ආනයනික බිත්තර තොගය ඉදිරි දින කිහිපයේ දිවයිනට

ඉන්දියාවේ සිට මෙරටට ආනයනය කෙරෙන පළමු බිත්තර තොගය රැගත් නෞකාව ඉදිරි දින දෙක තුළ දිවයිනට ළඟා වනු ඇති බව වෙළඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු පවසනවා.

ඒ අනුව පළමු බිත්තර තොගය ලෙස බිත්තර මිලියන දෙකක් මෙරටට ගෙන්වීමට සැලසුම් කර ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

පවතින බිත්තර හිඟය අවම කිරීම සහ මිල පාලනය කිරීමේ අරමුණින් රජය විසින් බිත්තර ආනයනය කිරීමට තීරණය කළ අතර අදාළ බිත්තර තොගය බේකරි කර්මාන්ත සඳහා යොදාගැනීමට නියමිතව තිබෙනවා.

හංඟන්න දෙයක් නැහැ, IMF එකඟතාවය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා – රංජිත් සියඹලාපිටිය

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමඟ ශ්‍රී ලංකාව ඇතිකරගත් එකඟතාවයේ සැඟවීමට දෙයක් නොමැති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

අමාත්‍යවරයා කියා සිටියේ මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් එළැඹෙන සතියේ දී IMF එකඟතාවය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු කරනු ඇති බවයි.

මෙමඟින් විපක්ෂයට සහ විවිධ මත පළකරන පාර්ශ්වයන්ට පාර්ලිමේන්තුවේ කතා කිරීමට අවස්ථාවක් ලැබෙන බව පෙන්වා දෙන අමාත්‍යවරයා කියා සිටියේ ඔවුන්ගේ විකල්ප අදහස් ඉදිරිපත් කිරීම සඳහා අවස්ථාවක් ලැබෙන බවත් ඒ සඳහා අවස්ථාවක් ලබාදීමට රජය සුදානම් බවයි.

IMF කියන්නේ ප්‍රතිහාර්ය පාන්න පුළුවන් විජ්ජාකාරයෙක් නෙමෙයි – ළහිරු වීරසේකර

ජනතාව සහ වෘත්තීය සමිති පාරට බැස විරෝධතා සිදු කරන්නේ විදුලිබිල වැඩිවීම සහ දරාගත නොහැකි බදු බර නිසා බව Youth for Change සංවිධානයේ ජාතික සංවිධායක ළහිරු වීරසේකර පවසනවා.

එසේ වුවද ජනතා බදු මුදලින් නඩත්තු වෙන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ ජනාධිපතිවරයා විසින් වෘත්තීය සමිති, බහුජන සංවිධානයන් එක්ව ගෙන යන වැඩවර්ජනයන් මර්දනය කළ යුතු බව ඔහු සඳහන් කරනවා.

IMF පිළිබඳව දැන් ආණ්ඩුව මන්ත්‍රයක් මෙන් මතුරමින් සිටින නමුත් IMF යනු ප්‍රතිහාර්ය පෑ හැකි විජ්ජාකාරයෙක් නොවන බවයි ඔහු පෙන්වා දෙන්නේ.

ඩොලරයේ විකුණුම් මිල රු.350 දක්වා ඉහළට

ශ්‍රී ලංකා මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතික අනුව එක්සත් ජනපද ඩොලරයේ මිල අද (17) නැවතත් ඉහළ යාමක් සිදුව තිබෙනවා.

ඒ අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු332.20ක් ලෙස හා විකුණුම් මිල රු.350.22ක් ලෙසයි අද (17) ශ්‍රී ලංකා මහ බැංකු නිල වෙබ් අඩවියේ දැක්වෙන්නේ.

එදා විනිමය අනුපාතය ස්වාධීනව තීරණය කරන්න ඉඩ දුන්නා නම් අද මෙවැනි තත්ත්වයක් ඇති වෙන්නේ නෑ – මහ බැංකු අධිපති

පොලී අනුපාතය සහ විනිමය අනුපාතය ස්වාධීනව තීරණය කිරීමට මහ බැංකුවට අවස්ථාව ලැබිය යුතු බව මේ වන විට ප්‍රයෝගිකව ඔප්පු වී ඇති බව මහ බැංකු අධිපති, ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසනවා.

ශ්‍රී ලංකා මහ බැංකු පනත් කෙටුම්පත වෙනස් කිරීමට බලපෑ ප්‍රධාන හේතුව ද විනිමය අනුපාත පිළිබඳ ස්වාධීනව තීරණ ගැනීමේ අවශ්‍යතාවය බව දේශනයකට එක්වෙමින් මහ බැංකු අධිපතිවරයා සඳහන් කළා.

පොලී අනුපාතය සහ විනිමය අනුපාතය සම්බන්ධයෙන් වන තීරණය ගත යුත්තේ දේශපාලනඥයින් නොවන බවද, එම තීරණය ජනතාව විසින් පත් කළ පිරිස් ගැනීමට කටයුතු කළහොත් ඔවුන්ට ගැනීමට සිදුවන්නේ නිවැරදි තීරණය නොව ජනප්‍රිය තීරණය බවද මහ බැංකු අධිපතිවරයා පෙන්වා දුන්නා.

2020 / 2021 වසරවල රජයේ බලපෑම මත බිලියන 6 ක සංචිතයන් බින්දුවට වැටෙන තෙක් විනිමය අනුපාතිකය රු. 203 අගයක පවත්වාගෙන ගිය බවද, පසුව එය අතහැර දැමූ බවද, ඉන් පසු මෙරට ආර්ථිකයට සිදුවූ බලපෑම සියලුදෙනාට දැකගත හැකිවූ බවද මහ බැංකු අධිපතිවරයා සඳහන් කළා.

එහිදී ද විනිමය අනුපාතය ස්වාධීනව තීරණය කිරීමට කටයුතු කළේ නම් රට අද මෙවැනි තත්ත්වයකට පත් නොවන බවයි මහ බැංකු අධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

comment loading imageමහජන ප්‍රතිචාර

2022 වසරේ ආර්ථික වර්ධන වේගය සෘණ 7.8% යි – සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව

2022 වර්ෂයේ මෙරට ආර්ථික වර්ධන වේගය සෘණ 7.8% ක අගයක් ලෙස ඇස්තමේන්තමේන්තු කර ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසනවා. 2022 වසරේ සිව්වන කාර්තුවේ ආර්ථික වර්ධනය සෘණ 12.4% ක අගයක් වාර්තා කර ඇති බවයි එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ. 2022 වසරේදී ප්‍රධාන ආර්ථික ක්‍රියාකාරකම් ත්‍රිත්වය වන කෘෂිකර්මාන්තය, කර්මාන්ත කටයුතු හා සේවා ආර්ථික කටයුතු යන අංශ තුනේම සෘණ වර්ධන වේගයන් වාර්තා කර තිබෙන අතර කෘෂිකර්මාන්තය 4.6% ක්, කර්මාන්ත 16% ක් සහ සේවා ක්‍රියාකාරකම් 2% ක ප්‍රතිශතයකින් පහළ ගොස් තිබෙනවා.

ඩොලරයේ විකුණුම් මිල රු.346 දක්වා ඉහළට

ශ්‍රී ලංකා මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතික අනුව එක්සත් ජනපද ඩොලරයේ මිල අද (16) සුළු ඉහළ යාමක් සිදුව තිබෙනවා.

ඒ අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු329.02ක් ලෙස හා විකුණුම් මිල රු.346.33ක් ලෙසයි අද (16) ශ්‍රී ලංකා මහ බැංකු නිල වෙබ් අඩවියේ දැක්වෙන්නේ.

ජනපතිගෙන් ණය හිමියන්ට සහතිකයක්

ශ්‍රී ලංකාවේ ණය අර්බුදය විසඳීමටත් ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීමටත් පූර්ණ විනිවිදභාවයක් පවත්වා ගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙරට බාහිර ණයහිමියන්ට ප්‍රකාශ කර තිබෙනවා. විවෘත ලිපියක් යොමුකරමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ. එසේම ද්වීපාර්ශවික සහ පෞද්ගලික ණය හිමියන් අතර අන්‍යෝන්‍ය සම්බන්ධීකරණය ශක්තිමත් කරමින් රාජ්‍ය ණය අර්බුදය කඩිනමින් විසඳාගැනීම සඳහා ශ්‍රී ලංකාව සමග සාධනීයව කටයුතු කරන ලෙසද ජනාධිපතිවරයා සිය ලිපිය මගින් ණයහිමියන් දිරිමත් කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

ඩොලරයේ විකුණුම් මිල රු.344 දක්වා වැඩි වෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතික අනුව එක්සත් ජනපද ඩොලරයේ මිල අද (15) නැවත ඉහළ යාමක් සිදුව තිබෙනවා.

ඒ අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු.327.59ක් ලෙස හා විකුණුම් මිල රු.344.66ක් ලෙසයි අද (15) ශ්‍රී ලංකා මහ බැංකු නිල වෙබ් අඩවියේ දැක්වෙන්නේ.

ඩොලරයේ විකුණුම් මිල රු.335.68 දක්වා වැඩි වෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතික අනුව එක්සත් ජනපද ඩොලරයේ මිල අද (14) නැවත ඉහළ යාමක් සිදුව තිබෙනවා. ඒ අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු.319.84ක් ලෙස හා විකුණුම් මිල රු.335.68ක් ලෙසයි අද (14) ශ්‍රී ලංකා මහ බැංකු නිල වෙබ් අඩවියේ දැක්වෙන්නේ.