IMF පළමු වාරිකය නුදුරේදීම ලැබෙනු ඇති බවට අපේක්ෂා කරනවා – රංජිත් සියඹලාපිටිය

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) ඉන්දියාව, ශ්‍රී ලංකාව, බංග්ලාදේශය සහ භූතානය භාර විධායක අධ්‍යක්ෂ ආචාර්ය ක්‍රිෂ්ණමුර්ති සුබ්‍රමනියම් සහ මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය අතර විශේෂ සාකච්ඡාවක් අද (26) පැවැත්වුණා.

මෙහිදී රාජ්‍ය ආදායම සහ රටේ ජනතාව මුහුණ දී සිටින ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කළ බවයි අමාත්‍යවරයා නි‍වේදනයක් නිකුත් කරමින් පවසා සිටියේ.

එහිදී කළ සාකච්ඡා සාර්ථක බවත් නුදුරේ දීම IMF පළමු වාරිකය ලැබෙනු ඇති බවට විශ්වාසය පළ කරන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියේ.

දිනකට බිත්තර මිලියන 3ක පමණ හිඟයක් පවතින බව COPE කමිටුවේ දී හෙළි වෙයි

දිනකට බිත්තර මිලියන 3ක පමණ තාවකාලික හිඟයක් පවතින බව කෝප් කමිටුවේදී අනාවරණය වූ අතර මේ සඳහා කඩිනම් පිළියමක් මේ වන විට නොමැති බව වෙළඳ හා කෘෂිකර්ම අමාත්‍යාංශ නිලධාරීන් විසින් COPE කමිටුව හමුවේ දී ප්‍රකාශ කර තිබෙනවා.

එබැවින් පාරිභෝගික අවශ්‍යතාව සැලකිල්ලට ගෙන සීමිත බිත්තර ප්‍රමාණයක් වෙළඳපොළ සඳහා ආනයනය කිරීමට එකඟ වී ඇති බවයි ඔවුන් කියා සිටියේ.

බිත්තර මිල සුත්‍රය නැවත සලකා බලන ලෙස​ට COPE කමිටුවෙන් නිලධාරීන්ට උපදෙස්

පෙර පැවති COPE කමිටු රැස්වීමේදී ලබාදුන් නියෝගයට අනුව ඊයේ (25) වෙළඳ හා කෘෂිකර්ම අමාත්‍යාංශ නිලධාරීන් විසින් බිත්තරයක් නිෂ්පාදනය සඳහා යන පිරිවැය සැලකිල්ලට ගෙන බිත්තරයක මිල තීරණය කිරීම සඳහා මිල සූත්‍රයක් ඉදිරිපත් කර තිබෙනවා.

මේ පිළිබඳව සාකච්ඡා කිරීමෙන් අනතුරුව කාරක සභා සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාර මෙම මිල සූත්‍රය ක්‍රියාත්මක කිරීමේදී ඇතිවිය හැකි විවිධ ප්‍රායෝගික ගැටළු හේතුවෙන් මෙම මිල සූත්‍රය නැවත සලකා බලන ලෙසට අදාළ නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබුණා.

එම කරුණු සැලකිල්ලට ගනිමින් මිල සූත්‍රය සංශෝධනයට පියවර ගන්නා බව පැමිණ සිටි අදාල නිලධාරින් පවසා තිබුණා.

වැඩියෙන් ආදායම් ලබන අයගෙන් වැඩියෙන් බදු අ​යකර ගැනීම ජනපතිගේ ප්‍රතිපත්තියයි – දිලුම්

බැංකුවල, විශ්වවිද්‍යාලවල සහ රෝහල්වල සිටින කළු ඇදගත් පිරිසගෙන් මේ රටේ වැඩිම ආදායම ලබන පිරිස කවුද යන්න පිළිබඳව ජනතාවට දැනගත හැකි බව කළු විරෝධතා සතිය පිළිබඳව අදහස් දක්වමින් ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම පවසනවා.

රුපියල් ලක්ෂයකට වඩා වැඩියෙන් වැටුප් ගන්නා පුද්ගලයින්ට අයවන බදු මුදල රුපියල් 3,000 ක් බවත්, ලක්ෂ 2 සිට ඉහළට වැටුප් ගන්නා පිරිසට සැලකිය යුතු බද්දක් අය කරන බවත් අමාත්‍යවරයා පවසනවා.

පහුගිය කාලවලදී වැඩියෙන් වැටුප් ලබන අයට සහ අඩුවෙන් වැටුප් ලබන අයට පැවතියේ එකම බද්ද බවත් ඒ හේතුවෙන් අද රජයට මෙම තත්ත්වය උදාවී ඇති බවත් අමාත්‍යවරයා පවසනවා.

රජයක් පවත්වා ගන්නේ බදු ආදායම මගින් බවත්, ආදායම වැඩි අයගෙන් වැඩි බද්දක් අය කිරීම ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්තිය බවත් වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු පැවසුවා.

රු.බිලියන 10ක් වියදම් කර සෑදූ ආදායම් බදු මෘදුකාංග පද්ධති​ය ක්‍රියාකාරී මට්ටමේ නැහැ – COPA

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සිය බදු ආදායම් එකතු කරගැනීමේ කාර්යක්ෂමතාවය වැඩි කිරීම සඳහා 2014 වසරේදී සාදාගත් RAMIS නම් ආදායම් බදු කළමනාකරණ මෘදුකාංග පද්ධතිය සඳහා රුපියල් බිලියන 10ක පමණ ආයෝජනයක් සිදුකර ඇති නමුත්, එය මේ වනවිට නිසි තත්ත්වයෙන් ක්‍රියාත්මක නොවන බවට තොරතුරු ලැබී ඇති බව COPA කමිටුව පවසනවා.

අදාළ මෘදුකාංග පද්ධතිය වැඩි දියුණු කිරීම වෙනුවෙන් තවත් විශාල මුදලක් මේ වන විට වැයකොට ඇතැයි තමන් විශ්වාස කරන බව පැවසූ COPA සභාපතිවරයා අවධාරණය කළේ, තව දුරටත් මේ වෙනුවෙන් මුදල් වියදම් කිරීම ප්‍රතිඵලදායකද යන්න සොයාබැලීම අත්‍යාවශ්‍ය වන බවයි.

මෙම RAMIS මෘදුකාංග පද්ධතිය පිළිබඳ ප්‍රසම්පාදනය ඇතුළු අංශ ගණනාවක් සම්බන්ධයෙන් ගැටලුකාරී තත්ත්වයන් පෙනීයන හෙයින්, මෙම පද්ධතිය රටට ගැලපෙන ආකාරයෙන් ක්‍රියාකාරී මට්ටමට පත්කිරීමේ හැකියාව විමර්ශනය කොට නිගමන ඉදිරිපත් කිරීම සඳහා COPA කමිටුව විසින් අනු කමිටු දෙකක් පිහිටුවීමටද යෝජනා වී තිබෙනවා.

සතොස අත්‍යාවශ්‍ය භාණ්ඩ වර්ග 6 ක මිල අඩුකරයි

ලංකා සතොස ආයතනය අත්‍යාවශ්‍ය භාණ්ඩ 6 ක මිල පහළ දැමීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව නව මිල ගණන් හෙට (26) සිට ක්‍රියාත්මක බවයි එම ආයතනය සඳහන් කළේ.

භාණ්ඩ ලැයිස්තුව පහතින්,

563968f8096c18c401553ef3bfcd6bbe

රාජ්‍ය සේවක වැටුප් ගෙවීම අද සාමාන්‍ය පරිදි

රාජ්‍ය සේවයේ විධායක සහ විධායක නොවන ශ්‍රේණිවල වැටුප් ගෙවීම අද (25) සුපුරුදු පරිදි සිදුකෙරෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

පවතින ආර්ථික අර්බුදය හමුවේ ජනවාරි මස වැටුප් ගෙවීම ප්‍රමාදවනු ඇති බවට පසුගියදා ප්‍රකාශ කර තිබුණා.

කෙසේ වෙතත් අද දිනයේ මෙලෙස සියලු රාජ්‍ය සේවකයන්ගේ වැටුප් ගෙවන බවයි ඊයේ පස්වරුවේ මුදල් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.

ඉදිරි මාස 6 තුළ ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙල අවසන් කිරීමට බලාපොරොත්තු වෙනවා – මහ බැංකු අධිපති

ඉදිරි මාස 6 තුළ ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙල අවසන් කිරීමට ශ්‍රී ලංකාව අපේක්ෂා කරන බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන ආරම්භ වු පසු වාණිජ සහ ද්විපාර්ශ්වික ණය හිමියන් සමග ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධව සාකච්ඡා ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බවයි Reuters පුවත් සේවයට මහ බැංකු අධිපතිවරයා සඳහන් කර ඇත්තේ.

ණය ප්‍රතිව්‍යුහගත කිරීමට ගතවන කාලසීමාව සම්බන්ධයෙන් අවිනිශ්චිතතාවක් පවතින බවත්, ශ්‍රී ලංකාවට තිරසාර සංවර්ධන මාවතට ප්‍රවේශ විය හැක්කේ ණය තිරසාර බව සහතික වීමෙන් පසුව බවයි මහ බැංකු අධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

විදුලි ගාස්තු සංශෝධනය ගැන නීතිමය මතය විමසීම​ට PUCSL තීරණය කරයි

2009 විදුලිබල පනතට අනුව ලංකා විදුලිබල මණ්ඩලය ඉදිරිපත් කර ඇති ගාස්තු සංශෝධන යෝජනාව කඩිනම් කිරීමට මහජන උපයෝගිතා කොමිසම තීරණය කර තිබෙනවා. එසේම අතුරු ගාස්තු සංශෝධනයක් පිළිබඳ කැබිනට් ඉල්ලීම අතීතයට බලපාන අයුරින් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් නීතිමය මතය විමසීමට කොමිසම තීරණය කර ඇති බවයි සඳහන් වන්නේ.

මහා භාණ්ඩාගාරයට රුපියල් බිලියන තුනක්

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් මහා භාණ්ඩාගාරයට රුපියල් බිලියන 03ක් ලබාදී තිබෙනවා.

ඒ අනුව ඊට අදාළ චෙක්පත කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර විසින් අද (23) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත භාරදී ඇති බවයි සඳහන් වන්නේ.

රටේ පවතින ආර්ථික තත්ත්වය සැලකිල්ලට ගෙන අත්‍යාවශ්‍ය ඖෂධ මිලදී ගැනීම, රාජ්‍ය සේවක වැටුප් ගෙවීම, වී මිලදී ගැනීම ඇතුළු අත්‍යාවශ්‍ය කටයුතු වෙනුවෙන් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පසුගිය වසරේදී ලැබූ මෙහෙයුම් අතිරික්තයෙන් මෙම මුදල ලබා ඇති බවයි සඳහන් වන්නේ.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්,

5f7dd75a488d72f852cfcf3f8d7997a0