සරල කරන ලද VAT බදු ක්‍රමවේදය 2024 සිට අහෝසි කිරීමට තීරණයක්

එකතු කළ අගය මත බදු (VAT) නිදහස් කිරීම් තාර්කීකරණය සහ දැනට ක්‍රියාත්මක වන සරල කරන ලද එකතු කළ අගය මත බදු (SVAT) ක්‍රමවේදය 2024 ජනවාරි මස 1 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි අහෝසි කිරීමට රජය තීරණය කර තිබෙනවා.

ඒ අනුව එකතු කළ අගය මත බදු පනතේ අදාළ විධිවිධාන සංශෝධනය කිරීම සඳහා පනත් කෙටුම්පතක් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් ලබාදීමට අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාවට අනුමැතිය හිමිව ඇති බවයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන සඳහන් කළේ.

දැනට පවතින එකතු කළ අගය මත බදු නිදහස් කිරීම් යළි තාර්කිකරණය කිරීම මඟින් ආසන්න වශයෙන් දළ දේශීය නිෂ්පාදනයෙන් 1.2%කින් පමණ බදු ආදායම වැඩිකර ගැනීමට හැකියාව පවතින බවයි සඳහන් වන්නේ.

අදාළ කැබිනට් තීරණය පහතින්.

b5c61c0914e07c511f1ba4acccc4ab04

අද ඩොලරයේ විකුණුම් මිල රු.298.85 යි

ශ්‍රී ලංකා මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතිකය අනුව එක්සත් ජනපද ඩොලරයේ මිල අද (05) සුළු වෙනස් වීමක් සිදුව තිබෙනවා.

ඒ අනුව අද ඩොලරයක ගැනුම් මිල රු.285.61 ක් ලෙස හා විකුණුම් මිල රු.298.85 ක් ලෙසයි ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කර තිබෙන්නේ.

කුකුළු මස් මිල ඉදිරි සති කිහිපය ඇතුළත පහත යාවි – කුකුළු ව්‍යාපාරිකයින්ගේ සංගමය

ඉහළ ගොස් ඇති කුකුළු මස් මිල ඉදිරි සති කිහිපය ඇතුළත පහත යනු ඇති බව සමස්ත ලංකා කුකුළු ව්‍යාපාරිකයින්ගේ සංගමය පවසනවා.

එහි සභාපති අජිත් ගුණසේකර සඳහන් කළේ, සීත කළ කුකුළු මස් මිල ඉහළ දමා නොමැති බවයි.

මාළු මිල ඉහළ යාම හේතුවෙන් පසුගිය සති කිහිපය තුළ කුකුළු මස් සඳහා විශාල ඉල්ලුමක් පැවති බවත්, ඒ හේතුවෙන් මෙලෙස මිල ඉහළ ගොස් ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ඉහළට

ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල අද (05) සැලකිය යුතු මට්ටමකින් ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක් ඩොලර් 77 කට ආසන්න අගයකට, 1% කට ආසන්න අගයකින් ඉහළ ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

සෞදි අරාබිය ජූලි මාසයේදී දිනකට බැරල් මිලියනයක (bpd) කප්පාදුවක් සිදු කරන බව ප්‍රකාශ කිරීමෙන් පසු මෙලෙස බොරතෙල් මිල ඉහළ ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

ලිට්‍රෝ ගෑස් මිල පහළට

අද (04) මධ්‍යම රාත්‍රියේ සිට ගෘහස්ත ගෑස් සිලින්ඩර මිල පහළ දැමීමට ලිට්‍රෝ ගෑස් සමාගම තීරණය කර තිබෙනවා.

ඒ අනුව අඩු වූ මිල සහ නව මිල පහතින් දැක්වෙනවා.

* කිලෝ ග්‍රෑම් 12.5 – රු.452 කින් (නව මිල රු.3,186)

* කිලෝ ග්‍රෑම් 5 – රු.181 කින් (නව මිල රු.1,281)

* කිලෝ ග්‍රෑම් 2.3 – රු.83 කින් (නව මිල රු.598)

අද ඩොලරයේ විකුණුම් මිල රු.297 දක්වා පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතිකය අනුව එක්සත් ජනපද ඩොලරයේ මිල අද (01) දිනයේත් සැලකිය යුතු පහළ යෑමක් සිදුව තිබෙනවා.

ඒ අනුව අද ඩොලරයක ගැනුම් මිල රු.283.87 ක් ලෙස හා විකුණුම් මිල රු.297.23 ක් ලෙසයි ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කර තිබෙන්නේ.

පෙට්‍රල් මිල අඩු වුනත් ත්‍රීරෝද රථ ගාස්තුවේ අඩුවක් නැහැ – ත්‍රීරෝද රථ රියැදුරන්

පෙට්‍රල් මිල අඩු වුවද ත්‍රීරෝද රථ ගාස්තුවේ කිසිඳු අඩුවීමක් සිදු නොවන බව සමස්ත ලංකා ත්‍රීරෝද රථ රියැදුරන්ගේ වෘත්තීය සමිතිය පවසනවා.

ඒ අනුව එහි සභාපති ලලිත් ධර්මසේකර සඳහන් කළේ, ස්ථාවර වියදම් හා සෙසු සියලු වියදම් වැඩිවී ඇති බවයි.

ආණ්ඩුව විසින් ගාස්තු සමාලෝචන කමිටුවක් මඟින් ත්‍රීරෝද රථවල ගාස්තුව සම්බන්ධයෙන් නිශ්චිත වශයෙන් මැදිහත් විය යුතු බවත් ගාස්තු අඩු කිරීමට හැකි ආකාරයෙන් ඉන්ධන මිල පහත දමා නොමැති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

IOC ඉන්ධන මිලද සංශෝධනය කෙරේ

ලංකා IOC ඉන්ධන මිල ගණන් ද ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මිල ගණන්වලට සමානව සංශෝධනය කර ඇති බව එම සමාගම පවසනවා.

නව මිල ගණන් පහතින්.

b3d54f6e7f65c9cc579eb346c423cc10

CEYPETCO ඉන්ධන මිල සංශෝධනය කෙරේ

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් ඉන්ධනවල මිල අද (31) මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කර තිබෙනවා.

අදාළ සංශෝධනය අනුව පෙට්‍රල් 95 ලීටරයක් රු.20 කින් සහ සුපිරි ඩීසල් ලීටරයක් රු.10 කින් ඉහළ දමා තිබෙන අතර පෙට්‍රල් 92 ලීටරයක් රු.15 කින් අඩු කර තිබෙනවා.

ඒ අනුව පෙට්‍රල් 95 ලීටරයක නව මිල රු.385 ක් සහ සුපිරි ඩීසල් ලීටරයක මිල රු.340 ක් වන අතර පෙට්‍රල් 92 ලීටරයක නව මිල රු.318 ක් වනවා.

භූමිතෙල් ලීටරයක මිල රු.50 කින් පහත දමා ඇති අතර එහි නව මිල රු.245 ක්.

සාමාන්‍ය ඩීසල් මිලෙහි වෙනසක් නොමැති බවයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව වැඩිදුරටත් සඳහන් කළේ.

නව මිල ගණන් පහතින්.

c66c3b2858b5f3a601dc7cfe40de0940

IMF නියෝජ්‍ය කළමනාකරණ අධ්‍යක්ෂ අද දිවයිනට

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජ්‍ය කළමනාකරණ අධ්‍යක්ෂ කෙන්ජි ඔකමුරා නිල සංචාරයක් සඳහා අද (31) දිවයිනට පැමිණීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව එම සංචාරයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජ්‍ය කළමනාකරණ අධ්‍යක්ෂවරයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග ද්විපාර්ශවික සාකච්ඡා පැවැත්වීමට නියමිතව තිබෙනවා.

මීට අමතරව මුදල් අමාත්‍යාංශ නිලධාරීන් මෙන්ම මහ බැංකු නිලධාරීන් සමගද කළමනාකරණ අධ්‍යක්ෂවරයා සාකච්ඡා පැවැත්වීමට නියමිත බවයි මුදල් රාජ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ.