IMF මූල්‍ය සහනය පොලී අනුපාත පහත හෙලීමට උපකාරී වේවි – මහ බැංකු අධිපති

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාව සඳහා මූල්‍ය සහනය අනුමත කිරීම පොලී අනුපාත පහත හෙලීමට සහ දේශීය පොලී අනුපාත මත පීඩනය තවදුරටත් ලිහිල් කිරීමට උපකාරී වනු ඇති බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසනවා.

ඒ අනුව මේ තුළින් රජයට දේශීය වෙළෙඳපොළෙන් ණය ගැනීමේ අවශ්‍යතාව ලිහිල් වනු ඇති බවයි බ්ලූම්බර්ග් වෙබ් අඩවිය අදහස් දක්වමින් මහ බැංකු අධිපතිවරයා සඳහන් කර ඇත්තේ.

දැනට 50% සීමාවේ පවතින උද්ධමනය 2023 අවසාන භාගය වනවිට තනි ඉලක්කමක් දක්වා අඩුකිරීමට හැකිවනු ඇති බවයි මහ බැංකු අධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙන්නේ.

IMF ණය, අයවැය යෝජනා වෙනුවෙන් භාවිත කළ හැකියි – ශෙහාන්

අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය පහසුකම භාවිත කළ හැකි බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසනවා.

අවුරුදු 4 ක කාලසීමාව තුළ ක්‍රියාත්මක කළ ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළින් ඉවතට යාමට නොහැකි බවත් ඒ හේතුවෙන් මෙම විශ්වාසවන්ත බව විනිවිදභාවය ආරක්ෂා කළ යුතු බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.

අයවැය පවත්වාගෙන යනවිට ඒ සඳහා සහයෝගය දැක්වීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මඟින් අනුමත කරන ලද මුදල් භාවිත කළ හැකි බව රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ වැඩිදුරටත් සඳහන් කළා.

ජනතාවට දැනෙන සහනයක් ලබාදීමට කටයුතු කරනවා – කංචන

ඉන්ධන මිල සූත්‍රයට අනුව අප්‍රේල් මාසයේදී ජනතාවට සහනයක් ලබාදෙන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

අද (21) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් සිදු කරමින් අමාත්‍යවරයා සඳහන් කළේ, මිල සූත්‍රය ක්‍රියාත්මක කිරීම අඛණ්ඩව සිදු කරන බවයි.

ඒ අනුව අප්‍රේල් මාසයේදී එම මිල සූත්‍රය ක්‍රියාත්මක කරන බවත් බොරතෙල් මිල අඩුවීම හා රුපියල ශක්තිමත්වීම මත ජනාධිපතිවරයාගේ උපදෙස් අනුව ජනතාවට දැනෙන සහනයක් ලබාදීමට කටයුතු කරන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

ඩොලරයේ විකුණුම් මිල රු.334 දක්වා අඩු වෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව දෛනිව නිකුත් කරන විනිමය අනුපාතික අනුව එක්සත් ජනපද ඩොලරයේ මිල අද (21) සැලකියයුතු අඩු වීමක් සිදුව තිබෙනවා.

ඒ අනුව එක්සත් ජනපද ඩොරයක ගැනුම් මිල රු.316.84ක් ලෙස හා විකුණුම් මිල රු.334.93ක් ලෙසයි අද ශ්‍රී ලංකා මහ බැංකු නිල වෙබ් අඩවියේ දැක්වෙන්නේ.

IMF ශ්‍රී ලංකාව සඳහා ඇමරිකානු ඩොලර් බිලියන 3 ක් අනුමත කරයි

ශ්‍රී ලංකාව සඳහා ඩොලර් බිලියන 3කට ආසන්න විස්තීර්ණ මූල්‍ය සහනයක් අනුමත කළ බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිල වශයෙන් නිවේදනය කර තිබෙනවා.

ඒ අනුව විස්තීරණ අරමුදල් පහසුකමේ අරමුණ වන්නේ සාර්ව ආර්ථික ස්ථාවරත්වය සහ ණය තිරසාරභාවය ප්‍රතිෂ්ඨාපනය කිරීම, මූල්‍ය ස්ථාවරත්වය ආරක්ෂා කිරීම සහ ශ්‍රී ලංකාවේ වර්ධන විභවය විවෘත කිරීම සඳහා ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ වේගවත් කිරීම බවයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිවේදනය කරන්නේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින් SDR බිලියන 2.286 (US$ බිලියන 3ක් පමණ) විස්තීරණ අරමුදල් පහසුකම යටතේ මාස 48 ක දීර්ඝ වැඩපිළිවෙළක් අනුමත කරන ලද බවයි වාර්තා වන්නේ.

ශ්‍රී ලංකාවට IMF අනුමැතිය හිමිවෙයි

විස්තීර්ණ ණය පහසුකම යටතේ ශ්‍රී ලංකාවේ වැඩසටහන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි විධායක කමිටුව විසින් අනුමත කළ බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිවේදනය කර තිබෙනවා.

මෙම වැඩසටහන මගින් ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ජාත්‍යන්තර මූල්‍ය ආයතන සහ බහුපාර්ශ්වික සංවිධාන වෙතින් ඇමරිකානු ඩොලර් බිලියන 7ක් දක්වා මූල්‍ය පහසුකම් ලබා ගැනීමට අවස්ථාව සැලසෙන බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.

ශ්‍රී ලංකා ටෙලිකොම් හා ලංකා හොස්පිටල්ස් රජයේ කොටස් හිමිකාරීත්වය විකුණා දැමීමට තීරණය කෙරේ

Sri Lanka Telecom PLC සහ The Lanka Hospitals PLC යන සමාගම්වල රජය සතු කොටස් හිමිකාරීත්වය විකුණා දැමීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ අනුව රජයේ ප්‍රතිපත්තිමය තීරණයක් අනුව මෙය සිදු කරන බවයි නිවේදනයක් නිකුත් කරමින් එම සමාගම් සඳහන් කරන්නේ.

කොළඹ කොටස් වෙළඳපොළේ ලැයිස්තුගත සමාගම්වන Sri Lanka Telecom PLC සහ The Lanka Hospitals PLC විසින් මේ බව නිවේදන නිකුත් කරමින් කොළඹ කොටස් වෙළඳපොල දැනුවත් කර තිබෙනවා.

ඩොලරයේ විකුණුම් මිල රු.349 දක්වා පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව දෛනිව නිකුත් කරන විනිමය අනුපාතික අනුව එක්සත් ජනපද ඩොරලරයේ මිල අද (20) ඉතා සුළු පහළ යාමක් සිදුව තිබෙනවා.

ඒ අනුව එක්සත් ජනපද ඩොරයක ගැනුම් මිල රු.331‍.71ක් ලෙස හා විකුණුම් මිල රු.349.87ක් ලෙසයි අද ශ්‍රී ලංකා මහ බැංකු නිල වෙබ් අඩවියේ දැක්වෙන්නේ.

IMF අනුමැතිය ලැබුණු පසු ඩොලරය රු.200 හෝ 185 දක්වා ක්‍රමයෙන් පහළ යයි – ජනපති

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එකඟතාවකට පැමිණි පසු ඩොලරයේ අගය රුපියල් 200 හෝ 185 දක්වා ක්‍රමයෙන් පහළ යනු ඇතැයි අපේක්ෂා කළ හැකි යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසූ බව ජනාධිපති මාධ්‍ය අංශ්‍ය නිවේදනය කරනවා.

අරලියගහ මන්දිරයේ පැවති 32 වන ඉන්ටරැක්ට් දිස්ත්‍රික් සමුළුව අමතමින් ජනාධිපතිවරයා සිදුකළ කතාව උපුටා දක්වමින් ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරන්නේ, රට ස්ථාවරත්වයට පත්වීම සඳහා වසර 4 ක කාල පරිච්ඡේදයක් තිබෙන බව ජනාධිපතිවරයා පෙන්වා දුන් බවයි.

අයවැය හිඟයක් ඇති නොවන බවට හා 2026 වන විට අයවැය අතිරිත්තයක් ඇති කරන බවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබාදුන් ඉල්ලක්කය සමඟ එකඟවූ බවද, එවිට ලබාගත් මුදල් නැවත ගෙවිය හැකි බවද ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළ බවද එම නිවේදනයේ සඳහන්.

ලංකාවට ලබාදීමට නියමිත ණය IMF විධායක කමිටුව මඟින් අනුමත කිරීම අද

මෙරටට ලබාදෙන විස්තීරණ ණය පහසුකම සඳහා වු ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විධායක කමිටු අනුමැතිය අද (20) දිනයේ ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබෙනවා.

මෙරට වේලාවෙන් අද රාත්‍රියේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විධායක කමිටුව රැස්වීමට නියමිත බවයි මුදල් රාජ්‍ය අමාත්‍යංශය සඳහන් කළේ.

එම කමිටු රැස්වීමෙන් අනතුරුව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විධායක කමිටුව විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් හරහා අදාළ තීරණය ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව සඳහන් වන්නේ.

එම මාධ්‍ය සාකච්ඡාව හෙට (21) උදෑසන පැවැත්වෙනු ඇති බවයි සඳහන් වන්නේ.