මිල වැඩිවීමක් සිදුව ඇත්තේ ආනයනික තිරිඟු පිටිවල පමණයි – බන්දුල

මිල වැඩිවීමක් සිදුව ඇත්තේ ආනයනික තිරිඟු පිටිවල බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසනවා.

ඒ අනුව දේශීය තිරිඟු පිටිවල මිල වැඩිවීමක් සිදුව නොමැති බවට මෙරට නිෂ්පාදන සමාගම් තහවුරු කළ බවයි අද (09) පැවති කැබිනට් මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ.

එසේම මාස 6 ක් සඳහා ප්‍රමාණවත් තිරිඟු පිටි තොගද රට තුළ පවතින බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

පොහොර ලබාගැනීමට දුන් මුදල්වලින් පොහොර ලබාගෙන ඇත්තේ ගොවීන් 5% ක් පමණයි – කෘෂිකර්ම අමාත්‍යාංශ​ය

හෙක්ටෙයාර් එකක් සඳහා රුපියල් 10,000ක් බැගින් හා හෙක්ටෙයාර් 02ක් සඳහා රුපියල් 20,000ක් වශයෙන් ගොවීන්ට ලබාදුන් මුදල්වලින් බණ්ඩි පොහොර මිලදී ගැනීම සඳහා කටයුතු කර තිබෙන්නේ ගොවීන් 5% ක පිරිසක් බව අනාවරණය වී ඇති බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසනවා.

ඒ අනුව කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් බණ්ඩි පොහොර මෙට්‍රික් ටොන් 36,000ක් ආනයනය කළද ගොවීන් විසින් ඉන් මිලදී ගෙන තිබෙන්නේ සමස්ත ප්‍රමාණයෙන් 5% ක් පමණක් බවයි සඳහන් වන්නේ.

2022/23 මහ කන්නයේ දී බණ්ඩි පොහොර මිලදී ගැනීම සඳහා ආසියානු සංවර්ධන බැංකුව විසින් රුපියල් බිලියන 08ක මුදලක් රජයට ලබා දුන් අතර අදාල මුදල් ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් ගොවි ජනතාවගේ ගිණුම්වලටම බැර කිරීමට කටයුතු කර තිබුණා.

සීනි සහ තිරිඟු පිටි මිල ඉහළට

සීනි සහ තිරිඟු පිටි මිල ගණන් ඉහළ දමා ඇති බව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය පවසනවා.

ඒ අනුව සීනි කිලෝග්‍රෑමයක තොග මිල රුපියල් 25කින් ඉහළ දමා ඇති බවයි එහි සභාපති නිහාල් සෙනෙවිරත්න සඳහන් කළේ.

එසේම තිරිඟු පිටි කිලෝග්‍රෑමයක තොග මිල රුපියල් 10 කින් ඉහළ දමා ඇති බවයි එම සංගමය වැඩිදුරටත් සඳහන් කළේ.

තිරිඟු පිටි සඳහා පනවා තිබූ රුපියල් 03 ක බදු සහනය ඉවත් කිරීම මෙලෙස තිරිඟු පිටි මිල ඉහළ දැමීමට හේතුවූ බවයි සඳහන් වන්නේ.

කීරි සම්බා උපරිම සිල්ලර මිල වෙනස් කර ඇති බවට පළ වන වාර්තා අසත්‍යයි – පාරිභෝගික අධිකාරිය

කීරි සම්බා උපරිම සිල්ලර මිල වෙනස් කර ඇති බවට පළ වන වාර්තා අසත්‍ය බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසනවා.

ඒ අනුව අසත්‍ය‍ ප්‍රචාරණයන්ට නොරැවටෙන ලෙසත්, කීරි සම්බා රුපියල් 260.00 ක උපරිම සිල්ලර මිලට වඩා වැඩි මිලට අලෙවි නොකළ යුතු බවයි එම අධිකාරිය සඳහන් කරන්නේ.

එසේම උපරිම සිල්ලර මිලට වඩා වැඩි මිලකට සහල් අලෙවි කරනු ලබන වෙළඳුන් සොයා අඛණ්ඩව වැටලීම් සිදු කරන බවයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

ණය ප්‍රතිව්‍යුහගත කිරීමට ජපානයේ සහාය යළි තහවුරු කරයි

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම සඳහා සහයෝගය ලබාදෙන බව ජපානය පවසනවා.

ආසියානු සංවර්ධන බැංකුවේ පාලක මණ්ඩලයේ 56nවන වාර්ෂික රැස්වීම අමතමින් ජපාන මුදල් අමාත්‍ය සුසුකි මේ බව සඳහන් කර තිබෙනවා.

ද්වීපාර්ශ්වික ණය හිමියන් සම්බන්ධීකරණය කර ගනිමින් මෙම ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය සිදුකිරීමට බලාපොරොත්තු වන බවත් අනාගත ණය අර්බුදය වළක්වා ගැනීම සඳහා ණය දත්ත විනිවිදභාවය සහ නිර්වද්‍යතාවය වැඩිදියුණු කිරීම අත්‍යවශ්‍ය බවයි ජපාන මුදල් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

ලිට්‍රෝ ගෑස් මිල පහළට

අද (03) මධ්‍යම රාත්‍රියේ සිට ගෘහස්ත ගෑස් සිලින්ඩර මිල පහළ දැමීමට ලිට්‍රෝ ගෑස් සමාගම තීරණය කර තිබෙනවා.

ඒ අනුව අඩු වූ මිල සහ නව මිල පහතින් දැක්වෙනවා.

* කිලෝ ග්‍රෑම් 12.5 – රු.100 කින් (නව මිල රු.3,638)

* කිලෝ ග්‍රෑම් 5 – රු.40 කින් (නව මිල රු.1,462)

* කිලෝ ග්‍රෑම් 2.3 – රු.19 කින් (නව මිල රු.681)

Airtel සහ Dialog ඒකාබද්ධ වීමට තීරණය කරයි

Bharti Airtel Lanka සමාගම ශ්‍රී ලංකාව තුළ සිය මෙහෙයුම් Dialog Axiata PLC සමඟින් ඒකාබද්ධ කිරීමට තීරණය කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් දැනුවත් කරමින් Dialog Axiata PLC හි අධ්‍යක්ෂ/සමූහ ප්‍රධාන විධායක සුපුන් වීරසිංහ විසින් කොළඹ වෙළෙඳපොළ දැනුවත් කරමින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව අදාළ නීති සහ රෙගුලාසිවලට අනුව පාර්ශව දෙක විසින් අදාළ නියාමන බලධාරීන් සමඟ සාකච්ඡා කරමින් සිටින බවත් අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ.

ගෑස් මිල අඩු කිරීමට තීරණයක්

කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ත ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 100කින් පමණ පහළ දමන බව ලිට්‍රෝ සමාගම පවසනවා.

ඒ අනුව මිල සංශෝධනය වන ආකාරය හෙට (03) දිනයේ නිල වශයෙන් නිවේදනය කිරීමට නියමිත බව එම සමාගමේ සභාපති මුදිත පීරිස් සඳහන් කළා.

පාසල් ප්‍රවාහන ගාස්තු අඩු කිරීමට තීරණයක්

පාසල් ළමුන් ප්‍රවාහන රථවල ගාස්තු අඩු කිරීමට තීරණය කර ඇති බව සමස්ත ලංකා පාසල් ළමුන් ප්‍රවාහන සංගමය පවසනවා.

ඒ අනුව ඉන්ධන මිල පහළ දැමීමත් සමග මෙම තීරණය ගත් බවයි එම සංගමයේ සභාපති මල්ශ්‍රී ද සිල්වා සඳහන් කළේ.

ඉන්ධන මිල ඉහළ දැමූ අවස්ථාවේදී ගාස්තු ඉහළ දැමූ ආකාරයෙන්ම ඉන්ධන මිල පහත දමන අවස්ථාවේදීද යම් මුදලක් අඩු කරන ලෙස ඉල්ලා සිටින බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

මෙම වසරේ පළමු කාර්තුවේ ඉලක්ක ගත බදු ආදායම ඉක්මවා ආදායම් උපයලා – රංජිත් සියඹලාපිටිය

දේශිය ආදායම් දෙපාර්තුමේන්තුව මෙම වසරේ පළමු කාර්තුවේ ඉලක්ක ගත බදු ආදායම ඉක්මවා 105%ක ආදායමක් උපයා ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

පළමු කාර්තුවේ අපේක්ෂිත ආදායමෙන් 19% පමණක් උපයා ගෙන ඇති බවට පළ වූ මාධ්‍ය වාර්තා අමාත්‍යවරයා විසින් ප්‍රතික්ෂේප කර සිටින අතර, පළමු කාර්තුවේ අපේක්ෂිත ආදායමෙන් රේගුව විසින් 89% ක ප්‍රමාණයක් සහ සුරා බදු දෙපාර්තමේන්තුව විසින් 64 % ප්‍රමාණයක් උපයා ගෙන ඇති බව ඔහු වැඩිදුරටත් පෙන්වා දෙනවා.