ශ්‍රී ලංකන් ගුවන් සමාගම ඇතුළු රාජ්‍ය ව්‍යවසායන් 7ක රජය සතු කොටස් විකිණීමට අනුමැතිය

රාජ්‍ය ව්‍යවසායන් 07ක රජය සතු කොටස් අයිතිය පැවරීමට අනුමැතිය හිමිවූ බව මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය පවසනවා.

රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහකරණ ඒකකය විසින් මෙම ගනුදෙනු විනිවිදභාවයකින් යුක්තව සිදු කිරීම සඳහා සුදුසු ආයෝජකයන් තෝරාගැනීම සඳහා දේශීය සහ ජාත්‍යන්තර මාධ්‍යවල දැන්වීම් පළකිරීමට කටයුතු කර තිබෙනවා.

අදාළ රාජ්‍ය ආයතන හා මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.

1. ශ්‍රී ලන්කන් ගුවන් සමාගම (ශ්‍රී ලන්කන් කේටරින් සමාගම ඇතුළු)
2. ශ්‍රී ලංකා ටෙලිකොම් පී.එල්.සී
3. සී/ස ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව
4. කැන්විල් හෝල්ඩින්ග්ස් (පුද්) සමාගම (කොළඹ – ග්‍රැන්ඩ් හයට්)
5. හොටෙල් සංවර්ධන ලංකා සමාගම (කොළඹ හිල්ටන් හෝටලය)
6. සී/ස ලිට්‍රෝ ගෑස් පර්යන්ත (පුද්) සමාගම ඇතුලු ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම
7. ලංකා හොස්පිටල් සංස්ථා පී.එල්.සී.

IMF පළමු වාරිකය අද ශ්‍රී ලංකාවට

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ ණය පහසුකමෙහි පළමු වාරිකය අද (23) දිනයේ ලැබී ඇති බව මුදල් අමාත්‍යංශ ලේකම්වරයා පවසනවා.

ඒ අනුව ඇමරිකානු ඩොලර් මිලියන 333ක් මෙලෙස පළමු වාරිකය ලෙස ලැබෙන බවයි ජනාධිපතිවරයා හා මාධ්‍ය ප්‍රධානීන් සමඟ අද පැවති සාකච්ඡාවේදී ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබෙන්නේ.

යූරියා මිල අඩුකෙරේ

දේශීය වෙළෙඳපොළේ යූරියා පොහොර මිල අඩු කිරීමට පෞද්ගලික සමාගම් කිහිපයක් තීරණය කර ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.

ඒ අනුව යූරියා කිලෝ 50ක මිටියක මිල රුපියල් 18,500 සිට රුපියල් 11,000 දක්වා අඩු කර ඇති බවයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර වැඩිදුරටත් සඳහන් කළේ.

අද ඩොලරයේ විකුණුම් මිල රු.328 යි

ශ්‍රී ලංකා මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතික අනුව එක්සත් ජනපද ඩොලරයේ මිල අද (23) සුළු අඩු වීමක් සිදුව තිබෙනවා.

ඒ අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු.311.26 ක් ලෙස හා විකුණුම් මිල රු.328.60ක් ලෙසයි අද ශ්‍රී ලංකා මහ බැංකු නිල වෙබ් අඩවියේ දැක්වෙන්නේ.

කිරිපිටි මිල පහළට

එළැඹෙන අප්‍රේල් 1 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි ආනයනික කිරිපිටි මිල අඩු කිරීමට කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය තීරණය කර තිබෙනවා.

ඒ අනුව ආනයනික කිරිපිටි 1kg පැකට්ටුවක මිල රුපියල් 200කින් සහ 400g පැකට්ටුවක මිල රුපියල් 80කින් අඩුකරන බවයි එම සංගමය වැඩිදුරටත් සඳහන් කළේ.

ඉන්දියාවෙන් ආනයනය කර​න පළමු බිත්තර තොගය දිවයිනට පැමිණෙයි

ඉන්දියාවේ සිට මෙරටට ආනයනය කරනු ලැබූ පළමු බිත්තර තොගය දිවයිනට ළඟා වී ඇති බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව පවසනවා.

මෙරට බිත්තර මිල පාලනය කිරිමේ අරමුණින් ඉන්දියාවේ සිට බිත්තර ආනයනය කිරිමට රජය තීරණය කළ අතර පළමු බිත්තර තොගය ලෙස බිත්තර මිලියන 2 ක් ආනයනය කර ඇති බවයි සඳහන් වන්නේ.

දිවයිනට රැගෙන ආ බිත්තර තොගය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් සිදුකරන පරීක්ෂණ වලින් අනතුරුව ඒවා නිදහස් කර හැරීමට නියමිතව තිබෙනවා.

රන් මිල යළිත් පහළට

මෙරට රත්‍රං මිල ගණන් අද (22) දවසේ නැවත වරක් පහළ ගොස් ඇති බව කොළඹ හෙට්ටිවීදිය රන් වෙළඳුන් පවසනවා.

ඒ අනුව අද පෙරවරුවේ කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි කැරට් 22 රන් පවුමක මිල රු. 151,800 ක් දක්වා පහළ ගොස් ඇති අතර ඊයේ (21) කැරට් 22 රන් පවුමක මිල සටහන්ව තිබුණේ රු. 162,000 ක් ලෙසයි.

මේ අතර ඊයේ දිනයේ දී රු. 175,000ක් ලෙස පැවති කැරට් 24 රන් පවුමක මිල අද වන විට රු. 165,000 ක් දක්වා පහත වැටී ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

දේපල බදු ක්‍රමය වෙනුවට ඉදිරියේදී ධන බද්දක් සහ තෑගි හා බූදල් බද්දක් හඳුන්වාදීමට කටයුතු කරනවා – ජනපති

2025 දී අවම බදු නිදහස් කිරීමක් සහිතව, දේපල බදු ක්‍රමය වෙනුවට ධන බද්දක් හඳුන්වා දීමට බලාපොරොත්තු වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

අද (22) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් ජනාධිපතිවරයා සඳහන් කළේ, තෑගි හා බූදල් බද්දක් හඳුන්වා දීමටත් පියවර ගන්නා බවයි.

2025 වන විට ප්‍රාථමික හිඟය දළ දේශීය නිෂ්පාදිතයෙන් 2.3% ක් බවට පත් කර ගැනීම රජයේ ඉලක්කය බවත් 2026 වන විට රජයේ ආදායම දළ දේශීය නිෂ්පාදිතයෙන් 15% ක් දක්වා වැඩි කර ගැනීමට සැලසුම් කරන බවද ජනාධිපතිවරයා සඳහන් කළා.

ආංශික බදු සහන නොමැතිව සංස්ථාපිත ආදායම් බදු අනුපාතය 30% දක්වා වැඩි කර ඇති බවත් වැට් බදු අනුපාතය 8% සිට 15% දක්වා වැඩි කිරීමට පියවර ගත් බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

ඩොලරයේ විකුණුම් මිල රු.330 දක්වා අඩු වෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතික අනුව එක්සත් ජනපද ඩොලරයේ මිල අද (22) නැවතත් අඩු වීමක් සිදුව තිබෙනවා.

ඒ අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු.312.61ක් ලෙස හා විකුණුම් මිල රු.330.16ක් ලෙසයි අද ශ්‍රී ලංකා මහ බැංකු නිල වෙබ් අඩවියේ දැක්වෙන්නේ.

උද්ධමනයට සරිලන ලෙස රාජ්‍ය සේවක වැටුප් හා විශ්‍රාම වැටුප් වෙනස්කරනවා – ජනපති

යම් යම් සීමාවන්ට යටත්ව උද්ධමනයට සරිලන ලෙස ඉදිරියේ දී රාජ්‍ය සේවක වැටුප් හා විශ්‍රාම වැටුප් වෙනස් කිරීමට නියමිත බව ජනාධිපතිවරයා පවසනවා.

ඒ අනුව ප්‍රාථමික අයවැය ශේෂයේ සීමාවන් තුළ අදාළ ගැලපීම සිදුකිරීමට බලාපොරොත්තු වන බවයි අද (22) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ජනාධිපතිවරයා සඳහන් කළේ.

එසේම ඉන්ධන මිල තීරණය කිරීම දේශපාලන අධිකාරියෙන් සම්පූර්ණයෙන් ඉවත් කරන බවත් ඉන්ධන මිල 2018 මිල සූත්‍රය අනුව පමණක් තීරණය කරන බවද එහිදී ජනාධිපතිවරයා සඳහන් කළා.

සෑම 6 මසකට වරක්ම විදුලි බිල ගැලපීමට පියවර ගන්නා බවත්, මහා පරිමාණයෙන් පාඩු ලබන මාර්ග සංවර්ධන අධිකාරිය, ශ්‍රීලංකන් ගුවන් සේවය, ඛනිජ තෙල් නීතිගත සංස්ථාව හා විදුලිබල මණ්ඩලය යන ආයතනවල ශේෂ පත්‍ර යළි සකස් කරන බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.