ඉරානයෙන් ලබාගන්නා තෙල් වෙනුවට ශ්‍රී ලංකාවේ තේ ලබාදීමට එකඟතාවක්

ඉරානයෙන් ලබාගන්නා තෙල් වෙනුවට මෙරට තේ නිෂ්පාදනවලින් පියවීම සඳහා 2021 වසරේදී දෙරටේ රජයන් එකඟතාවට එළැඹි අතර එම ක්‍රමවේදය ලබන ජුලි මස සිට ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව ඉරාන තානාපති කාර්යාලයේ නියෝජ්‍ය දූත මණ්ඩල ප්‍රධානී සොහොයිල් කෙයිරි සඳහන් කළේ, ශ්‍රී ලංකාව ඉරානයෙන් ලබාගත් අමෙරිකානු ඩොලර් මිලියන 250ක් වටිනා ඉන්ධන වෙනුවෙන් පළමුව තේ අපනයන කරනු ලබන බවයි.

එම ගිවිසුමට අනුව මසකට අමෙරිකානු ඩොලර් මිලියන 05ක් වටිනා තේ මාස 48ක් පුරා ඉරානයට අපනයනය කිරීමට සැලසුම් කර තිබෙනවා.

භාණ්ඩවල මිල අඩු කිරීමට පාලන මිල පැනවීමට අවධාන​ය

උද්ධමනය පහළ ගියද ඇතැම් භාණ්ඩවල මිල අඩු නොවීමට පිළියමක් ලෙස ඉදිරි සති කිහිපය තුළ මිල පාලනය සම්බන්ධයෙන් දැඩි පියවර ගැනීමට සිදුවනු ඇති බව වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු පවසනවා.

ඒ අනුව ඉදිරි සති කිහිපය තුළ පාලන මිලවල් අඩංගු ගැසට් නිවේදන පැමිණීමට හැකි බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

වෙළඳුන් විවිධ දේ සඳහන් කළද මේ දක්වා ගෙන ආ ආර්ථික වාසිය ලබාගතහොත් භාණ්ඩ මිල අඩුකළ හැකි බවයි වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු වැඩිදුරටත් සඳහන් කළේ.

අද ඩොලරයේ විකුණුම් මිල රු.314 යි

ශ්‍රී ලංකා මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතිකය අනුව එක්සත් ජනපද ඩොලරයේ මිල අද (20) සුළු වෙනස් වීමක් සිදුව තිබෙනවා.

ඒ අනුව අද ඩොලරයක ගැනුම් මිල රු.297.28 ක් ලෙස හා විකුණුම් මිල රු.314.38 ක් ලෙසයි ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කර තිබෙන්නේ

පාන් සහ බේකරි නිෂ්පාදනවල මිල රු.10 කින් පහළට

අද (20) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි පාන් සහ අනෙකුත් බේකරි නිෂ්පාදනවල මිල රුපියල් 10 කින් පහත දැමීමට තීරණය කර ඇති බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසනවා.

ආනයනික සිමෙන්ති සඳහා පැනවූ සෙස් බද්ද ඉහළට

ආනයනික සිමෙන්ති සඳහා පනවා තිබූ සෙස් බද්ද ජූනි මස 17වන දින සිට ඉහළ දැමීමට පියවර ගෙන ඇති බව ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යංශය පවසනවා.

ඒ අනුව කෘත්‍රිම ලෙස වර්ණ ගැන්වූ හෝ වර්ණ නොගැන්වූ සුදු සිමෙන්ති කිලෝග්‍රෑම් 1ක් සදහා පනවා තිබූ රුපියල් 3ක සෙස් බද්ද රුපියල් 5 දක්වා ඉහළ දමා ඇති බවයි සඳහන් වන්නේ.

කිලෝග්‍රෑම් 50 සහ ඊට අඩු ඇසුරුම්වලින් ආනයනය කරනු ලබන අනෙකුත් පෝට්ලන්ඩ් සිමෙන්ති කිලෝග්‍රෑම් 1ක් සඳහා වූ රුපියල් 5ක සෙස් බද්ද රුපියල් 8 දක්වා ඉහළ දමා ඇති බවද සඳහන්.

කිලෝග්‍රෑම් 50 සහ ඊට වැඩි ඇසුරුම්වලින් තොග වශයෙන් ආනයනය කරනු ලබන අනෙකුත් පෝට්ලන්ඩ් සිමෙන්ති කිලෝග්‍රෑම් 1ක් සඳහා අයකළ රුපියල් 3ක බද්ද රුපියල් 5 දක්වා ඉහළ දමා ඇති බවයි ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කළේ.

අද ඩොලරයේ විකුණුම් මිල රු.315 දක්වා පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතිකය අනුව එක්සත් ජනපද ඩොලරයේ මිල අද (19) යළි පහළ යාමක් සිදුව තිබෙනවා.
ඒ අනුව අද ඩොලරයක ගැනුම් මිල රු.297.53 ක් ලෙස හා විකුණුම් මිල රු.315.12 ක් ලෙසයි ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කර තිබෙන්නේ.

පාන් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල රු.10 කින් අඩු කිරීමට වෙළඳ ඇමතිගෙන් යෝජනාවක්

කඩිනමින් පාන් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල රුපියල් 10කින් අඩු කළ යුතු බවට යෝජනා කරන බව වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු පවසනවා.
තිරිඟු පිටි මිල වැඩි කිරීමට සමාගම් කටයුතු කිරීමට ඉඩ ඇති බැවින්, තිරිඟු පිටි නිශ්චිත භාණ්ඩයක් ලෙස නම් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කළ බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.
ඒ අනුව දේශිය තිරිඟු පිටි සමාගම් ඉදිරියේදී තිරිඟු පිටි මිල වැඩි කරන්නේ නම් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ අනුමැතිය ලබා ගත යුතු බව වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු වැඩිදුරටත් සඳහන් කළා.

ටෙලිකොම් ප්‍රතිව්‍යුහගත කිරීමට එරෙහි පෙත්සම් 02ක් නිෂ්ප්‍රභ කෙරේ

ටෙලිකොම් ආයතනයේ රජය සතු කොටස් ප්‍රතිව්‍යුහගත කිරීමට එරෙහිව ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබෙනවා.

ටෙලිකොම් ආයතනයේ රජය සතු කොටස් ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය ගෙන තිබෙන තීරණය තුළින් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා මෙම පෙත්සම් ගොනුකර තිබුණා.

ටෙලිකොම් ආයතනය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය හරහා ජාතික ආරක්ෂාවට තර්ජනයක් එල්ල වන බවට මෙම පෙත්සම්වලින් චෝදනා කර තිබුණා.

එම චෝදනාවේ කිසිදු පදනමක් නොමැති බව සඳහන් කළ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරයා බ්‍රිතාන්‍යය ඇතුළු ලෝකයේ ප්‍රධාන රටවල් ගණනාවකම විදුලි සංදේශ කටයුතු පෞද්ගලීකරණය කර තිබෙන බවත් සඳහන් කර තිබෙනවා.

ඉදිරිපත්වූ සියලු කරුණු සලකා බැලීමෙන් අනතුරුව අධිකරණය එම පෙත්සම් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට තීරණය කර තිබෙනවා.

සතොස අත්‍යාවශ්‍ය භාණ්ඩ 3ක මිල අඩු කරයි

අත්‍යාවශ්‍ය පාරිභෝගික භාණ්ඩ 3ක මිල පහත දැමීමට තීරණය කර ඇති බව ලංකා සතොස පවසනවා.

ඒ අනුව වටානා, පාන්පිටි සහ රතු පරිප්පුවල මිල මෙලෙස අඩුකර ඇති බවයි සඳහන් වන්නේ.

ඒ අනුව අඩු වූ මිල සහ නව මිල පහතින්  දැක්වෙනවා.

* වටානා – රු.13  කින්  (නව මිල රු.275)

* පාන්පිටි – රු.5  කින්  (නව මිල රු.195)

* රතු පරිප්පු – රු.4  කින්  (නව මිල රු.295)

අද ඩොලරයේ විකුණුම් මිල රු.328 දක්වා ඉහළට

ශ්‍රී ලංකා මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතිකය අනුව එක්සත් ජනපද ඩොලරයේ මිල අද (15) සැලකිය යුතු ඉහළ යාමක් සිදුව තිබෙනවා.

ඒ අනුව අද ඩොලරයක ගැනුම් මිල රු. 311.60 ක් ලෙස හා විකුණුම් මිල රු. 328.92 ක් ලෙසයි ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කර තිබෙන්නේ.