රෙද්ශයේදී කොළඹ ත්‍රීකුණාමලය රාත්‍රී තැපැල් දුම්රියේ ගැටීමෙන් වන අලියකු තුවාල ලබා ඇති බව රිටිගල වනජීවී නිලධාරීහු පවසති.
ඊයේ (03) රාත්‍රියේ මෙම වන අලියා දුම්රිය මාර්ගය හරහා මාරුවීමට ගිය අවස්ථාවේ ත්‍රිකුණාමලය සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ රාත්‍රී තැපැල් දුම්රියේ ගැටීමෙන් එම වන අලියා අනතුරට පත්ව තිබේ.
කොළඹ – ත්‍රිකුණාමලය දුම්රිය මාර්ගයේ 128 ½ සැතපුම ආසන්නයේ දී එම වන අලියා මෙලෙස අනතුරට තිබේ.
රාත්‍රී තැපැල් දුම්රියේ ගැටිමෙන් මෙලෙස අනතුරට පත්ව ඇත්තේ වයස අවුරුදු 20ක් පමණ වන කෙනරකි. දුම්රියේ ගැටුන කෙනර තුවාල ලබා එම දුම්රිය මාර්ගය ආසන්නයේ වැටී සිටි.
රිටිගල වනසත්ව අඩවි ආරක්ෂක කාර්යාලය මඟින් සිදුකළ දැනුම් දීමක් අනුව අනුරාධපුර පණ්ඩුලගම වනසත්ව සෞඛ්‍ය කලමණාකරණ ඒකකයේ පශුවෛද්‍ය නිලධාරීන් විසින් අනතුරටපත් කෙනෙරට ප්‍රතිකාර කිරීමට නියමිත බව රිටිගල වනසත්ව අඩවි ආරක්ෂක කාර්යාලයේ ප්‍රකාශකයකු අප කළ විමසීමකදී පැවැසීය.

කැකිරාව – කුෂාන් ජයවර්ධන

හරක් කටා ඝාතන සැලසුමේ තවත් අයෙක් අත්අඩංගුවට….

මාධ්‍යවේදියෙකු ලෙස පෙනී සිටින වෙඩික්කරුවකු යොදවා කොළඹ මහාධිකරණ සංකීර්ණයේදී නදුන් චින්තක නොහොත් ‘හරක් කටා’ ඝාතනය කිරීමට සැලසුම් කිරීම සම්බන්ධයෙන් තවත් අයෙක් බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අදාළ ඝාතන සැලසුමේ මාධ්‍යවේදියාගේ කැමරාව තුළ මි.මී. 3.8  වර්ගයේ ගිනි අවිය බහා සූක්ෂම ලෙස සැකසූ පෑස්සුම්කරුය.

අදාළ සැකකරු උඩුගම්පොල, දොඹවල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 47ක පුද්ගලයෙකු වන අතර, ඔහු සිය නිවසේදී අත්අඩංගුවට පත්ව ඇත.

මෙම හරක් කටා ඝාතනය කිරීමට සැලසුම්  සම්බන්ධයෙන් ඊයේ (2) පහත්බිම් ගොඩකිරීම් මණ්ඩලයේ රියදුරෙකු බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගනු ලැබීය.

ඔහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී හෙළි වී ඇත්තේ, කෙහෙල්බද්දර පද්මේගේ වුවමනාව මත බැකෝ සමන් තමාට එම කැමරාව හා ගිනිඅවිය ලබාදුන් බවය.

කෙසේ වෙතත් ඔවුන් අත්අඩංගුවට පත්වීමෙන් පසුව තමන් ඒවා ගිනිතබා විනාශ කළ බව පවසා තිබේ.

2025 වසරේ පළමු මාස 07 දී අල්ලස් ගත් 49ක් අත්අඩංගුවට….

මේ වසරේ පළමු මාස 07 තුළ අල්ලස් ලබා ගැනීමේ සිද්ධීන් සම්බන්ධයෙන් පුද්ගලයින් 49 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසයි.

ඔවුන් පෙන්වා දෙන්නේ අදාළ කාලසීමාව තුළ අල්ලස් හෝ දූෂණ චෝදනා කොමිෂන් සභා වෙත පැමිණිලි 3,937ක් ලැබී ඇති අතර එම පැමිණිලිවලින් වැටලීම් 72ක් සිදුකර ඉන් 39ක් සාර්ථක කර ගැනීමට හැකිවී ඇති බවය.

අත්අඩංගුවට ගත් පුද්ගලයින් අතරින් වැඩිම පිරිසක් අත්අඩංගුවට ගෙන ඇත්තේ පොලිස් දෙපාර්තමේන්තුවෙන් වන අතර පොලිස් නිළධාරීන් 17 දෙනෙකු එහිදී අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන් වේ.

අධිකරණ අමාත්‍යංශය, සෞඛ්‍ය අමාත්‍යංශය, ආගමන විගමන දෙපාර්තමේන්තුව, ලංකා ගමනා ගමන මණ්ඩලය, ප්‍රාදේශීය ලේකම් කාර්යාල යන රාජ්‍ය ආයතනවලින් ද සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සඳහන් කළේය.

ඊට අමතරව මේ වසරේ පළමු මාස 7 තුළ සිදුකළ විමර්ශනවලදී පුද්ගලයින් 39දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

එම අත්අඩංගුවට ගත් පුද්ගලයින් අතර හිටපු අමාත්‍යවරුන්, අමාත්‍යංශ ලේකම්වරුන් ආයතන ප්‍රධානීන්, වෛද්‍යවරුන් ඇතුළු පුද්ගලයින් වන බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිශන් සභාව සඳහන් කළේය.

ඊට අමතරව ගතවූ කාලය තුළ පුද්ගලයින් 27 දෙනෙකු අල්ලස් ලබාගැනීමේ සිද්ධීන් සම්බන්ධයෙන් අධිකරණ මගින් වරදකරුවන් කර ඇති බව ද සඳහන් වේ.